කොවිඞ් වසංගතයේ දෙවැනි හා තෙවැනි රැළි නැගෙමින් තිබේ. සියළුම රටවල ජන ජීවිත බලවත් කැළඹීමකට පත්ව ඇත. ලෝක ඉතිහාසයේ එතෙක් මෙතෙක් පැවැති දරුණුම ඛේදවාචක අතරින් එකක් වශයෙන් සනිටුහන් වනු නිසැකය. එන්නත්කරණය එක විසදුමකි. එහෙත් වෛරසය තවත් ප‍්‍රබේධවලට දියුණුවෙමින් පවතින බව වාර්තා වෙයි. සමාජ,ආර්ථික සහ සංස්කෘතික පැවැත්ම බලවත් අර්බුදයකය. පළමු වටයේ දී සාර්ථක පාලනයක් කරා ගමන් කරන්නට ශ‍්‍රී ලංකාවට හැකිවිය. දෙවැනි සහ තුන්වැනි වටවල දී නරක ප‍්‍රතිඵල අත්පත් කර දී තිබේ. එක දිගට නොනැවතී රාජකාරි කිරීමෙන් සෞඛ්‍ය අංශ පවා වෙහෙසකර තත්ත්වයකය. ජනතාවගේ හැසිරීම අනෙක් වැදගත් කාරණයකි. බොහෝ අවස්ථාවල අනුගමනය කළ යුතු මුලික සෞඛ්‍ය පුරුදු පවා අනුගමනය නොකරති. මුහුණු ආවරණ පැළැදීම, දෑත් සෝදා පිරිසිදුව තබා ගැනීම වැනි සරල පියවර පවා සමහර දෙනෙකුට වැදගත් නැත. සංචරණ සීමා පැනවීම පවා සැහැල්ලූවකට ගෙන ඇත.


කොවිඞ් වසංගතයේ භයානක තත්ත්වය, සමාජය එයට මුහුණ දෙන ආකාරය සහ අනෙකුත් පසුබිම සලකන අතරතුර අවධානය යොමු කළ යුතු තවත් පැත්තක් ද තිබේ. අප සියළු දෙනා සත්‍යය අවබෝධ කරගත යුතුය. එය ඉතා අමිහිරිය. එයින් කියැවෙන පණිවුඩය මහත් වේදනාවක් ඇති කරවයි. එක පැත්තකින් රටට බලවත් සෞඛ්‍ය අර්බුදයක් තිබේ. අනෙක් පැත්තෙන් ආර්ථික පීඩනයක් එල්ලවෙමින් පවතින වකවානුවකි. සංවිධිත ක‍්‍රියාමාර්ග අනුගමනය කළ යුතුව තිබේ. සමාජය බලගැන්විය යුතුව ඇත. සහන අවශ්‍ය නැතැයි තීරණය කළ හැකි එකම අංශයක් හෝ නැත. ආහාර සුරක්ෂිතතාව හා කෘෂිකර්මය නගාසිටුවීම ගැන සිතන්නට සිදුවී තිබේ. ක්ෂුද්‍ර ආර්ථික කළමණාකරණය, විදේශ වෙළදාම, ආයෝජනය,තාක්ෂණික අංශ,ශ‍්‍රම බලකාය, මුල්‍ය හා ප‍්‍රතිපත්ති යන අංශවල සම්පූර්ණ සමාලෝචනයක් කළ යුතුව තිබේ. අයවැය හිගය සහ ගෙවුම් ශේෂය දැනට පවතින ආර්ථික පසුබිම දෙපැත්තකින් වටලා තිබේ. මුල්‍ය විනය සහ විනිමය අනුපාතය කළමණාකරනය කෙරෙහි දීර්ඝ කාලයක් තිස්සේ අනුගමනය කළ සරල විලාසය එය තවත් තියුණු කර ඇත. නිෂ්පාදන, අලෙවි හා සේවා අංශවල පැවැත්ම හීනවීම තුළ වර්ධන අනුපාතික තවත් දුර්වල කර තිබේ.

උද්ධමනය, ආහාර මිල වැඩිවීම, සහ විනිමය හිගය ඉන්ධන ඇතුළු ආනයනික අංශ කෙරෙහි බලපා ඇත. ආනයන සීමාව,රසායනික පොහොර සහ කෘෂි රසායන නතර කිරීම වැනි තීරණ දක්වා කාන්දු වී තිබේ. ශ‍්‍රී ලංකාවේ ආර්ථිකයෙහි පවතින ව්‍යුහය ලෝකයේ ඉතාම දක්ෂ ආර්ථික විශේෂඥයන්ට පවා එකවර විසදුමක් ලබා දිය නොහැක. ස්වභාවය එපමණ සංකීර්ණය. අපනයන ආදායම 2000 වසරේ දී, දළ දේශීය නිෂ්පාදිතයේ ප‍්‍රතිශතයක් වශයෙන් සියයට 39.2 කි. එය 2019 දී සියයට 23.12 දක්වා අඩු වී තිබේ. වියට්නාමයේ එම කාලසීමාව තුළ අපනයන ඉපැයීම්, එරට දළ දේශීය නිෂ්පාදිතයේ ප‍්‍රතිශතයක් වශයෙන් සියයට 51.92 ක සිට සියයට 106.80 දක්වා නැග ඇත. වෙනස ගැන කල්පනා කරන්න. ජාතික ආදායමෙන් පමණක් පවතින හැකියාවක් රටකට නැත. අපනයන ආදායම සලකාබලන ව්‍යුහාත්මක සංශෝධන වලට යා යුතුය. මෙතෙක් අනුගමනය කරන ලද ප‍්‍රතිපත්ති වෙනස් කළ යුතුය. පසුගිය වසරේ ජාතික ආදායමෙන් සියයට අසූ පහක් රජයේ සේවක වැටුප් හා විශ‍්‍රාම වැටුප් වෙනුවෙන් වියදම් කර ඇත. ණය පොලී ආපසු ගෙවීමට වැය කරන ලද ප‍්‍රමාණය සලකා බැලූවහොත් රජයේ ආදායමෙන් සියයට හැත්තෑ එකක් වෙන් කරන්නට එම වසරේ දී සිදුවී තිබේ. ජාතික ආදායමෙන් පමණක් කළ හැකි දේ ඉතාම සීමිතය.
මෙම රාමුව වෙනස් කරනු සදහා ධනය උපයන,කී රක්ෂා උත්පාදනය කරන ව්‍යාපෘති වෙනුවෙන් විශාල වෑයමක් දැරිය යුතුය. ප‍්‍රතිපත්ති සම්පාදකයන් සහ සමාජ නායකයන් එකතු වී තීරණ ගත යුතු අවස්ථාවකි. ආණ්ඩුව හෝ විපක්ෂය යන කණ්ඩායම් වශයෙන් බෙදීම පලක් නැත. අද සිදුවෙමින් පවතින සිද්ධිවල විපාක අනාගතයේ බලයට පත්වන ආණ්ඩුවකට ද මග හැරිය නොහැකි බව අවධාරණයෙන් සදහන් කළ යුතුව තිබේ. පක්ෂ, කල්ලි, කණ්ඩායම් වලින් එන නොයෙක් විවේචනවලින් කුසගින්න නිවිය හැකි යැයි කල්පනා කරන්නේ නම් වරදකි.


ජනතාවට ඇත්ත කියන, ජනතාව එකගකරගෙන අනාගතයට මුහුණ දෙන පිලිවෙලක් අවශ්‍යය. ක‍්‍රියාවෙන් විශ්වාසය ගොඩනැගිය හැකිය. සියළු පාර්ශව එකතු කරගෙන ශක්තිමත් බලයක් තුළින් හැර අර්බුදයෙන් ගොඩ එන අනෙක් ක‍්‍රමයක් නැත. සන්සුන් මනසකින් ගැටළු නිරීක්ෂණය කළ යුතු අතර ආවේගශීලී අදහස් පතුරවන සියළු පාර්ශව එයින් මෙතෙක් ලැබී ඇති වාසි අවාසි තක්සේරු කළ යුතු කීරණත්මක කාලපරිච්ෙඡ්දයක් පසුකරමින් සිටින බව සිහිපත් කළ යුතුය.