2021/07/14 – ලංකාදීප

ප‍්‍රජාතන්ත‍්‍රවාදය උසස් පාලන ක‍්‍රමයකි. බි‍්‍රතාන්‍ය එහි සංකේතයකි. යටත් කරගෙන සිටි රටවලට ප‍්‍රජාතන්ත‍්‍රවාදී ගුණාංග හදුන්වා දුන් බි‍්‍රතාන්‍ය පාලකයෝ එය ලෝකය පුරා ව්‍යාප්ත කළහ. කාලයත් සමග ප‍්‍රජාතන්ත‍්‍රවාදයෙහි නවීකරණයක් සිදුවී තිබේ. ජනතාවගේ අයිතිවාසිකම් ආරක්ෂා කරන සහ යුක්තිගරුක පාලන ක‍්‍රමයක් සදහා විවිධ අණ පණත් එකතු වී ඇත.

එළිසෙබත් රැජන අනුගමනය කරන නිල නොවන ආදර්ශ පාඨයක් තිබේ. කිසිම අවස්ථාවක පැමිණිලි කළ යුතු නැති අතර පැහැදිලි කිරීම ද කිසිසේත් අවශ්‍ය නැති බව ( Never complain Never Explain) එහි කියැවෙයි. ලෝක ඉතිහාසයේ ඉහළින්ම නම සටහන් වන ජගත් නායකයන් අතලොස්ස අතර එතුමිය විශිෂ්ඨ ගෞරවයක් හිමිකරගෙන ඇත. දැනට ලෝකය පාලනය කරන සියළුම නායකයෝ බි‍්‍රතාන්‍ය රැජන හමුවී ඇති අතර විවිධ ජාත්‍යන්තර ප‍්‍රශ්න සහ අර්බුද ගැන නොයෙක් පැති වලින් සාකච්ඡා කර තිබේ. රැජන කිසිම අවස්ථාවක ඇය අනුගමනය කරන පැමිණිලි නොකරන හා පැහැදිලි නොකරන ප‍්‍රතිපත්තිය වෙනස් කර නැත. එය විද්වතුන් ගේ නිරීක්ෂණයට ලක් වී ඇති වැදගත් කාරණයකි.

මෙම පිලිවෙත එක් දහස් අටසිය ගණන් වල බි‍්‍රතාන්‍ය අගමැතිවරයෙකු වූ බෙන්ජමින් බි‍්‍රශ‍්‍රායලේ ගෙන් ආරම්භ වූ එකක් බව ඉතිහාසය දක්වයි. හෙතෙම සාහිත්‍යධරයෙකු වූ අතර දේශපාලනඥයෙකු ද විය. ඔහු සිය කාර්යයන් හි දී කිසිම පැමිණිල්ලක් නොකරන සහ හේතු පැහැදිලි නොකරන ප‍්‍රඥප්තියක් අනුමනය කර ඇත. වත්මන් රැජින ගේ මෑණියන් ද එකල මෙම පිලිවෙත බි‍්‍රතාන්‍ය රාජකීය පවුලේ කටයුතු වල දී ක‍්‍රියාවට නංවන ලද බව දැක්වෙයි. සියවස් ගණනක් එහි සාර්ථිකත්වයෙන් අත්දැකීම් ලබා ගෙන තිබේ. ප‍්‍රජාතන්ත‍්‍රවාදය විශිෂ්ඨ පාලන ක‍්‍රමයකි. නායකත්ව සතුව ආවේනික පිලිවෙත් තිබේ. ඒවායේ සංකලනයක් තුළින් සර්ව සාධාරණත්වය ඇති කෙරේ.

ජන ජීවිතයේ දී එදිනෙදා අපට මුහුණ දෙන්නට සිදුවන දහසකුත් එකක් ප‍්‍රශ්න ඇත. ඒවා ගැන පැමිණිලි කරමින් මැසිවිලි නගමින් කල් හරින්නට අවස්ථාවක් නැත. ඉතාම වේගයෙන් අවස්ථා උදාවන අතර ඒවා මග හැරෙන තරම ද එපමණටම වේගවත්ය. ඉතාම සංකීර්ණ සමාජ ව්‍යුහයකි. එවැනි පරිසරයක් තුළ දෙමව්පියන් වශයෙන් තීරණ ගැනීමට සිදුවෙයි. ගන්නා තීරණ වල වාසි හා අවාසි තිබේ. තීරණ දහයක් තුළ දෙක තුනක් වැරදෙන්නට බැරි නැත. මැසිවිලි වලින් හෝ හේතු පැහැදිලි කිරීමෙන් පලක් තිබේද? අර්බුද එල්ලවන අවස්ථා තිබේ. තියුණු කර්කශ විවේචන මතුවනු ඇත. වෙරළ වෙත එන රැළි හා සමාන කළ හැකිය.  වෙරළ තීරය වෙත පැමිණ හැපී තුනී වී පෙණ විසිරී සන්සුන්ව ආපසු මහා සාගරය කරා ඇදි යයි. ප‍්‍රචණ්ඩ රළ පහරක වගක් හෝ වෙරළ තීරයෙහි ඉතිරි කරන්නේ නැත.

බෙන්ජමින් බි‍්‍රශ‍්‍රායලේ අගමැතිවරයාට වරක් ප‍්‍රකාශ කර ඇති පරිදි ඔබ ඉදිරියේ සිටින කෙනෙකුට ඔහු ගැන කතා කරන්න. ඔහු පැය ගණනක් අසා සිටින්නට කැමැතිය. නමුත් මිතුරෙකුට පවා මැසිවිලි කිරීමෙන් හෝ පැහැදිලි කිරීමෙන් කිසිම පලක් නැත. බෙන්ජමින් අගමැතිවරයා ස්ථිර වශයෙන්ම කියා සිටියේ එක්තරා සීමාවක දී එම මිත‍්‍රයා පවා අහගෙන ඉන්නේ නැති බවය.

ලෝක ඉතිහාසයෙන් පාඩම් ඉගෙනගත හැකිය. අත්දැකීම් සටහන් කර තිබේ. වර්තමානයේ අප ගේ පැවැත්ම තුළ අතීතයේ උගත් පාඩම් කිසිසේත් අමතක කළ යුතු නැත. ඉලක්කයකට ගමන් කිරීම නායකත්ව ගුණාංගයකි. අප සියළු දෙනා ජන සමාජය තුළ එක්තරා ආකාරයක නායකයෝය. අප සියළු දෙනාටම වගකීමක් තිබේ. මැසිවිලි නගන්නට අවශ්‍යතාවයක් නැත. පැමිණිලි කළ යුතු ඇයි? පැහැදිලි කිරීමෙන් පවා ඒත්තු ගැන්විය හැකි සීමාවක් තිබේ. අරමුණ සාක්ෂාත් කරගැනීම උදෙසා නිදහස්, නිවහල්ව ක‍්‍රියා කිරීම හැර අනෙක් පිලිවෙලක ප‍්‍රතිඵල සීමිතය.