2021/06/09  – ලංකාදීප

ජාත්‍යන්තරයේ උද්ගත වී ඇති ස්වභාවය අනුව ඉදිරියේ දී අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය මිල ඉහළ යන්නට ඉඩ ඇති බව වෙළදපොළ විශ්ලේෂකයෝ පෙන්වා දෙති. කොවිඞ් -19 වසංගත තත්ත්වය පැතිරෙන්නට කලින් තිබුණ මිල ගණන් සමග සසදනවිට ආහාර මිල ඉහළය. ඉදිරියේ දී සාමාන්‍ය ජනතාවට අපහසුතා ඇති කරන අවදානමක් තිබේ. තිරිගු, සීනි, කිරි, කෝපි, සෝයා බෝංචි හා මස් වර්ග වල මිල සියයට දහසයක සිට තිස් දෙක දක්වා ප‍්‍රමාණයකින් තොග මිල ගණන් ඉහළ නැග ඇත. ධාන්‍ය හා පලතුරු අමුද්‍රව්‍ය ඇසුරෙන් නිපදවන අතුරු නිෂ්පාදන වල මිල එයටත් වඩා ඉහළය. කිරිපිටි, බටර්, සෝයා තෙල් සහ විවිධ කෝන්ෆ්ලෙක්ස් වර්ග එවැනි නිෂ්පාදන අතර තිබේ.

සමහර ආහාර නිෂ්පාදන වල මිල සියයට හැටකින් පමණ වැඩි වී ඇති අතර ඒවා සාමාන්‍යයෙන් ඉහළ ධනවත් පිරිස පරිභෝජනය කරන ඒවා හෙයින් තියුණු බලපෑමක් එල්ලකර නැත. එක පැත්තකින් ආහාර ද්‍රව්‍ය වගා කිරීමේ දී අපහසුතා ඇති වී තිබේ. අනෙක ප‍්‍රවාහනය ගැටළු සහගතය. ගොවිපොල හෝ කර්මාන්ත ශාලාවේ සිට වරාය වෙත ප‍්‍රවාහනය පමණක් නොව එතැන් සිට නැව් මගින් ලෝකය පුරා කරන ප‍්‍රවාහනයට ද වසංගතය අවහිර මතු කර තිබේ. වසර දහයක් තුළ පැවැති ඉහළම ගාස්තු අය කරන්නට සමහර නැව් සමාගම් පියවර ගෙන ඇත. එය භාණ්ඩ හිගය හා මිල තවත් නංවන හේතුවකි. වෙලෙන්දෝ මිල නංවන අතර ආදායම් මාර්ග අවහිරවී ඇති ජනී ජනයා අසරණ වී ඇති බව නොයෙක් රටවල වාර්තා පෙන්වයි.

නිෂ්පාදනය සීමා සහිත හා ඒවායේ මිල වැඩිවන අතර සමහර රටවල් ආහාර තොග රැස්කිරීම අරඹා තිබේ. චීනය ඉදිරියෙන් සිටින බව දැක්වෙයි. ධාන්‍ය වර්ග මහා පරිමානයෙන් මිල දී ගනිමින් සිටී. එය වෙළද පොල තුළ පවතින ව්‍යුහය තවත් සංකීර්ණ කර තිබේ. ආදායම් අඩු ජන කොටස ආහාර මිල ගණන් හුවා දක්වමින් විරෝධතා ක‍්‍රියාමාර්ග වලට අවතීර්ණ වී සිටී. එය අනෙක් පැත්තකින් දේශපාලන අර්බුද මතු කර ඇත. අප‍්‍රිකානු රටවල මෙම තත්ත්වය දේශපාලන අස්ථාවර භාවය තෙක් වර්ධනය වනු ඇතැයි සැලකේ. කොවිඞ් වසංගතයෙන් පීඩා විදින අතර ආහාර මිල අර්බුදයක් ද තුළ සමහර රටවල කැළැඹිලි හටගනු ඇති බව ද ප‍්‍රකාශ වෙයි.

ඇමරිකාව දැනටමත් සිය වැසියන්ට ආහාර මිල ගැන අනතුරු අගවා ඇත. එක්සත් ජාතීන්ගේ ආහාර හා කෘෂිකර්ම සංවිධානයේ ආහාර මිල දත්ත අනුව පසුගිය මැයි මාසයේ අත්‍යවශ්‍ය ආහාර මිල ඉකුත් වසර දහය තුළ වැඩිම තැනක බව පෙන්වයි. වසංගත තත්ත්වය, එහි ප‍්‍රතිඵලයක් වශයෙන් ලෝක ආර්ථිකයේ පවතින ගැටළු සහ අනතුරුව නැග එන ආහාර මිල පිලිබද තත්ත්වය සුළු කොට තැකිය නොහැකිය.

කොවිඞ් වසංගතයේ තුන්වැනි රැල්ලකින් පීඩා විදින ශ‍්‍රී ලංකාව අලූත් ස්වභාවය ගැන අවධානය යොමු කිරීම වැදගත්ය. වෙනත් රටවලින් කරන ආනයන සම්බන්ධ බලාපොරොත්තු සීමා කරන්නට සිදුවිය හැකිය. ගෙන්වන ආහාර වල මිල දරාගැනීමට අපොහොසත්වන්නට ඉඩ තිබේ. ආනයන කෙරෙහි නැඹුරුව සීමා කර රට තුළ කරන නිෂ්පාදනය දියුණු කරන පියවර ගත යුතුව ඇත. ඉතා ඉක්මනින් අස්වැන්න ලබාගත හැකි කෙටි කාලීන භෝග ගැන අවධානය සුදුසුය. සහල් සහ තිරිගු පිටි වලට අමතරව විකල්ප සොයා ගත යුතුය. කොස්, දෙල්, මයියොක්කා සහ බතල වැනි බෝග අමතර වශයෙන් ආහාරයට ගැනීම සුදුසුය. ගෙවතුවල තමන්ට අවශ්‍ය බෝග වගා කරන සූදානමක් මෑත කාලයේ දී තිබුණි.

එහෙත් උනන්දුව තරමක් අඩු වී තිබේ. නිපදවන මහන්සියට වඩා අඩුවෙන් වෙළද පොලෙන් මිල දී ගත හැකි වීම හා වන සතුන්ගෙන් සිදුවන හානි එයට බලපාන ලද බව පෙනේ. ජාත්‍යන්තරයේ ස්වභාවය සලකා විවිධ පැති වලින් කරුණු සලකා තීරණ ගැනීම කෙරෙහි ප‍්‍රතිපත්ති සම්පාදකයෝ වගබලා ගත යුතුය. දැනට මෙරට වෙළද පොල හැසිරීම සලකා බලනවිට ගොවියන්ගේ නිෂ්පාදන නිසි මිලකට අලෙවි කරගත නොහැකිවීම ප‍්‍රශ්නයකි. ලෝක වෙළද පොලේ ආහාර මිල වැඩිවන අතර තුර මෙරට කෘෂි නිෂ්පාදන විකුණාගත නොහැකිවීමෙන් සිදුවිය හැකි ඉරණම වෙනම සාකච්ඡා කළ යුතුය. ආහාර සදහා කරන වියදම ජනී ජනයාට ඉතාම තීරණාත්මක සාධකයකි. ඉතාමත් ප‍්‍රවේසමෙන් ස්වභාවය කළමණාකරනය කළ යුතුව තිබේ.