2021/07/21 – ලංකාදීප

අප සියළුම දෙනා අධ්‍යාපන ප‍්‍රතිසංස්කරණ වලට එරෙහිව පාරට බැස අරගල කරන ලද පරම්පරාවේ දරුවන්ය. 1987  දී ආරක්ෂක අංශ වල බාධා මැද ‘‘පලා බබා අපට එපා’’ කියමින් තාර පාරේ ඇවිද ගෙන ගිය බව අමතක නැත. අධ්‍යාපන ප‍්‍රතිසංස්කරණවලට අදත් බරපතල විරෝධතා තිබේ. අයිතිවාසිකම් ආරක්ෂා කරගැනීමට බව කියැවෙයි. ඉතාම මෑතක දී සයිටම් පණතට එරෙහිව අරගල කරන ලද අතර අද ගෙන යන සටන කොතලාවල පණත පරාජය කිරීම සදහාය. අනාගතයේ දවසක අපගේ දරුවන් ඔවුන්ගේ කුඩා දරුවන්ට නිදහස් අධ්‍යාපනය සදහා කළ සටන්කාමී ගමන ගැන ආඩම්බරයෙන් කතා කරනු ඇත්ද?

ක‍්‍රිස්තු පුර්ව 544  දී පමණ චීනයේ විසු දක්ෂ සෙනෙවියෙකු හා දාර්ශනිකයෙකු වු සුන් ට්ත්සු ගේ ප‍්‍රකාශයකට අනුව ‘‘සටන් කළ යුතු වෙලාව දන්නා අය ජයග‍්‍රහණය කළ නොහැකි වෙලාව දනිති. අප තෝරා නොගත යුතු මාර්ග තිබේ. පහර නොදිය යුතු හමුදා ඇත. පහර නොදිය යුතු නගර හා පවුරු තිබේ’’. ජීවිතය ද යුද්ධයකි. එහි හිස ඔසවා ගෙන සිටිය හැකි තැන් ඇත. හිස නමා ගෙන මග හැරිය යුතු අවස්ථා තිබේ. සටන් කළ යුතු නමුත් සටන් නොකළ යුතු මන්දැයි කල්පනා කළ යුතු තීරණාත්මක තැන් ද ඇත. ආණ්ඩුව සහ පාලන කරන ක‍්‍රමය ගැන ප‍්‍රශ්න ඇත. ජනමතය මෙහෙයවා ආණ්ඩුව අප‍්‍රසාදයට පත් කළ හැකි අතර ඊළග මැතිවරණයේ දී පරාජය කිරීම ලෙහෙසිය. පරාජය කළ යුතු ජරාජීර්ණ, පටු දේශපාලන ක‍්‍රමය වන අතර අහිංසක දරුවන්ගේ අනාගතය නොවේ. අධ්‍යාපනය යනු පහර දී බිද දැමිය යුතු නැති පවුරකි.

පාසලකට ඇතුලත් වන දරුවන්ගේ සිත් තුළ අප‍්‍රමාණ බලාපොරොත්තු ඇත. දෙමාපියන් වශයෙන් දරුවන්ගේ අනාගතය වෙනුවෙන් කරන කැපවීම මහත්ය. පවතින සංකීර්ණ ක‍්‍රමය තුළ අධ්‍යාපන අංශයේ දුබලතා බහුලය. නිදහස් අධ්‍යාපනය බව දක්වන නමුත් එයට ගෙවන වන්දිය සුළු පටු නොවේ. නොමිලේ දෙන සෑම දෙයකම සැගවුණ මිලක් තිබේ. පොත පත, නිල ඇදුම්, ගාස්තු අය නොකරන ඉගැන්වීම් ඇතුළු සෑම අංශයක්ම මහජන බදු වලින් ආවරණය කෙරේ. පාසල් අධ්‍යාපනය ප‍්‍රමාණවත් නැති අතර ඉතා තරගකාරීය. ටියුෂන් වලට දරුවන් යවන අතර එක විෂයකට ගුරුවරු දෙතුන් දෙනා වෙත යවන දෙමාපියෝ එයින් උත්සාහ කරන්නේ දරුවන්ගේ අනාගතය ගොඩනගන්නටය. පසුගිය දශක හත අට තුළ අධ්‍යාපන අංශයේ දැවැන්ත වෙනස්කම් සිදුවී තිබේ. උගන්වන ක‍්‍රමය පමණක් නොව උගන්වන විෂය කාරණා සම්බන්ධයෙන් ද සිතා ගත නොහැකි පරිවර්තනයක් සිදු වී ඇත. කටපාඩම් කිරීම වෙනුවට හිතන්නට උගන්වන ක‍්‍රම භාවිතා කෙරේ. විභාග පැවැත්වීම දැනුම මනින ක‍්‍රමයක් නොවේ. ලෝකයේ  ඕනෑම විශ්ව විද්‍යාලයක ඔන්ලයින් ඉගෙන ගැනීමට හැකියාව ලැබී තිබේ. එබදු පරිසරයක් තුළ නොගැලපෙන ක‍්‍රම තුළ මෙරට සිසු දරුවන් අතිශය පීඩාවට පත්ව සිටිති.

වෘත්තීය සමිති සටන්කාමීන් පමණක් නොව පාලකයන් අවබෝධ කරගත යුතු තවත් පැත්තක් ද තිබේ. දරුවන් ද, දෙමාපියන් ද රට හැර යමින් සිටී. අවස්ථාවක් ලැබෙන පළමු වාරයේ දී ම ලෝකයේ  ඕනෑම රටකට පිටත්ව යන්නට සූදානමක් නොමැති අය නැත. වරප‍්‍රසාද ලබන සුළු පිරිසකගේ පැවැත්ම වෙනුවෙන් අප සියළු දෙනා ගේ ජීවිත කැප කර තිබේ. දුප්පත් ජනතාවගේ දරුවන්ට නිදහස් අධ්‍යාපනය බව ප‍්‍රකාශවන නමුත් සමහර නායකයන්ගේ දරුවෝ ඉගෙන ගන්නේ පිටරටවලය. එම තත්ත්වය විශේෂයෙන් සලකා බැලිය යුතුය. කොවිඞ් වසංගත තත්ත්වය නොතිබුණේ නම් උදෑසන අවදි වී පාසලට යන දරුවෝ අවසානයේ දී අදුර ද සමග නිවසට එන්නේ අතිරේක පන්ති ද අවසන් කිරීමෙන් පසුවය. ඉතාම සීමිත අවස්ථා සදහා කිසිසේත් විශ්වාස කළ නොහැකි තරමට වෙහෙසෙන, ධනය වැය කරන අධ්‍යාපන ක‍්‍රමය ආරක්ෂා කරගැනීමට සටන් කළ යුතුද? අලූතින් හිතන්නට නොහැකි, විකල්පයක් ගැන කල්පනා නොකරන සමාජය,  ඕනෑම පාලන ක‍්‍රමයකට ඇති වරප‍්‍රසාදයකි. නිදහස් හා නිවහල් විය යුතු සිතිවිලි වලින්ය. අරගල කළ යුතු වෙනස්කම් වෙනුවෙන්ය.

අධ්‍යාපන ක්ෂේත‍්‍රය දේශපාලන හෝ වෘත්තීය සමිති බල අරගලයක කොටසක් විය යුතු නැත. අධ්‍යාපන විශේෂඥයන්, නිදහස් චින්තකයන්, සහ පර්යේෂකයන් විවිධ පැති වලින් සොයාබලා අවශ්‍ය වෙනස්කම් කළ යුතු තැනකි. කළ යුතු වැදගත් වෙනස්කම් ගැන බුද්ධිමතුන් ගේ යෝජනා ප‍්‍රබලව ඉදිරිපත් නොකරන පසුබිමක නැගෙන ඝෝසාවක තරම ඉතාම සන්සුන්ව සාකච්ඡා කළ කාරණයකි.