ජාත්‍යන්තර බලශක්ති ඒජන්සිය නිකුත් කර ඇති වාර්තාවක් විශේෂ අවධානයට ලක් ව තිබේ. කොවිඩ් වසංගතය ඉතාම තීරණාත්මක තැනක පවතින අතරතුර පර්යේෂකයන් මිහිතලය ආරක්ෂා කරන පියවර වෙනුවෙන් යුහුසුළු වෙති. වායුගෝලයට ඉහළින් ඇති ඕසෝන් ස්ථරය ආරක්ෂා කරගැනීමෙන් ගෝලීය උණුසුම ඉහළ නැගීම නතර කරගත හැකිය. අහිතකර වායු ඕසෝන් ස්ථරය විනාශ කරන හේතුවකි. පොසිල ඉන්ධන දහනය කර බලශක්ති නිපදවීම නතර කිරීමෙන් කාබන්ඩයොක්සයිඩ් වැනි අහිතකර වායු බිංදුව දක්වා පහත දැමීම ඉලක්කය වී ඇත.


කාර්මීක විප්ලවය සමග බලශක්ති භාවිතය වේගයෙන් වර්ධනය වූ අතර ගල් අඟුරු, බොරතෙල් සහ ද්‍රව ගෑස් වලට ඉහළ ඉල්ලුමක් ඇති විය. එහි නරක ප්‍රතිඵලය අද අත්විඳින අතර අනාගත පරපුර වෙනුවෙන් තීරණගත යුතුව තිබේ. බලශක්තිය භාවිතය සම්බන්ධව දැනට පවතින රාමුව වහාම වෙනස් කළ යුතුව ඇත. සූර්ය තාප, සුලඟ, ජලය හෝ හයිඩ්‍රොකාබන් විදුලිය නිපැයුම සියයට අනූව දක්වා නැංවිය යුතුය. එම ප්‍රභව පිරිසිදු විදුලිය නිපදවනු ඇති අතර එය ස්වභාවික ව්‍යසන අවම කරන නිරෝගීමත් ජන කොටසක් ජීවත්වන යුගයක් නිර්මාණය කරනු ඇත.


වසර 2050 වන විට පොසිල ඉන්ධන දහනය අවම කරනු සඳහා වේගවත් ක්‍රියාමාර්ග අවශ්‍යය. අද සිට එක දවසකට මහා පරිමානයෙන් සූර්ය තාප බලාගාරය බැගින් ඉදිකළ යුතු බව බලශක්ති ඒජන්සි වාර්තාවක් පෙන්වා දෙයි. කරුණු හාර සියයකින් යුතු නිර්දේශ අතර එය ඉතාම වැදගත් එකකි. ඛනිජ තෙල් සැපයුම සම්බන්ධ ව්‍යාපෘති සහමුලින්ම නතර කළ යුතු අතර ගල් අඟුරු භාවිතා කරන ව්‍යාපෘති සඳහා ආයෝජන අහෝසි කළ යුතුය. දැනට පුනර්ජනනීය විදුලිය උත්පාදනය සමස්ථ නිපැයුමෙන් සියයට 29ක් වන අතර එය සියයට 90 ක් දක්වා නැංවිය යුතුවයි. 2035 වන විට එන්ජිමක් සහිත කාර් භාවිතය නතර කිරීම අවශ්‍යය. විුදුලිය බලයෙන් ධාවනය කරන වාහනවල බැටරිය ආරෝපනය කරන ස්ථාන මිලියන හතලිහක් අවශ්‍යවනු ඇත. ගුවන් යානා වල බලශක්තිය පවා පරිසර හිතකාමී බවට හැරවේ. අන්තර් නගර ගුවන් ගමන් සිමා කරන අතර අන්තර් නගර වේගවත් විදුලිය දුම්රිය හඳුන්වා දෙනු ඇත.

ලෝකයේ දුප්පත් රටවල වෙසෙන බිලියන 2.6 ක පමණ ජනගහනයකට විදුලිය පමණක් නොව මුළුතැන්ගෙයි අවශ්‍යතා වෙුනවෙන් ද කරන පරිසරයට අහිතකර බලශක්ති භාවිතා කරන ක්‍රම වෙනස් විය යුතු බව මෙම වාර්තාව දක්වයි.
දැනට පවතින රාමුවෙන් ගැලවෙන තීරණ ගැනීම පහසු නැත. ආණ්ඩු ඒවාට ඇබ්බැහි වී සිටී. ජාත්‍යන්තර බලශක්ති ඒජන්සිය පෙන්වා දෙන පරිදි පරිසර හිතකාමී, අලුත් බලශක්ති යෝජනා ක්‍රම වෙනුවෙන් ට්‍රිලියන හතරක මුදලක් ආයෝජනය කරන්නට සිදුවෙයි. ඛනිජ තෙල් සහ ගල් අඟුරු නිෂ්පාදනය නතර කරන අතර එයින් මැද පෙරදිග ඇතුළු රටවල අර්බුදයක් විය හැකි බවට භීතියක් පවතින නමුත් සත්‍යය එය නොවේ. පරිසර හිතකාමී බලශක්තිය සමග ලෝකයේ අලුත් ආර්ථිකයකට දොරටු විවෘත වෙයි. අවම වශයෙන් මිලියනයක් පමණ අලුතින්ම රැකියා අවස්ථා බිහිවෙයි. මහා පරිමානයෙන් විදුලිය නිපදවන හයිඩ්‍රජන් බලාගාර රටවල් අතර බලශක්තිය හුවමාරු කරන දැවැන්ත ව්‍යාපෘති වනු ඇත.

බොරතෙල් නිපදවන රටවලට හිමි ධනය හා බලය මෙම දැවැන්ත හයිඩ්‍රජන් බලශක්ති බලාගාර සහිත රටවලට ලැබෙනු ඇත.
කොවිඩ් අර්බුදයෙන් නිසොල්මන් වී සිටින ආර්ථිකයක් ඇති රටවල් බලශක්තියෙන් හා තාක්ෂණයෙන් අලුත් දොරටු විවෘත කරගනිමින් සිටී. දැවැන්ත ආර්ථිකයක් සහ විශාල ආර්ථිකයක් ඇති රටවලට කලින් ශ්‍රී ලංකාව වැනි මැදි ආර්ථිකයක සිටින කුඩා රටවලට අලුත් අවස්ථා තිබේ. ඉක්මන් තීරණ ගෙන ප්‍රතිපත්ති වෙනස් කළහොත් පරිසර හිතකාමී බලශක්තිය භාවිතා කරන නවීන යුගයකට ඇතුළු විය හැකිය.
සූර්ය තාපය හෝ හයිඩ්‍රජන් බලාගාර වලට රාජ්‍ය පුද්ගලික ආයෝජන කළ හැකිය. මහා පරිමාන ව්‍යාපෘති වලින් නිපදවන විදුලිය ඉන්දියාවට පවා විකිණිය හැකිය. කලාපයේ බලශක්ති කේන්ද්‍රස්ථානයක් බවට ශ්‍රී ලංකාව පරිවර්තනය කළ හැකි බව පර්යේෂකයෝ පෙන්වා දෙති.

මුළු රටම වෙනස් කරන්නට කලින් තෝරා ගත් නගරයක් හරිත බලශක්ති කලාපයක් කරන්නට බැරිකමක් නැත. කොළඹ වරාය නගර කලාපය ජාත්‍යන්තර ආදර්ශයක් කරන තීරණය කිසිසේත් අපහසු එකක් නොවේ. එවැනි පියවරක් තුළින් පරිසරය ගැන උනන්දුවක් සහිත අලුත් ආයෝජකයෝ ආකර්ශනය වනු ඇත. ලෝකයෙන් කල් ඉකුත්වන කාර්මික යුගයට දොරටු විවෘත කිරීම වෙනුවට අලුත් පැති ගැන හිතන්නට රටට අවස්ථාවක් ලැබී තිබේ. ප්‍රතිපත්ති සම්පාදකයෝ ජාත්‍යන්තර බලශක්ති ඒජන්සියේ වාර්තාව ගැඹුරින් අධ්‍යයනය කිරීම