2020/07/28 – ලංකාදීප

 බඹරු ඇවිත් චිත‍්‍රපටය ගැන අලූත් අවධානයක් ඇති වී තිබේ. 2020 කෑන්ස් සිනමා උළෙල සදහා ලෝකයේ සම්භාව්‍ය සිනමා කෘති විසි පහක් අතරින් එකක් වශයෙන් තෝරා ගෙන ඇත. ධර්මසේන පතිරාජ ශූරීන් අධ්‍යක්ෂණය කරන ලද බඹරු ඇවිත් චිත‍්‍රපටය පැරණි දල සේයා පටවලින් පරෙස්සමෙන් තෝරා නැවත ප‍්‍රතිසංස්කරණය කර ඇති අතර එය සංරක්ෂණයට පියවර ගැනීම අගය කළ යුතුය.

මෙම චිත‍්‍රපටය ප‍්‍රදර්ශනය අරඹන්නේ 1978 වසරේ දී ය. ‘‘පරෙස්සමෙන් බඹරු ඇවිත්’’ යන පුර්ව ප‍්‍රචාරක වැකිය තරුණන් අතර අතිශය ආකර්ශනය විය. චිත‍්‍රපටයේ එන ඇන්ටන් හා වික්ටර් චරිත දෙක එකල සමාජයේ ස්ථර දෙකක් නියෝජනය කළහ. ජෝ අබේවික‍්‍රම, විජය කුමාරතුංග, මාලනී ෆොන්සේකා ඇතුළු දක්ෂ නළු නිළියන් රැසක් එහි චරිත නිරූපනය කළ අතර කේමදාස මාස්ටර් එහි සංගීතය සැපයීය. දශක පහක සිංහල සිනමාවේ විශිෂ්ඨ කෘති අතරින් එකක් සේ නම් කර ඇති අතර ජනාධිපති සම්මාන ඇතුළු දෙස් විදෙස් ඇගයිමට ලක්ව ඇති වටිනා නිර්මාණයකි.

ධීවර පවුල් කිහිපයක් කේන්ද්‍ර කරගෙන කරන ලද චිත‍්‍රපටය තුළ ග‍්‍රාමීය ජන ජීවිතය නාගරික ලක්ෂණ තුළ කැළඹෙන අයුරු මැනැවින් විදහා දක්වා තිබේ. සම්ප‍්‍රදායික ව්‍යුහය හා පැරණි සමාජ වටිනාකම් ධනය හා බලය හමුවේ මුහුණ දෙන ඉරණම සියුම් ව විග‍්‍රහ කර ඇත. පතිරාජ ශූරීහු නිර්මාණය කරන ලද කෘතිය තුළ බරපතල සමාජ විග‍්‍රහයක් ගැබ්ව තිබුණ අතර ඔහු අත් විදින ලද, බරපතල පීඩාව ගැන සාකච්ඡා කරන ලද බව සැකයක් නැත.

බඹරු ඇවිත් පළමුවෙන් ප‍්‍රදර්ශනය කරන ලද කාල වකවානුවේ තිබුණ පසුබිම අදටත් එලෙසම පවතී. පැවැත්ම වෙනස් කරන්නට අරගල කරන ලද පරම්පරාව අපට අහිමි වී අප අතරින් සමුගෙන බව සදහන් කළ යුතුය. පැරණි පරපුරෙන් යශ්ඨිය අගට ගත් අද ජීවත්වන සටන්කාමීහු අරගලය කරගෙන යමින් සිටී. තවත් වසර ගණනකට පසු පවතින දුක් වේදනා ඊළග පරම්පරාවට බාර දෙනු ඇති බව ඉතාමත් පැහැදිලිය. සූරාකෑම අවසානයක් නැත. බලහත්කාරය එසේමය. ලිංගික අතවර, ගැහැණිය සම්බන්ධ නරක ප‍්‍රතිරූපය එලෙසම පවතී. දරිද්‍රතාවය ජන ජීවිතය වට කර සිටින අතර අඩුම තරමින් හෙට දවස ගැන පවා හිතන්නට අපහසු තැනකට බහුතරයක් දෙනා තල්ලූකර ඇති බව පෙනේ. ජනතා විරෝධය හැම තැනකින්ම ඇවිලෙමින් තිබේ. එකක් කරදර ලෙහා ගතහොත් තවත් කරදරයක් නැවත ඇවිලෙන තරමට සමාජය නොසන්සුන් තැනකය. සංවර්ධනය හ ජන ජීවිතය ඉහළටම ඔසවා තබන ප‍්‍රතිපත්ති ගැන නොනවත්වා සාකච්ඡා කරන නමුත් මිනිසුන්ට ලැබෙන දෙයක් තිබේද? හැකියාවක් ඇති  ඕනෑම කෙනෙකු රට හැර යන්නට තැත් කරමින් සිටිති. දරුවන්ගේ අනාගතය අදුරු වනු ඇති බවට සැකයෙන් පසුවෙති. බඹරු ඇවිත් චිත‍්‍රපටය අප ගිලී සිටින, මෙකී දරුණු ඛේදවාචකය තේරුම් ගැනීමට හොද සංකේතයකි.

ක‍්‍රමය වෙනස් කරන බව ශපථ කර බලයට එන දේශපාලනඥයෝ පවතින තත්ත්වයට වගකිව යුතුද? නැත්නම් ආණ්ඩුවක් බලයට පත් කර තමන්ගේ උවමනා එපාකම් ඉටු කරගැනීමට හිතන පාක්ෂිකයන් වගකිව යුතුද? තමන්ගේ ආණ්ඩුවක් හදාගෙන රස්සාවක්, ඉඩමක්, දරුවාට පාසලක් ඇතුළු සියළු දේ සදහා කැසකවන අවස්ථාවාදී පිරිස අප අතර බහුලය. රටට වැදගත්වන, ආර්ථික සහ සමාජ පරිවර්තන සදහා වන පියවර අවහිර කරන අතර නිසි අවස්ථාවේ දී ගත යුතු තීරණ වලට බාධා පමුණුවති. රජයෙන් නඩත්තුවීම හැර අනෙක් බලාපොරොත්තුවක් නැත. ජාතිය, ආගම දේශපාලන පක්ෂය පැලැන්තිය හා තවත් නොයෙක් ආකාරයෙකින් රට බෙදී ඇති අතර එකට එකතු වී විසදුමක් කරා ගමන්කරන්නට සුදානමක් නැත. එය අප මුහුණ දී ඇති බලවත් දුබලතාවයකි. විශාල ප‍්‍රචාරක ඝෝෂාවකට එක ඡන්දයක දී රැවටෙන ජනතාව අනෙක් ඡන්දයක දී තවත් ඝෝෂාකාරී රැවටිල්ලකට ගොදුරුවන බව පෙනේ.

යතාර්ථය තේරුම්ගැනීම වැදගත්ය. ලෝකයේ අනෙක් රටවල් ඉදිරියට යන අතර සරු පොලවක්, ඉතාම හොද දේශගුණයක්, දක්ෂතම මානව සම්පතක් සහ ඉතිහාසයෙන් දායාද වූ වටිනා සංස්කෘතික අනන්‍යතා සහිත ශ‍්‍රී ලංකාවට සිදුවී ඇත්තේ කුමක්ද? බඹරු ඇවිත් පරෙස්ම්වෙයල්ලා යැයි නැවතත් දරුවන්ට කියන්නට සිදුවී තිබේ. අප ගමන් කළ යුතු දිසාව ගැන සන්සුන්ව, මැදහත්ව අලූතින් හිතන්නට අවශ්‍යය.