පරිසර ආරක්ෂාවට පමණක් නොව වසංගතයට මුහුණදීම ද වැදගත්ය
ස්විට්සරලන්තයේ නොබෝදා පැවැති ජනමත විචාරණයක ප්‍රතිඵල අනුව රජයේ යෝජනාව පරාජය වී තිබේ. ගෝලීය උණුසුම අඩු කරන්නට හේතුවන පියවර ගණනාවක් අලුතින් බලගැන්වීමට ස්විස් පාලක පක්ෂය තීන්දු කර තිබුණි. පැරිස් සම්මුතියට අනුව ක්‍රියාවට නැගෙන්නකි. ඉන්ධන බදු සහ ගුවන් ප්‍රවේශ පත්‍ර බදු වැඩි කිරීමට යෝජනා කළේය. කෘමි නාශක භාවිතය අඩු කරන අතර එවැනි පියවර වෙනුවෙන් පෙනී සිටින ගොවීන්ට පමණක් ජලය පිරිසිදු කරන ව්‍යාපෘතිවල දී සහනාධාර සැපයීම ද ප්‍රධාන යෝජනා අතර විය. ජනතාව එම යෝජනා ප්‍රතික්ෂේප කර තිබේ. පරිසර ආරක්ෂාව පමණක් නොව කොවිඩ් වසංගතයෙන් ජීවිත ගලවාගත යුතු බව එරට වැසියෝ ජනමත විචාරණයේ දී ප්‍රකාශ ඇති බව දැක්වෙයි.


ජන මත විචාරණයේ ප්‍රතිඵල විශ්ලේෂණය කරන විද්වත්හු යෝජනාව පරාජය කරන ලද ඡන්ද ප්‍රතිශතය අඩු එකක් බව පෙන්වා දෙති. එහෙත් පරිසරය ගැන වැඩි අවධානයකින් සිටින ස්විට්සරලන්තය වැනි රටක ජනතාව පාලකයන්ට වැදගත් අනතුරු ඇඟවීමක් කර තිබේ. කාලගුණ විපත් අවම කරන සැලසුම් අවශ්‍ය නමුත් එවැනි පියවරකට ඇති හදිසි උවමනාව කොවිඩ් වසංගත තත්ත්වය ඉදිරියේ තරමක් අවලංගු බව ජනතා මතය බව පෙනේ. ස්විස් වැසියන් කරුණු සලකා බලා ඇති ආකාරය වෙනස්ය. පළමුවෙන් ජීවිත ආරක්ෂා කරගත යුතුය. පරිසරය ආරක්ෂා කරන තීරණ ගැනිමට තවත් කල් තිබේ.
ගෝලීය උණුසුම වැඩි කරන්නට බලපාන හේතුවලට එරට වගකීම ඉතාම අඩු අගයක් බව ජනමත විචාරණයේ දී ප්‍රතිවාදීන්ගෙන් මතුවූ කරුණකි.

1990 සිට 2030 දක්වා කාලය තුළ එම බලපෑම තවත් හරි අඩකින් අඩු කරන තීරණ ගන්නට කලින් ජනතාව අද මුහුණ දී ඇති ව්‍යසනය ගැන අවධානය යොමු කළ යුතු බව ද ප්‍රකාශ වී ඇත. නොයෙක් රසායනික භාවිතය හේතු කරගෙන ජල දූෂණය, ශාඛ, සතුන් හා කෘමි වර්ග වලට සිදුවන විනාශය සහාය දක්වන පිරිස් අවධාරණය කර ඇත. එයට එකඟ නොවූ එරට ගොවීහු අලුත් ප්‍රතිපත්ති ක්‍රියාත්මක වුවහොත් සෑහෙන පිරිසකට සිය වෘත්තීන් ගෙන් ඉවත්වන්නට සිදුවනු ඇති බව පෙන්වා දී තිබේ. කොවිඩ් තර්ජනය තිබිය දී යැපෙන මාර්ග අහිමිවීම අවාසනාවන්ත තත්ත්වයක් ඇති කරන බව අවධාරණය වී ඇත. කාලගුණ විපත්වලින් ගැලවීමට කලින් කොවිඩ් වසංගතයෙන් ජීවිත ආරක්ෂා කරගත යුතු බව එරට වැසියෝ ප්‍රකාශ ඇති බව පැහැදිලිය.


හරිත ප්‍රතිපත්ති ක්‍රියාවට නැගීම ගැන ආඩම්බරයෙන් සිටි ස්විට්සරලන්තයේ මෙම පරිවර්තනය ජගත් ප්‍රජාවගේ බලවත් අවධානයට ලක් ව ඇත. මූලික වශයෙන් සලකා බැලිය යුතු කරුණු සම්බන්ධ ලැයිස්තුව වෙනස් කරන්නට පාලකයන්ට බල කර තිබේ. කෘමි නාශක වලින් පරිසරයට හෝ අහසට නැගෙන ගුවන් යානා වලින් වායුගෝලයට වන බලපෑම හා සමානව ජනතාව ඉදිරියේ නැගී ඇති ව්‍යසනයට විසඳුම් සොයාගැනීමට අනියම් ආකාරයකට බලකර ඇත.
තීරණ ගැනීමට කලින් ජනතාව ඉදිරියට ගොස් ජනමත විචාරණ පැවැත්වීම දියුණු ප්‍රජාතන්ත්‍රවාදයක් සහිත රටවල ලක්ෂණයකි. ආණ්ඩු ඉදිරිපත් කරන සියළුම යෝජනාවලට ජනතාව සම්පූර්ණයෙන්ම එකඟ වෙන්නේ නැත. බි්‍රක්සිට් ජනමත විචාරණයට බි්‍රතානයේ දී අත් වූ ඉරණම ද තවත් හොඳ උදාහරණයකි. ජනමත විචාරණයක් පැවැත්වීමට විශාල වියදමක් අවශ්‍යය. ශ්‍රී ලංකාව වැනි රටවලට ජනතා අදහස් විමසා බලන ඡන්ද වරින්වර පැවැත්වීම පහසු නැත. ව්‍යවස්ථානුකූලව පැවැත්විය යුතු ඡන්ද පවා පැවැත්විය නොහැකි පසුබිමක ලෝකයේ නොයෙක් තැන් වලින් ලැබෙන පණිවුඩ වල අර්ථ වටහා ගත යුතුය.


ජන ජීවිතය තීරණාත්මක තැනක තිබිය දී පසෙක තැබිය යුතු යෝජනා වලට ඉහළම ලන්සුවක් තැබීම නුසුදුසුය. ජන සමාජයක හැසිරීම ඉතාම සංකීර්ණය. ලෝකයේ හරිත සංකල්ප වලට වැඩි අවධානයක් තිබේ. විශේෂයෙන් තරුණ පෙළ සිය පැවැත්ම ගැන කල්පනා කරති. තීරණ ගැනීමේ දී පැති දෙකක් තිබේ. පරිසරය වැදගත්වන අතරවායේ හදිසියේ පැනනැගෙන තත්ත්ව ගැන ද සලකා බැලිය යුතුය. මෑත කාලය තුළ ආණ්ඩු පක්ෂයේ නියෝජිතයන්ට පවා ආණ්ඩුවේ ඇතැම් තීරණවල කාලීන බව ගැන ප්‍රශ්න තිබුණි. අනුචිත බව ගැන වෙනස් අදහස් තිබේ. පහල සිට නැගෙන අදහස් ඉහළ තලයේ සිටින ප්‍රතිපත්ති සම්පාදකයන්ට දැනෙන්නේ නැත. එය බලවත් දුර්වලතාවයකි. පීඩනය එකතු වන අතර අවසානයේ දී එය මැතිවරණයක දී පුපුරා මහත් කලබැගෑනියක් ඇති කරයි. ස්විස් ජනමත විචාරණය අප රටට ද පාඩමකි. පරිසරය ගැන අවධානය යොමු කරන අතරවරයේ දැන් පැන නැගී ඇති වාතාවරණය සියුම්ව සලකා බැලිය යුතුය.