2021.06.02 – ලංකාදීප

සාගරය සුරකින ප්‍රතිපත්ති ගැන අවධානයක්
කොළඹ වරාය දෙසට යාත්‍රා කරමින් තිබුණ භාණ්ඩ ප්‍රවාහන නැව ගිනිගැනීමේ සිද්ධිය මහත් ආන්දෝලනයක් මතු කර තිබේ. මෑත කාලය තුළ මෙරට මුහුදු සීමාවේ වාර්තා වූ දෙවැනි බරපතල සිදුවීමය. සාමාන්‍ය අනතුරුවලට ලක් වූ නැව් ගණනාවක් ගැන ද තොරතුරු වාර්තා විය. ආසියාවේ නාවික කේන්ද්‍රස්ථානයක් වශයෙන් දියුණුවිය හැකි පසුබිමක් ශ්‍රී ලංකාවට තිබේ. වරාය සංවර්ධනය කර නාවික ගමනාගමනයට ඉඩ දෙන අතරතුර එමගින් ඇති විය හැකි අවදානම අවම කරගැනීම ගැන ද වැදගත්ය.


පසුගියදා සිදුවූ අනතුර ගැන විශේෂ අවධානයක් යොමු කිරීම අවශ්‍යය. එහි ප්‍රවාහනය කරමින් තිබුණ රසායනික ද්‍රව්‍ය සාගරයට මිශ්‍ර වී තිබේ. මත්ස්‍යයන්, කැස්බෑවන් පමණක් නොව මුහුද පත්ලේ වෙසෙන ජීවීන් පවා විපතට පත්ව සිටී. විනාශ වූ කන්ටේනර් වල තිබුණ අපද්‍රව්‍ය බටහිර පමණක් නොව දකුණු වෙරළට ද ගොඩගසා ඇත. සිදුවූ හානිය නැවත ගොඩනැගෙන්නට අවම වශයෙන් වසර දහයක සිට විස්සක් දක්වා කාලයක් ගත විය හැකි බව විශේෂඥයෝ කියති. ධීවර කටයුතු වලට අවහිර වී ඇති අතර එයින් යැපෙන පිරිසට සහන සපයන්නට සිදුවී ඇත. ජන ජීවිතයට කර ඇති බලපෑම මහත්ය. සාගර කලාපයට සිදුවූ විනාශය තක්සේරු කළ නොහැකිය. නඩු පවරා වන්දි ලබාගැනීමෙන් පමණක් සෑහීමකට පත් විය යුතු නැත.


කොළඹ හා හම්බන්තොට වරාය කාර්ය බහුල වන පසුබිමක අනාගතයේ දී ඇතිවිය හැකි තත්ත්වය ගැන අවධානය යොමු කිරීම සුදුසුය. වරාය දියුණු කරන අතර නාවික ආපදාවක දී වහා ක්‍රියාත්මක විය හැකි මෙහෙයුම් මධ්‍යස්ථානයක් රටට අවශ්‍යය. ඉන්දියන් සාගරයේ ගමන් කරන නැව්වලට ක්ෂණික සේවා සම්පාදනය එයින් කළ හැකිය. එය විශේෂිත අංශයකට කරන ආයෝජනයකි. ව්‍යාපාරික අවස්ථාවකි. භාණ්ඩ ප්‍රවාහන නෞකා වල සේවක කණ්ඩායම සුළු පිරිසකි. අත්‍යවශ්‍ය පිරිස හැරණු කොට හදිසියක දී ක්‍රියාත්මක වන කණ්ඩායම් නැත. නැව් සමාගමට හෝ රක්ෂණ අංශ වලට දැනුම් දී පියවර ගැනීමට කාලයක් ගතවෙයි.

සාගරයේ ගමන් කරන නැව් වෙනුවෙන් සහන සේවා සැපයීම රටට අලුත් අවස්ථාවකි. රජය ප්‍රතිපත්ති සකස් කළ යුතුය. ජාත්‍යන්තර තලයේ නියාමනයක් අවශ්‍යය. පුද්ගලික අංශයට එහි මෙහෙයැවිය හැකිය. අවශ්‍ය අවස්ථාවල දී දෙස් විදෙස් ආයෝජකයන්ට එකතුවීමට ද අවස්ථාවක් තිබේ. මෑත සිදුවීම් දෙක සලකනවිට එම නැව්වල තත්ත්වය පාලනය කිරීමට හා අවශ්‍ය පියවර ගැනීමට බැහැර විශේෂඥයෝ කැඳවන්නට සිදුවිය. එයට දින ගණනක් ගත වූ අතර විනාශය අවම කරගැනීමට අවස්ථාව අහිමි වූ බව සඳහන් කළ යුතුය.
ඉන්දියන් සාගරයේ සිදුවන ප්‍රවාහන කටයුතු ගැන ද අවධානය යොමු කිරීම සුදුසුය. ලෝකයේ සිදුකරන, ඛනිජ තෙල්, ගෑස් හා ගල් අඟුරු ප්‍රවාහනයෙන් සියයට හැත්තෑ දෙකක් සිදුකරන්නේ ඉන්දියන් සාගරය ඔස්සේය. ජාත්‍යන්තර මුහුදේ සිදුවන කන්ටේනර් ප්‍රවාහනයෙන් සියයට පනහක් ඉන්දියන් සාගරය හරහා සිදුවන බව දැක්වෙයි. ශ්‍රී ලංකාව අවට මුහුදේ ගමන් කරන නැව් ප්‍රමාණය දිනපතා වැඩිවෙමින් තිබේ. නැගෙනහිර කොළඹ පර්යන්තය දියුණු කිරීමට රජයේ සැලැස්මකි. ඉන්දියාව හා ශ්‍රී ලංකාවේ රාජ්‍ය පුද්ගලික ඒකාබද්ධ ආයෝජනයකින් බටහිර පර්යන්තය දියුණු කරන යෝජනාවකට ද අනුමැතිය ලැබී තිබේ. එක තීරයක්, එක මාවතක් යන චීන සංකල්පය අනුව සාගරය ඔස්සේ තැනෙන නව සේද මාවත තවත් සංකීර්ණ පැත්තකි. කොළඹ වරාය නගරය කාර්ය බහුලවන අනාගතයේ දී ඉතා ධනවත් සංචාරකයන් පුද්ගලික නැව් වලින් පවා කොළඹට පැමිණෙනු ඇතැයි සැලකේ. මෙවැනි පැති සලකා බලනවිට නාවික කේන්ද්‍රස්ථානයක් පමණක් නොව ආසියාවේ නාවික සහන මධ්‍යස්ථානයක් වශයෙන් ද නැගෙන්නට අවස්ථාවක් ඇත.


ශ්‍රී ලංකාව දක්ෂ මානව සම්පත් සහිත රටකි. පවතින තාක්ෂණික පසුබිම අනුව ලෝකයේ ප්‍රමුඛ විද්වතුන් සමග සෘජු සම්බන්ධතා ඇතිකරගන්නට බාධාවක් නැත. අවශ්‍ය ආයෝජනයට ඉඩ දිය යුතු අතර එයින් ඇතිකරන අවස්ථා ගැන යුහුසුළුවීම වැදගත්ය. හම්බන්තොට වරාය මෙවැනි හදිසි මෙහෙයුම් ඒකකයක් නඩත්තු කරන්නට හොඳ ස්ථානයකි. වරාය පමණක් නොව මත්තල ගුවන් තොටුපොල ද ඉක්මන් සේවා සම්පාදනයට ලබාගත හැකිය. මෙවැනි යෝජනා වල දී විදේශ ආධාර පවා ලැබේ. සමාගම් ගණනාවක් මුහුදු කොල්ලකරුවන්ගෙන් නාවුක ආරක්ෂාව වෙනුවෙන් සාර්ථක ව්‍යාපාර කරගෙන යයි. එහි අත්දැකීම් රටට තිබේ. මෙවැනි පැති ගැන අලුතින් හිතන්නට අවශ්‍යය. ගිණිගත් නැව සම්බන්ධයෙන් පරස්පර මත ඇති කර නගන ඝෝෂාව වෙනුවට රටට ගත හැකි නව ක්‍රියාමාර්ග ගැන සාකච්ඡා නොකරන්නේ ඇයි?