2021/05/12 – ලංකාදීප

සෑම පුද්ගලයෙකුටම මතයක් දරන්නට අයිතියක් තිබේ. වෙනස් මත දැරීම සහ මත අතර එකගතාවයකින් තීරණ ගැනීම ප‍්‍රජාතන්ත‍්‍රවාදී පාලනය ක‍්‍රමයක හොද ලක්ෂණයකි. පාර්ලිමේන්තු ක‍්‍රමය ප‍්‍රජාතන්ත‍්‍රවාදය ශක්තිමත් කරයි. මැතිවරණයක  දී ඡන්දය පාවිච්චි කරන ජනතාව සිය නියෝජිතයෝ පාර්ලිමේන්තුවට පත් කරති. මහජන නියෝජිතයා ගේ වගකීම ඡන්ද දායක, ජනතාවගේ අභිමතාර්ථ සාක්ෂාත් කිරීමය. බලයට පත්වන ආණ්ඩුව කැබිනට් ඇමැති මණ්ඩලයක් පත් කරගනී. රට පාලනය කිරීමේ භාරධුර වගකීම කැබිනට් මණ්ඩලයට පැවරේ. මහජන නියෝජතියන්ට හා කැබිනට් මණ්ඩලයට ඓතිහාසිකව පැවැරුණ කාර්ය භාරයක් ඇත.

අද මෙරට මහජන නියෝජිතයන්ගේ ක‍්‍රියා කලාපය සම්බන්ධයෙන් ප‍්‍රශ්න තිබේ. මහජන නියෝජිතයා වශයෙන් ජනතා අදහස් අනුව කටයුතු කරන්නේ ද යන්න සලකා බැලියයුතු මුලික කරුණකි. බහුතරයක් මහජන නියෝජිතයෝ පාර්ලිමේන්තුවට පත් වූ පසු ජනතාව ගැන තකන්නේ නැත. පාර්ලිමේන්තු විවාදයක දී කතා කරන්නේ පුද්ගලික අදහස් අනුවය. පණතකට ඡන්දය දෙන්නේ ජනතා නියෝජිතයා බව සහමුලින්ම අමතක කරමින් බව පෙනේ. ඇමැති මණ්ඩලය සතු පිලිවෙල වෙනස්ය. සාමුහික වගකීමකින් බැදී සිටී. ප‍්‍රජාතන්ත‍්‍රවාදී උසස් සම්ප‍්‍රදායයන් ඇති අතර ඒවා මැනැවින්  ආරක්ෂා කළ යුතුය. කැබිනට් මණ්ඩල සාකච්ඡාවක දී විවිධ අදහස්, නොයෙක් තර්ක හා පුද්ගලික අභිප‍්‍රාය හෙළි කළ හැකිය. එහෙත් කැබිනට් තීරණයක් ගැනීමෙන් පසු එය කැබිනට්මණ්ඩලයේ තීරණයකි. රජය නියෝජනය කරන ඇමැති මණ්ඩලය තීරණය වෙනුවෙන් පෙනී සිටිය යුතුය. කැබිනට් මණ්ඩලයේ දී අනුමත වන තීරණයකට එතැනින් බැහැරට පැමිණ වේදිකාවේ දී හෝ මාධ්‍ය කැමරාව ඉදිරියේ අනෙක් වීරත්වයක් පළ කිරීම නුසුදුසුය.

ශ‍්‍රී ලංකාවේ පළමු කැබිනට් මණ්ඩලය සාමුහික වගකීම ගැන කදිම ආදර්ශයකි. එම කැබිනට් මණ්ඩලයේ ලේකම්වරයා වශයෙන් කටයුතු කළ බර්නාඞ් පී. පෙරේරා මහතා සිද්ධි මතක සටහන් ඇතුලත් කර කෘතියක් සම්පාදනය කර තිබේ. එක තැනෙක කැබිනට් මණ්ඩලය තුළ තිබිය යුතු විනය ගැන සිද්ධියක් සදහන්ය.

ඞී. එස්. සේනානායක අගමැතිවරයා ගේ වෙළද හා වානිජ ඇමැතිධුරය හෙබවූයේ සී. සුන්දරලිංගම් මහතා ය. කැබිනට් රැස්වීමට එන ඇමැතිවරයා බොහෝ අවස්ථාවල තීරණ වලට විරුද්ධත්වය පළ කරයි. එතැනින් නතර නොවන ඔහු විරුද්ධත්වය සටහන් කරන සේ තමන්ට දන්වන ලද බව මතක සටහන් ලියන බර්නාඞ් පී. පීරිස් මහතා ලියා තිබේ. එවැනි විරෝධතා සටහන් කැබිනට් සටහන්වලට ඇතුලත් නොකළ අතර එක අවස්ථාවක ඒ ගැන ලේකම්වරයාගෙන් ප‍්‍රශ්න කර ඇත. අයිවන් ජෙනිංග්ස් රචිත කෘතියකට අනුව කැබිනට් මණඩලය තීරණයක් ගත් පසු සියළු දෙනා එම තීරණය අනුව පාර්ලිමේන්තුවේ හා එයින් පිටත සාමුහික වගකීමකින් කටයුතු කළ යුතු බව උපුටා දක්වා තිබේ. සුන්දරලිංගම් මහතා එයට එකග වී නැත. ජෙනිංග්ස් ගේ අදහස් ‘‘යල් පැන ගිය ඒවා’’ බව කියා තිබේ. එය අනුමත නොකළ අගමැතිවරයා ජෙනිංග්ස් ගේ පූර්වාදර්ශය අනුව ක‍්‍රියාකරන සේ දැනුම් දී ඇත. පසුව පාර්ලිමේන්තුවේ දී සිද්ධියක් වී ඇති බව දක්වන ලේකම්වරයා දිනක් හැන්දෑවේ සිය දුරකථනයට කතා කළ අගමැතිවරයා සුන්දරලිංගම් මහතා කැබිනට් මණ්ඩලයෙන් ඉවත් කරන ලිපිය කෙටුම්පත් කරන සේ නියම කර ඇත. පසුව සොයා බැලීමේ දී පාර්ලිමේන්තු ඡන්ද විමසීමේ අවස්ථාවක අදාල ඇමැතිවරයා පාර්ලිමේන්තුවෙන් බැහැර සිට ඇති අතර ඡන්දය ප‍්‍රකාශ කිරීමෙන් වැලකී ඇත.

පුද්ගලික මතය එකකි. මහජනතාව නියෝජනය කරන මන්තී‍්‍රවරයෙකුට ජනතාවගේ හඩ ඉදිරිපත් කළ හැකිය. කැබිනට් සම්ප‍්‍රදාය අනෙකකි. එහි සාමූහික වගකීමක් තිබේ. එය කිසි දිනක කල් ඉකුත්වන සංකල්පයක් නොවේ. කැබිනට් මණ්ඩලයේ දී එකගවන කරුණකට එයින් බැහැර වෙනත් මතයක් කතා කිරීමට අයිතියක් නැත. එය රජයේ සිටිමින් රජය විවේචනය කිරීමකි. මෙවැනි සිද්ධි පාර්ලිමේන්තුවේ සහ කැබිනට් මණ්ඩලයේ කීර්තිමත් ඉතිහාසය තුළ සටහන්ව ඇත.

ඉතිහාසයෙන් උගන්වන පාඩම් තිබේ. ඇතුලේ දී එකක් කියන ඇමැතිවරු පිටතට පැමිණ අනෙක් කාරණයක් කියන අවස්ථා තිබේ. වීරයන් විය හැකිය. ඡන්ද පදනම ආරක්ෂා කරගන්නට ද බැරිකමක් නැත. සාමුහික වගකීමෙන් ගැලවෙන්නට තැත් කිරීම යුක්ති සහගත නැත. එවැනි පියවරක දී කැබිනට් තීරණයක වලංගු භාවය ගැන ප‍්‍රශ්න මතුවෙයි. ආණ්ඩුව අපහසුතාවයට පත්වෙයි. ඇමැති මණ්ඩලයේ සාමාජිකයන් සිය වගකීම ගැන හිතන්නට අවශ්‍යය. නිදහසින් පසු පළමු ආණ්ඩුවේ කැබිනට් මණ්ඩලය සම්බන්ධයෙන් ඞී. එස් සේනානායක මහතා ගත් තීරණ අදටත් පූර්වාදර්ශයකි.