2021/06/23 – ලංකාදීප

පොසොන් පුර පසොලොස්වක දිනය හෙටට යෙදී තිබේ. බුදු දහම ලක් බිමට ලැබුණේ අදවැනි දිනකය. ඉන්දියාවේ විසූ අශෝක රජතුමා ගේ අනුදැනුම මත මිහිදු මහ රහතන් වහන්සේ මෙරටට වැඩම කර තිබේ. එවකට ලංකාව පාලනය කළේ දේවානම් පියතිස්ස රජතුමාය. දෙරට අතර සබදතාවයක් පැවැති බව පැහැදිලිය. රජතුමා ඇතුළු ලාංකිකයෝ බුදු දහම අවබෝධ කරගැනීමට සමත් ද යන්න පරීක්ෂා කරන ලද ආකාරය ප‍්‍රකටය. මහ රජතුමා ඇතළු පිරිවර  සහ පසුව ලංකාවාසීහු බුදු දහම වැළදගත්හ. ධර්මයෙන් උගන්වන දර්ශනය අනුව ජීවිත සකස් කරගත්හ.

ධර්මාශෝක, දේවානම් පියතිස්ස වැනි රජවරු පමණක් නොව ලෝකයේ ලොකු -කුඩා, රටවල දුප්පත් -පොහොසත් අති විශාල පිරිසක් බුදු දහම වැළද ගෙන තිබේ. ධර්මය අවබෝධ කරගෙන ජීවිතය අලූතින් සකස් කරගන්නට ඇත. නොයෙක් අවස්ථාවල බුදු දහමේ පැවැතිමට බලපෑම් එල්ල වී තිබේ. වෙනත් ජාතීන්ගේ ආක‍්‍රමණ, වෙනත් ආගම් වලට හැරෙන සේ එල්ල වූ පීඩනය සහ ශාසනයේ පවා සිදුවූ පරිහානිය සලකා බැලිය යුතු පැතිය. අද තත්ත්වය තවත් තීව්ර වී තිබේ. අපරාධ, සමාජ ප‍්‍රචණ්ඩත්වය, ගැටුම් සහ එකිනෙකා කෙරෙහි වෛරයෙන් හැසිරෙන ස්වභාවයක් පෙනේ. මිනිසුන් ගේ හදවත් තුළ දහම නැති බව ඉතාම හොඳින් තහවුරු කරයි. ජාති, ආගම්, පක්ෂ සහ පැලැන්ති බේධ අවුළුවා රට තුළ නොසන්සුන්තාව වර්ධනය වී තිබේ. දශක ගණනක් තිස්සේ පැවැති ත්‍රස්තවාදයේ ප‍්‍රතිඵලයක් විය හැකිය. අනෙක් අතට ධනය හා බලය සදහා වූ තෘෂ්ණාවෙන් පෙලෙන ජනී ජනයා ස්ව කැමැත්තෙන්ම මෙකී  පැවැත්ම කරා අවතීර්ණ වී සිටින බව ද සැලකිය යුතුය.

ආර්ථික සහ සමාජ වශයෙන් පමණක් නොව බලවත් සෞඛ්‍ය තර්ජනයක් ද එල්ල වී ඇති වකවානුවකි. පොසොන් උත්සවය පැවැත්වීමට පවා බාධාවක් මතු වී තිබේ. බුදු දහම මෙලොව යහපත් පැවැත්ම සහ අවසානයේ දී නැවත ඉපැදීමක් නැති නිවන සාක්ෂාත් කරගැනීමට මග දක්වයි. අද ජන සමාජයේ පැවැත්ම දෙස බලන විට ඉතාම සංකීර්ණ තත්ත්වයකි. නිර්වාණය වෙනුවට තෝරාගෙන ඇති දැක්ම කුමක්ද?

මිහිදු මහ රහතන් වහන්සේ අද වැනි දිනයක වැඩම කළහොත් රට තුළ ඇති විය හැකි වාතාවරණය කෙබදුද? මිහිදු හිමියන් ගේ සම්ප‍්‍රාප්තිය විජාතික කුමන්ත‍්‍රණයක් සේ අර්ථ දක්වනු නිසැකය. රට යටත් කරගෙන ජාතික සම්පත් සූරාකෑමට ඉන්දීය පාලකයන් ගෙන යන සූක්ෂම පිලිවෙලක් බවට ඝෝෂාවක් නැගෙන්නට හොදටම ඉඩ තිබේ. කොටසක් අධිකරණයට කරුණු දක්වා වාරණ නියෝගයක් ගැනීමට බැරි නැත.  පාලක පක්ෂය ගන්නා තීරණ සම්බන්ධයෙන් බලවත් විරෝධය දක්වා පුවත් පත් නිවේදන, මාධ්‍ය සාකච්ඡා සහ අවසානයේ දී අන්තවාදී පිරිස් පාරට බැස විරෝධතා දක්වන්නට ඉඩ තිබේ. සමාජ මාධ්‍ය මහත් අවුලක් ඇති කරනු ඇත. තවත් පැත්තකින් සලකනවිට දැවැන්ත ප‍්‍රචාරක ව්‍යාපාර පැන නැගෙන්නට ද ඉඩ තිබේ. මාධ්‍ය අනුග‍්‍රහය පමණක් නොව මිහින්තලාවේ විකාශන අයිතිය ද දේශපාලන සටනක් වනු ඇති බව නිසැකය. කොවිඞ් වසංගත තර්ජනය තිබිය දී පවා ජනතාව පෙලගස්සවන ජාතික ව්‍යාපාර පැන නැගෙන බව ද නිසැකය.  මෙවැනි අනුමාන අප පත්වසිටින ශෝචනීය තත්ත්වය පැහැදිලි කරයි. බුදු දහමට අනුව ජීවිත හසුරුවාගෙන නැති බව දක්වයි.

බුදු දහම මනුෂ්‍ය ප‍්‍රජාවට ජීවිතය උගන්වන දැවැන්ත දර්ශනයකි. අටලෝ දහම අනුව ජීවත්වන ආකාරය කියා දෙයි. පන් සිල් ආරක්ෂා කරගන්නට හෝ සමහරෙකුට උනන්දුවක් නැත. බෞද්ධ යන්න උප්පැන්න සහිකයට සීමා වි තිබේ. වර්තමානයේ පවතින සංකීර්ණ ව්‍යුහය වටහා ගන්නට උත්සාහ කළ යුතුය. භයානක අවසානයක් කරා ගමන්කරන බව පෙනෙන නමුත් එකතු වී විසදුමකට උත්සාහ දරන්නේ නැත. ජන සමාජය පමණක් නොව සංඝ සමාජය ද පිරිහී තිබේ. විනය පිරිහී ගිය විට ධර්මය නොපවතින බව බුදු රජාණන් වහන්සේ දේශනා කළහ. බුද්ධ කාලයටත් වඩා විද්‍යාවෙන් සහ තාක්ෂණයෙන් දියුණු බව දක්වන නමුත් අප කොපමණ නොදියුණු දැයි කල්පනා කරන්නට පොසොන් පසලොස්වක දිනය අවස්ථාවක් මතු කර තිබේ.