2021/05/05 – ලංකාදීප

වෙසක් මාසය බොදුනුවන්ට වැදගත් කාල පරිච්ඡේදයකි. සංකීර්ණ සමාජ පැවැත්ම තුළ බුද්ධ දර්ශනය මග පෙන්වීමකි . දහම පෙන්වා දෙන ප‍්‍රායෝගික පැති අනුගමනය කළ යුතුය. අන්තවාදයෙන් පලක් නැත. මැද පිලිවෙත වැදගත්ය. සියළු සැප සම්පත් අත්හැර දැමූ සිදුහත් බෝසතාණෝ සත්‍ය අවබෝධ කර ගැනීමට දරන උත්සාහ යේ දී තමන් අසලට වැටෙන දෙයක් හැර යමක් ආහාරයට නොගන්නට තීරණය කළහ. එය අන්තවාදී පියවරකි. මහත් දුෂ්කර තත්ත්වයකට පත්විය. අධික සැප හෝ අධික දුක පලක් නැති බව පසුව වටහා ගත්හ.

එදිනෙදා ජීවිතයේ සියළු තීන්දු තීරණ වල දී මැද පිලිවෙත සුදුසුය. අන්තවාදී විය යුතු නැත. පුද්ගලයන්ට පමණක් නොව රටකට ද පිලිවෙලක් තිබේ. ආර්ථික, සමාජ හා විදේශ ප‍්‍රතිපත්ති වල දී ප‍්‍රායෝගික විය යුතුය. මධ්‍යස්ථව ක‍්‍රියා කිරීම අවශ්‍යය. මෑත කාල පරිච්ඡේදය තුළ අන්තවාදී තීරණ ගණනාවක් රජය ගෙන තිබේ. එම තීරණ ගැනීමට බලකරන පසුබිම තේරුම් ගැනීම අපහසු නැත. සමාජය තුළ නොයෙක් තර්ක විතර්ක තිබේ. අනන්‍ය මතවාද ඇත. තාර්කිකත්වය තීන්දු ගැනීමට එකම හේතුවක් නොවේ. දත්ත එකතුකර ඒවා විශ්ලේෂණය කළ යුතුය. පර්යේෂණාත්මකව නිගමනයකට එළැඹිය යුතුය. බුද්ධ චරිතය හොද ආදර්ශයකි. ලෝක ඉතිහාසය පාඩම් උගන්වා තිබේ. නිදහස ලැබීමෙන් පසු ගත වූ කාලය තුළ ශ‍්‍රී ලංකාව අනුගමනය කළ ප‍්‍රතිපත්ති වලින් අත්පත් කරගත් වාසි අවාසි අමතක කළ යුතු නැත.

වස විස නැති ආහාර නිෂ්පාදනය අරමුණු කර පොහොර හා රසායනික ද්‍රව්‍ය භාවිතා කිරීම සම්පූර්ණයෙන් නතර කරන තීරණයක් ගෙන ඇත. එයට පක්ෂ පිරිසක් සිටිති. ස්වභාවික ජීවන රටාවකට අනුගත වුවහොත් සියළු ප‍්‍රශ්න වලට විසදුමක් ලැබෙන බව විශ්වාස කරති. එය අසත්‍යයක් නොවේ. සියළු කෘතීම දේ අතහැර පැරණි සමාජ ව්‍යුහයට ඇතුළු විය හැකි නම් එයින් සැපතකි. එහෙත් අප ඇතුළු වී සිටින යුගය අසමාන අවකාශයකි. වැඩිපුර නිපදවන්නට සිදුවූ හේතුව අවබෝධ කරගත යුතුය. ජනගහනය වැඩි වී තිබේ. ඉඩම සීමිතය. කෘෂිකර්මයෙහි නිරතවන පිරිස සුළු කොටසකි. මහා පරිමානයෙන් නිපදවිය යුතු අතර තමන්ට පමණක් නොව වෙළද පොල සදහා ද නිපදවන්නට සිදුවී තිබේ. වැටකොටු බැද, කාබනික පොහොර භාවිතා කර සහ කෘමි හානි වලට කෙම් ක‍්‍රම අත්හදා බලා කරනන නිෂ්පාදනය ජනගහනයේ අවශ්‍යතාවට ප‍්‍රමාණවත් නැත. ලෝක ආහාර සංවිධානය පවා ඇතිවිය හැකි ආහාර හිගය ගැන කල්පනා කරන අතර දැනට ආහාරයට නොගන්නා කෘමීන් හා ශාඛ කොටස් පවා මිනිස් ආහාරය සදහා සුදුසු බව නිල වශයෙන් ප‍්‍රකාශයට පත් කළේය. ගොඩබිම නිපදවන ආහාර ප‍්‍රමාණවත් නොවන පසුබිම තුළ පස් රහිතව පමණක් නොව මහ මුහුදේ පවා වගා කරන තැනට යොමු වී සිටී. එවැනි පියවර වෙනුවෙන් රසායනික යෙදවුම් හා තාක්ෂණික ක‍්‍රම භාවිතා කරන බව නොරහසකි. වැඩි අස්වැන්නක් සහ අඩුම මිලට පාරිභෝගිකයා අතට ආහාර දෙන අරමුණ සියළුම පර්යේෂණවල ඉලක්කය වී තිබේ.

වස විස නැති ආහාර වලට රට තුළ වෙළද පොලක් තිබේ. එය මහා පරිමාන එකක් නොවේ. දැනට වෙළද පොලෙහි අලෙවි කරන කාබනික සහල්, එලවලූ හා පලතුරු වල මිල ගණන් සලකනවිට සාමාන්‍ය ජනතාවට ඒවාට අත පෙවිය නොහැකිය. බහුතරයක් ජනී ජනයා වස විස සහිතනමුත් අඩු මිලට ඇති සාමාන්‍ය නිෂ්පාදන පරිභෝජනය කරති. මෙම දෙපැත්තටම ඉඩ දීම රජයේ ප‍්‍රතිපත්තිය විය යුතුය.

කහ ආනයනය නතර කළේය. ෆාම් ඔයිල් ගෙන්වීම තහනම් කර ඇත. සාමාන්‍ය ජනතාව මෙම තීරණ වලට වන්දි ගෙවමින් සිටිති. කහ කිලෝවක හෝ පොල්තෙල් බෝතලයක මිල සලකන විට සාමාන්‍ය ජනතාව අසරණ වී ඇති තරම ගැන කල්පනා නොකරන්නේ ඇයි? රට තුළ පොහොර හෝ රසායනික ද්‍රව්‍ය තහනම් කරන අතර පිටරටවලින් ආනයනය කරන විට එම නිෂ්පාදන වස විස නැති බවට ලැබෙන සහතිකය කුමක්ද? පොහොර ආනයන වියදම ඉතිරි කරගෙන එය කොම්පෝස්ට් මිල දී ගැනීමට සහනයක් වශයෙන් ගොවියන්ගේ අතට ලබා දිය හැකිය. රට තුළ නිෂ්පාදනය අඩුවන විට හිගය පියැවීම සදහා ආනයනය සදහා විනිමය ලැබෙන්නේ කොතැනින්ද? පියවරෙන් පියවර ගත යුතු තීරණ වහාම ක‍්‍රියාවට නැගීමෙන් ප‍්‍රශ්න ඇතිවෙයි. ජාතික ප‍්‍රතිපත්ති සකස් කිරීම සුදුසුය. පොහොර හා රසායනික ද්‍රව්‍ය ගෙන්වන ඒවා අලෙවි කර යැපෙන විශාල පිරිසක ගේ පවා රැකියා අනතුරකය. මෙවැනි ප‍්‍රශ්න වලට විසදුම් සෙවීම පහසු නැත.