2020/07/07 – ලංකාදීප

එදිනෙදා කටයුතු තාක්ෂණය විසින් පහසු කර තිබේ. ජන සමාජය අලූත් යුගයකට ඇතුළුවීම පරිවර්තනයට හේතුවකි. තරුණ ප‍්‍රජාව සෑහෙන ප‍්‍රමාණයකින් තොරතුරු තාක්ෂණයට සම්බන්ධ වී ඇති බව සදහන් කළ යුතුය. සෑම රටකම පාහේ තාක්ෂණ භාවිතාව දෙගුණ තෙගුණ වී තිබේ. සංවර්ධනය ඉක්මන්වීමට බලපාන සාධකයක් සේ සැලකේ. කොවිඞ් වසංගත තත්ත්වය තාක්ෂණ නැඹුරුවට ඉවහල් විය. සංචරණ සීමා පනවන විට, එදිනෙදා අවශ්‍යතා ඉටුකරගැනීමේ දී විකල්පයක් වූයේ තාක්ෂණයයි. කොවිඞ් පාලනය කිරීමෙන් පසු, අන්තර් ජාලයෙන් වැඩ කරන වෙනස්ම පැවැත්මකට ලෝක ප‍්‍රජාව යොමු වනු ඇතැයි සැලකේ.

ජාත්‍යන්තර පර්යේෂකයන් සදහන් කරන පරිදි රාජකාරි කටයුතු සදහා සේවයට වාර්තා කිරීම අලූත් පැත්තකට හැරීමට ඉඩ තිබේ. එය දෙමුහුන් ක‍්‍රමයක් විය හැකිය. අත්‍යවශ්‍යම කොටස කාර්යාලයට එන අතර නිවසේ සිට රාජකාරි කළ හැකි පිරිසට ඒ සදහා අවසර ලැබෙනු ඇත.

පසුගිය වසර හත අට තුළ පැවැත්මෙහි සමහර අංශ විශාල වෙනස්කම් වලට ලක්විය. වාහනයක් අයිතිකර ගැනීම වෙනුවට අවශ්‍ය වෙලාවට වාහනයක් ඇනවුම් කළ හැකිය. ආහාර නිවසටම ගෙන්වා ගැනීමට අවස්ථාව ලැබුණි. සමහර රටවල් ගනුදෙනුකරුවන්ට භාණ්ඩ බෙදාහැරීමට ඩ්‍රෝන තාක්ෂණය ද භාවිතා කරයි. නිවසක කොටසක් ආගන්තුකයෙකුට තාවකාලිකව පැවැරිය හැකි ක‍්‍රම අන්තර් ජාලය හදුන්වා දී තිබුණි. කාර්යාලයට පැමිණීම අනවශ්‍ය සහ කාර්යාල වේලාව කාර්ය මණ්ඩලයට තෝරාගත හැකි පරිදි නම්‍යශීලිවීම මෙම නවීකරණ  යුගයට ඇතුලත් වන තවත් පැත්තක් විය හැකිය.

බි‍්‍රතාන්‍යයේ ප‍්‍රකට සමාගමක් කාර්යාලට පැමිණීම අවශ්‍යම නැති කොටසක් තෝරා ගෙන ඔවුන්ට සිය නිවෙස්වල සිට රාජකාරි කිරීමට අවසර දී ඇත. පුහුණු වැඩසටහනකට හෝ වෙනත් අවශ්‍යම අවස්ථාවක හැර කාර්යාලයට පැමිණීම අනවශ්‍යය. සේවා ඉලක්ක සම්පූර්ණ කළ හැකි, විනයක් සහිත කාර්ය මණ්ඩලයකට හොදටම ගැලපෙන ක‍්‍රමයකි. මෙරට රාජ්‍ය හා පුද්ගලික අංශයේ සෑහෙන පිරිසක් පසුගිය කාලයේ දී, කාර්යාල කටයුතු නිවසේ සිට කරගෙන යන ලද බව ද සදහන් කළ යුතුය. වසංගතය පාලනය කිරීමෙන් පසු නැවතත් හුරු පුරුදු පැය අටක කාර්යාල ක‍්‍රමයට ආපසු හැරෙන්නට අවශ්‍ය ද යන්න අපට ද සලකා බැලිය හැකිය.

දිනපතා කාර්යාලවලට පැමිණිය යුතු කොටස අඩුවන විට පොදු ප‍්‍රවාහන අවශ්‍යතාව සීමා වෙයි. කාර්යාලවලින් කරන රාජකාරි අන්තර් ජාලයෙන් කරගත හැකි තැනට පත්වුවහොත් ජනතාව නගරයට එන වාර ගණන ද අඩු කළ හැකිය. දැනට භාණ්ඩ අලෙවිය පවා අන්තර් ජාලයෙන් කෙරෙන අතර එය තවත් පුලූල් කළහොත් නිතර වෙළද සැල්වලට එකතුවන පිරිස ද පහත වැටෙනු ඇත. ආර්ථික වේගයක් ළගා කරගැනීම සදහා දිවා කාලය පමණක් නොව රාත‍්‍රියට ද වැඩ කරන රටක් නිර්මාණය කළ යුතු බව කාලයකට කලින් සාකච්ඡා වූ කරුණකි. සිංගප්පූරුව, මැලේසියාව හා තායිලන්තය වැනි රටවල දිවා රාත‍්‍රී වැඩ කරන ක‍්‍රමය ප‍්‍රචලිතය. තාක්ෂණය භාවිතා කර පැය විසි හතරම සේවය කිරීමට හැකිය. සේවා කටයතු නොනවත්වා කරගෙන යන්නට පුලූවන්කම තිබේ. බැංකු වල ඇතැම් කටයුතු දවසේ  ඕනෑම වේලාවක අන්තර් ජාලයෙන් කරගැනීමේ හැකියාව තිබේ. රාජ්‍ය හා පුද්ගලික අංශය එවැනි සේවා ව්‍යාප්තියකට තීරණය කළහොත් දියුණුවට මගකි. මාර්ග තදබදය අඩු වන අතර එය බලශක්ති වියදම ද සීමා කරනු ඇත. කාර්යාල ගොඩනැගිලි සහ උපකරණ අවශ්‍යතා අඩු කරගත හැකිය. නඩත්තු වියදම සෑහෙන ප‍්‍රතිශතයකින් පහත වැටෙනු ඇත.

පුරුදු රාමුවට නැවතත් අවතීර්ණ වී එහි නීති හා පැරණි නිලධාරීවාදයට නැවත ගොදුරුවීම සුදුසු නැත. කාර්යක්ෂමතාව ගැන විශාල උත්සාහයක් ඇති අවස්ථාවකි. ඵලදායීතාව වර්ධනය කරගැනීම සදහා බලවත් පරිශ‍්‍රමයකය. අනාගතය හැදෙන්නේ තාක්ෂණික භාවිතය සමග බව පිලිගත යුතුය. තරගකාරී අනෙක් සමාජ වලට කලින් පියවරක් ඉදිරියට තැබීමට අපට හැකියාවක් තිබේ. වැඩි දියුණු කළ හැකි පැති ගැන විමර්ශණයක් අවශ්‍යය. ප‍්‍රතිපත්ති තීරණ ගත යුතුව තිබේ. වසංගතය තුරන් වන කාලය ගැන තවම නිශ්චිත අදහසක් නැත. කල්නොහැර කටයුතු කළහොත් ශ‍්‍රී ලංකාව තාක්ෂණික යුගයකට ඇතුළු කළ හැකිය.