2021/04/28 – ලංකාදීප

කොවිඞ් වයිරසය තවත් වටයකින් තර්ජනාතමක ප‍්‍රහාරයක් එල්ල කරමින් සිටී. ලෝකයේ සියළුම රටවල් තෙවැනි හෝ සිව්වැනි රැුල්ලක් ගැන භීතියකින්ය. විශාල වශයෙන් රෝගීන් වාර්තා වෙමින් තිබේ. ජීවිතක්ෂයට පත්වන ප‍්‍රමාණය වසංගතයෙහි බරපතලකම අගවයි. ඉතාම බලවත් රාජ්‍යයන් පවා අසරණ වී සිටී. ඉන්දියාව මුහුණ පා සිටින තත්ත්වය එයට එක උදාහරණයකි.

විද්‍යාව හා තාක්ෂණය දියුණු කාලවකවානුවකි. අලූත් පර්යේෂණ සිදුවෙයි. ජන ජීවිතය ඉතාම සංකීර්ණ යුගයකට අවතීර්ණවනු ඇති බවට මත පළ වී තිබුණි. එහෙත් ඇසට නොපෙනෙන කුඩා වෛරසයක් ස්වභාවය විකෘති කර තිබේ. රටවල් ගණනාවක්, පර්යේෂණ අංශ සෑහෙන සංඛ්‍යාවක් එකතු වී එන්නත් සොයාගෙන ඒවා තෝරා ගත් ජන කොටස් වලට ලබා දෙන අතරවාරයේ පවා ඉතාම නරක තොරතුරු අසන්නට ලැබීම ඛේදවාචකයකි. වෛරසය අලූත් මුහුණුවර ගෙන තිබේ. විවිධ ප‍්‍රභේද හදුනාගෙන ඇත. නොබෝදා වාර්තා වූ පරිදි රෝගියෙකුගෙන් පිටතට එන රෝගකාරක වෛරසය සාමාන්‍ය පරිසරයේ පැය ගණනක් සක‍්‍රීයව පවතින අතර නිරෝගී පුද්ගලයෙකු ආසාදනය විය හැකි අවදානම නොදන්නා තරමකින් ඉහළ ගොස් තිබේ. ජන සමාජයේ සියළුම දෙනා අනතුරක අබියස බව සදහන් කළ යුතුය.

ඉකුත් අවස්ථා දෙකක දී ශ‍්‍රී ලංකාව මනා පැවැත්මකින් පසු කොවිඞ්-19 වයිරසය පාලනය කරගන්නට සමත්විය. සෞඛ්‍ය පද්ධතියට දරාගත හැකි තරමට සිද්ධි වාර්තා වූ අතර සමාජ දුරස්ථකරණය පවත්වාගෙන නිසි පිලිවෙත් අනුගමනය කිරීම එයට හේතු වූ බව නොරහසකි. වර්තමානයේ පවතින ස්වභාවය ගැඹුරින් සලකා බැලිය යුතුය. අභියෝගයට මුහුණදීම සදහා එක මිටට එකතු විය යුතුව තිබේ. තත්ත්වය පාලනය කිරීම සෞඛ්‍ය කාර්ය මණ්ඩලයට පමණක් කළ හැකි දෙයක් නොවේ. කොවිඞ් වසංගතය පාලන විශේෂ කාර්ය බලකායක් පිහිටුවා ඇත. ති‍්‍රවිධ හමුදාව හා පොලිසිය එහි දී කැපවීමෙන් කටයුතු කරමින් සිටී. ජනතාවගේ අවශ්‍යතා වෙනුවෙන් රජය විශේෂ සැලකිල්ලකින් ක‍්‍රියාත්මක වෙයි. සමාජ සංවිධාන සහ දේශපාලන පක්ෂ නොයෙක් ආකාරයෙන් සහාය වන බව නිරීක්ෂණය කළ හැකිය. ජන මාධ්‍ය වටිනා සන්නිවේදන මෙහෙවරකය. විදේශ රටවලින් ලැබෙන සහාය ද අස්වැසිල්ලකි.

පවතින තීරණාත්මක අවස්ථාවේ දී එක මිටට, එක බලවේගයකට එකතු විය යුතුය. රට තුළ පවතින විපත දේශපාලන වාසි ලබා ගැනීමට අවස්ථාවක් නොවේ. ආණ්ඩුව, විපක්ෂය හා සියළුම දේශපාලන පක්ෂ සිය නායකත්වය එක අරමුණකට ගොනු කළ යුතු අතර වසංගතයෙන් ගලවා ගැනීම එකම ඉලක්කය කරගත යුතුය. මුහුණු ආවරණ පැළැද සිටීම, නිතර අත සෝදා ගැනීම, පොදු ස්ථාන වල සමාජශීලී එකතුවීම් නතර කිරීම යනාදියෙන් සෑහෙන ප‍්‍රයෝජන අත්පත් කරගත හැකි බව සදහන් කළ යුතුය. වෛරසය මැඩ පැවැත්වීම සදහා අවශ්‍ය අවම කළමණාකරණය සදහා ජන ජීවිතය නැඹුරු කරන ස්ථිර එක පණිවුඩයක් සියළු පක්ෂ එකතුවකින් එක හඩකින් නිකුත් කිරීම කාලීන අවශ්‍යතාවයකි. සියළු බෙදීම් අමතක කළ යුතුය. අඩුපාඩු හා විවේචන වලට අවස්ථාවක් පසුව ලබාගත හැකිය.

ආගමික, දේශපාලන සහ සමාජ නායකයන් එකට එකතු වී අවබෝධයකින් කි‍්‍රයා කළ යුතු මොහොත අත් හැරිය යුතු නැත. ප‍්‍රතිවාදී කදවුරු වෙත එල්ල කරන ප‍්‍රහාර තාවකාලිකව නතර කරන අතර සියළු වෙඩි මුර ජනතාව දැනුම්වත් කරන තැනට එල්ල කළ යුතුය. සමාජ මාධ්‍ය සහ සම්ප‍්‍රදායික මාධ්‍ය සම්බන්ධ කරගැනීම අවශ්‍යය. වෛරී සහගත ආකල්ප අත්හැරීමටත්, නොසැලකිල්ලෙන් ක‍්‍රියා කරන ජන කොටස්වලට නිසි පිලිවෙල දැක්වීමත් බලවත් අවශ්‍යතාවයකි. සෞඛ්‍ය කාර්ය මණ්ඩලවලට සහායවන අතරවරයේ ජනතාව ගලවා ගන්නා එක බලවේගයක් රට තුළින් නිර්මාණය කරගතහොත් ශ‍්‍රී ලංකාවට තීරණාත්මක සහ වාසිදායක අවකාශයක් සකස්වනු ඇත. රට සහ ජනතාව ගලවා ගන්නා එවැනි විශිෂ්ඨ අරමුණක් සදහා අප සියළුම දෙනාට අවශ්‍යකරන්නේ බලවත් ආත්ම ශක්තියක් පමණකි.