2020/05/19 – බදාදා

කෘෂි අංශය ගැන අලුතින් අවධානයක් යොමු වී තිබේ. කොවිඩ් අවදානම හමුවේ නිෂ්පාදන අලෙවි කරගැනීමේ ප්‍රශ්න මතු වී තිබේ. අනෙක් පැත්තෙන් කාබනික පොහොර භාවිතය නතර කරන තීරණයකි. ආනයනික පොහොර හිඟය. වගාවට අවශ්‍ය පොහොර ප්‍රමාණවත්ව නොලැබුණහොත් අස්වැන්න අඩුවන අතර වගා කිරීම පලක් නැති බව ගොවියෝ ප්‍රකාශ කරති.


ශ්‍රී ලංකාව මැදි ආදායම් රටකි. කෘෂි අංශය ආර්ථිකයේ වැදගත් කොටසක් විය යුතුය. වී වගාව, වැවිලි භෝග සහ අනෙකුත් කෘෂිකාර්මික කටයුතු කාලානුරූපව පරිවර්තනයක් සිදු වී නැත. අනාගත පැවැත්ම පදනම් කරගෙන අවශ්‍ය වෙනස්කම් කළ යුතුය. වෘත්තියක් වශයෙන් කෘෂිකර්මයට නැඹුරුවන පිරිස අඩුවෙමින් තිබේ. තරුණ පිරිස මඩ තවරාගෙන වැඩ කරන්නට කැමැති නැත. සේවා අංශය අසාමාන්‍ය ලෙස පුලුල්වීම එහි ප්‍රතිඵලයකි. නිසි කළමණාකරණයක් තුළ කාර්මික, කෘෂිකාර්මික හා සේවා අංශ ගැන අලුත් අවධානයකින් තීරණ ගැනීම අවශ්‍ය කෙරේ.


අනාගත අවශ්‍යතා සලකා බලනවිට ආහාර බෝග නිෂ්පාදනයට ප්‍රමුඛතාව හිමිවිය යුතුය. ජනගහනය වැඩිවන අතර ඉඩම සීමිතය. ඉඩ ප්‍රමාණය තුළ රටට අවශ්‍ය ආහාර නිපදවා ගන්නට සිදුවෙයි. පරිභෝජනයට අවශ්‍ය ප්‍රමාණය සම්පූර්ණයෙන්ම නිපදවා ගත නොහැකිවුවහොත් හිඟය ආනයනය කිරීම හැර අනෙක් විකල්පයක් නැත. පවතින වෙළඳ පොල හැසිරීම සලකා බලනවිට ස්වයංපෝෂිත ආර්ථිකය අනිවාර්ය සාධකයක් විය හැකිය. කෘෂිකර්මය නැවතත් පැරණි ස්වභාවයට තල්ලු කිරීම හෝ නවීන තාක්ෂණික ගොවිතැන යන පැති දෙක අතරින් එකක් තෝරා ගත යුතුව තිබේ.


වස විස රහිත ගොවිතැන හොඳ ආදර්ශ පාඨයකි. පොහොර සහ රසායනික ද්‍රව්‍ය ආනයනය නතර කිරීම තුළ එය සාක්ෂාත් කරගත හැකිය. ජනතාවගේ ආහාර අවශ්‍යතා සම්පූර්ණ කිරීම සම්බන්ධයෙන් බරපතල ගැටළු මතු වනු ඇත. වී වගාව බුද්ධ බෝගයකි. ගොවියෝ පරිසරයට එකඟ ගොවිතැනක නියැලුණහ. දෙහීයට පසු කැකුලෙන් වී ඉස පැල කරගත්හ. නිසි අවස්ථාවේ දී වක්කඩ බැඳ වල් පැල පාලනය කරගත් අතර ගොයමට හානිකරන කෘමීහු පාලනය කරනු සඳහා විලෝපිකයන් සහ නොයෙක් කෙම් ක්‍රම අනුගමනය කරන ලද බව පෙන්වා දිය යුතුය.

ගොවිතැනින් කොටසක් කුරුළු පාලුව වශයෙන් වෙන් කර තැබූහ. ගැඩවිලුන් ඇතුළු හිතකර ජීවීහු පස සරවත් කරන ලද අතර එහි දී රසායනික දේ භාවිතා කරන හේතුවක් තිබුණේ නැත. ඉක්මන් වගා ක්‍රම, වැඩි අස්වැන්න සහ ලැබෙන අස්වැන්න ආරක්ෂා කර ගැනීමට ලෝක ව්‍යාප්ත සැලසුම් සකස්වීම තුළ එක සාධකයක් තිබුණි. අවශ්‍ය තරමට ආහාර නිපදවීමය. කුස ගිනි නිවන පිලිවෙලක් රහිත තැනක වස විස නැති ගොවිතැන තුළ ප්‍රශ්න මතුවිය හැකිය.
කෘෂිකර්මය ගැන කරන පර්යේෂණ නතර වී නැත. නවීන තාක්ෂණය එකතුවෙමින් තිබේ. නියැදි පරීක්ෂාකර අවශ්‍ය ප්‍රමාණයට පොහොර යොදවයි.

රසායනික ද්‍රව්‍ය අඩු කරනු සඳහා හරිතාගාර වල වගා කෙරේ. ක්ෂුද්‍ර ජීවීන් යොදවා අවශ්‍ය තරමට පෝෂණය සැපයෙන ක්‍රම සොයා ගෙන ඇත. දියර මාධ්‍යවල වගාව ද වානිජ මට්ටමින් කරගෙන යයි. මහල් නිවාසවල පමණක් නොව සාගරයේ ද වගා කරන තරමට අලුත් සොයාගැනීම් හඳුන්වා දී තිබේ. ගොවිපොල මෙහෙයුම් සම්පූර්ණයෙන්ම පරිගණකයකට භාර දිය හැකි තරමට දියුණුවක් ඇත. ජලය, පොහොර නිසි මොහොතේ අවශ්‍ය ප්‍රමාණයට පමණක් සැපයෙන මෘදුකාංග භාවිතා කළ හැකි අන්දමට ආහාර නිෂ්පාදනය විප්ලවීය පරිවර්තනයකය.


රසායනික පොහොර භාවිතය අවම කරන සැලැස්ම නරක නැත. එහෙත් එම තීරණය සමග කෘෂිකර්මය ආපසු පැරණි තැනට යා යුතු නැත. පැරණි යුගයට ආපසු හැරවීම ඇතැම් පිරිසක ගේ උත්සාහය බව පෙනේ. ප්‍රතිපත්ති සම්පාදකයන් අලුත් පැති ගැන අවධානය යොමු කළ යුතුය. පස්වන පරම්පරාවේ සන්නිවේදනය සමග නවීන කෘෂිකර්මයට අවස්ථාව තිබේ. නිෂ්පාදනය අඩු නොවන අතර රසායනික භාවිතාව අඩු තාක්ෂණික ගොවිතැන රටට හඳුන්වාදීම සුදුසුය. දැනට ආනයනය කරන බාල තත්ත්වයේ පොහොර වෙනුවට ගුණාත්මක බවින් වැඩි විශේෂ තිබේ. ඒවා මිල වැඩිය. ඵලදායීත්වයෙන් ඉහළය.

අනෙක රට තුළ විශාල ඉඩම් ප්‍රමාණයක් වගා නොකර අත්හැර දමා තිබේ. තරුණ පෙල ගොවිතැනින් ඈත්වීම එයට එක හේතුවකි. තාක්ෂණික ක්‍රම හඳුන්වා දෙන අතර වෙනස් මානයකින් කෘෂිකර්මික කටයුතුවලට නැවත අවතීර්ණ කරන පියවරක් වෙනුවෙන් ආයෝජනය ඉතාම වැදගත් බව අවධාරණය කළ යුතුය.