2021/04/21 – ලංකාදීප

බි‍්‍රතාන්‍ය යේ පිලිප් කුමාරයා අවසන් ගමන පසුගිය සතියේ ජගත් ප‍්‍රජාවගේ අවධානයට ලක් විය. අයිරිශ් ත‍්‍රස්තවාදීන්  කළ බව කියන ඝාතනයක් සම්බන්ධයෙන් රජ පවුලෙන් සමාව ඉල්ලන ප‍්‍රකාශයක් ද ලොව පුරා විකාශය විය. පිලිප් කුමාරයා ගේ ඥාතියෙකු වන ලෝඞ් මවුන්ට්බැටන් මෙහි දී ඝාතනය විය. එය සිදුවූයේ 1979 වසරේ දීය. පිලිප් කුමාරයා ගේ ඥාති මාමා සහ තවත් දෙදෙනෙකු දුර සිට පුපුරුවා හරින ලද බෝම්බයකින් ජීවිතක්ෂයට පත් වූ අතර එය රාජකීය හමුදාව උතුරු අයර්ලන්තයේ කරන හිංසනකාරී සිද්ධිවලට උත්තරයක් බව අයිරිශ් ත‍්‍රස්තවාදීහු කියා සිටියහ. දෙවැනි ලෝක යුද්ධයේ දී මවුන්ට්බැටන් සාමිවරයාගේ කාර්ය භාරය කැපී පෙණින. ඉන්දියාවේ සිට මිත‍්‍ර පාක්ෂික පෙරමුණ මෙහෙයැවීය. ඔහු ගේ ජීවිතය ඉලක්ක කිරීම අයිරිශ් ත‍්‍රස්තවාදීන්ට වාසියකි.  

බි‍්‍රතාන්‍යයෙන් වෙන්වන උවමනාවක් සෑහෙන කාලයක සිට උතුරු අයර්ලන්තයට තිබුණි. එය පළමුවෙන් අරගලයක ස්වරූපය ගත්තේය. පසුව ත‍්‍රස්තවාදී ක‍්‍රියාවල නිරත වුහ. 1969 දී අයි. ආර්. ඒ. සංවිධානය බිහි වී තිබේ. වඩාත් සංවිධානාත්මකව බි‍්‍රතාන්‍ය සමග ගැටුම් ඇති කරගත් බව සදහන්ය. කෙසේ වෙතත් අයිරිශ් ත‍්‍රස්තවාදීන්ට ගමන් කළ හැකි සීමාවක් තිබුණි. 1980 දී පමණ කාල වකවානුවේ දී සටන් නතර කරන ලද අතර මැතිවරණ වලට තරගකරන ප‍්‍රජාතන්ත‍්‍රවාදී ප‍්‍රවාහයට එකතුවිය. අයිරිශ් ත‍්‍රස්තවාදීන් සම්බන්ධ දේශපාලන පක්ෂයක ප‍්‍රධානියෙකු වූ මේරි ලෝරිස් මහත්මිය ලන්ඩන් නගරයේ ගුවන් විදුලි සේවාවක වැඩසටහනකට සහභාගීවෙමින් පැරණි සිද්ධිය මතක් කළ අවස්ථාවේ දී එම සිදුවීම ගැන කණගාටුව පළ කර ඇති බව අනාවරණය වෙයි. එය සිත කම්පා කරවන සුළු සිද්ධියක් බව ප‍්‍රකාශ කර ඇති ඇය මෙවැනි දුක්මුසු සිදුවීම්වලට මුහුණ පා සිටින දරුවන්, දරුපවුල් සිටින අතර එය ගැටුම් සහිත පරිසරයක විය හැකි දේ බව දක්වන්නීය’. පැරණි දේ නැවත සිහිපත් කරමින් සිටින යුගය අවසන් වන අතර යුද්ධය අවසන්වීම ගැන සතුටු වන බව ද දක්වා ඇත.

ෂින් ෆෙයින් යන උතුරු අයර්ලන්ත දේශපාලන පක්ෂයේ නායිකාව වන මේරි ලෝරිස් අයිරිශ් රිපබ්ලික් හමුදාවට සම්බන්ධව සිටි බව පැහැදිලි නමුත් පසුව තරුණ ජන කොටස්වල කැමැත්ත සහිතව දේශපාලන ව්‍යාපාරයක් ගොඩනගා ගෙන ඇත. ඇය ගේ ප‍්‍රකාශය බි‍්‍රතාන්‍ය දේශපාලනය තුළ හොද හිත දියුණු කර ඇති අතර පැරණි වේදනාව සමනය කර අලූත් යුගයකට ඇතුළුවන ස්වර්ණමය අවකාශයක් නිර්මාණය කරන්නට සමත්ව තිබේ.

අප හැම දෙනාගේම සිත් තුළ පැල්ලම් තිබේ. ලෝකයේ හැම රටකම අවුස්සා බැලිය හැක අහු මුළු ඇත. ඒවා හෙළිදරව් කිරීමෙන් අනාගතය සාක්ෂාත් වෙන්නේ නැත. අතීතයේ සිදුවීම් පාඩමක් කරගත යුතු අතර දැවෙන සිත් සනහා සුවපත් කරන පියවර වෙනුවෙන් නිර්භීත තීන්දු ගත යුතුව ඇත. කණගාටුව පළ කර සමාව ඉල්ලා සිටීම පමණක් නොව සමාවදෙන්නට තීන්දු කිරීම ද එහි දී ඉතාමත් වැදගත්ය.

ශ‍්‍රී ලංකාවේ ජන සමාජය තුළ අමතක නොවන අවස්ථා ගණනාවක් තිබේ. මේවායේ වේදනාව තවමත් නොයෙක් අවස්ථාවල මතුවෙයි. කදුළුවලින් පමණක් සියල්ල අමතක කළ නොහැක. වරද හා වරදට හේතුව ඉතාම ඉවසිල්ලකින් ප‍්‍රකාශ කරන ශක්තිමත් හදවත් අපට අවශ්‍යය.

නිදහස ලැබීමෙන් පසු ගත වූ කාලය තුළ සිද්ධි දෙස ආපසු හැරී බැලිය හැකිය. දරුවන්ට දෙමාපියෝ අහිමි වී තිබේ. දරු පවුල්වල සිටි ධෛර්යය සම්පන්න සාමාජිකයා අතුරුදහන් වී ඇත. ආරක්ෂක අංශ වල සාමාජිකයෝ ජීවිත පරිත්‍යාගයෙන් රාජ්‍ය ආරක්ෂා කරගෙන තිබේ.  විප්ලවය හෝ ත‍්‍රස්තවාදය යන කවර හැදින්වීමක අවසානයේ දී පවා මනුෂ්‍ය ජීවිත සමග කරන ගැටුමකි. අහිමිවූයේ මිනිස් ජීවිතයකි. අරගලය මර්දනය කළ ආරක්ෂක අංශ පළමුවෙන් සමාවගත යුතු බව තර්ක කරති. රාජ්‍ය විරෝධීව හැසිරී ඇති පිරිස මුලින් සමාව ගත යුතු බව රජයේ බලධාරීන්ගේ මතය වී තිබේ. රටට අවශ්‍ය කැලැල් දක්වා උණ්ඩය හමා පැමිණි පැත්තට නැවත නැවතත් වෛර කරන ක‍්‍රමයක් නොවේ. පාපෝච්ඡාරණයකින් පසු අලූත් හුස්මකින් හදවත් පුරවාගෙන ගමන ආරම්භ කිරීමය. බි‍්‍රතාන්‍ය රජ පවුලේ සාමාජිකයෙකු ඝාතනය කිරීම ගැන කණගාටුව පළ කිරීම එක යහපත් ආරම්භයකි. සමාව ගැනීමට පමණක් නොව සමාව දෙන්නට ද සූදානම් ජන සමාජයකින් අනාගතය පැහැබර වනු නිසැකය. මමත්වය තුනීකරන පියවරකින් පුලූල් අධ්‍යාත්මයක් බිහිවෙයි.