2021/ 04 /07 – ලංකාදීප

 

අරගල, කැරැළි සහ සටන් රටට නුහුරු සිද්ධි නොවේ. අධිරාජ්‍යවාදීන් රට යටත් කරගැනීමට උත්සාහ දරන කාල වකවානුවේ එයට විරුද්ධව අභීත සිංහලයෝ සටන් කළහ. අධිරාජ්‍යවාදීන් පැමිණීමට කලින් ආක‍්‍රමණ පැවැති බව ඉතිහාසය දක්වයි. විජාතික පිරිස් මෙරටට පැමිණ ගැටුම් ඇති කරගෙන තිබේ. කාලිංඝ මාඝ, චෝල ආක‍්‍රමණ, ලන්දේසි, පෟතුගීසි සහ ඉංග‍්‍රීසි අධිරාජ්‍යවාදීන්ට එරෙහිව ලාංකිකයෝ සටන් කර ඇත. 1971 කැරැල්ල නිදහසට පසු ශ‍්‍රී ලංකා වංශ කතාවේ සනිටුහන් වන එක සන්ධිස්ථානයකි. වසර පනහකට පසු ජනතා විමුක්ති පෙරමුණේ පළමු කැරැල්ල සම්බන්ධයෙන් පවතින ආකල්ප කෙසේ වෙතත් රට ගමන් කළ යුතු දිසාව ගැන හිතන්නට අවස්ථාවකි.

1971 කැරැල්ලෙන් රටට අහිමිවූ ධෛර්යවන්ත  වටිනා ජීවිත ගැන මෙනෙහි කළ යුතුය. එවකට පැවැති ආණ්ඩුව කැරැල්ල මැඩ පවත්වන ලද අතර අපරාධ යුක්ති විනිශ්චය කොමිසම පිහිටුවා රජයට විරුද්ධව කුමන්ත‍්‍රණ කිරීමේ චෝදනාව යටතේ නඩු පැවැරීය. දඩුවම් නියම කරන ලද නමුත් පසුව බලයට පැමිණි ජේ. ආර්. ජයවර්ධන ආණ්ඩුව වරදකරුවන් නිදොස් කොට නිදහස් කළේය. නැවත දේශපාලනයට පැමිණෙන අයිතිය ලබා දුන්නේය. 1987 දී ජනතා විමුක්ති පෙරමුණ දෙවන වතාවටත් අවි ආයුධ අතට ගත්තේය. දකුණේ අරගලය තිබිය දී උතුරේ ද සන්නද්ධ අරගලයක් හට ගත්තේය. දකුණ මර්දනය කළ ආණ්ඩුව තරුණ අසහනයට හේතු සොයන කොමිසමක් ද පත් කළ අතර තරුණන්ට අවස්ථා ලැබිය යුතු බව කොමිසම නිර්දේශ කළ එක වැදගත් කරුණකි. උතුරේ සටන් ත‍්‍රස්තවාදයක් දක්වා පැතිරිණ.  අහිංසක ජීවිත විශාල ප‍්‍රමාණයක් බිලිගත් සහ ආර්ථිකය අඩාල කරන ලද උතුරේ ත‍්‍රස්තවාදය සහමුලින්ම තුරන් කරන්නට සමත් වූ නමුත් එය ඇති කරන්නට හේතු වූ මුලික කරුණු වලට විසදුමක් දෙන්නට සමත් වී නැත.

තරුණ අසහන කොමිසමේ නිර්දේශ අමතක කර ඇති අප සියළු දෙනා උතුරේ ත‍්‍රස්තවාදයට ගත යුතු පියවර ද පමාකරමින් සිටී. එවැනි පසුබිමක් තිබිය දී  ජාතීන්, ආගම් හා වෙනත් පදනම් මුල් කරගනිමින් ආවේගශීලී අවස්ථා තව දුරටත් පැන නැගෙන ප‍්‍රවණතාවක් පවතින බව පෙනේ. පාස්කු ඉරිදා ප‍්‍රහාර මාලාව එහි තවත් පැත්තකි. මෙවැනි සිද්ධි වලින් තහවුරු කරන එක වැදගත් කාරණයක් තිබේ. ජීවත්වන අප සියළු දෙනා රටට අහිමි වූ ජීවිත වලින් අනාගතය සුරක්ෂිත කරගෙන සිටී. ක‍්‍රමය වෙනස් කර සාධාරණය ඉශ්ඨ කරන ලෙස කෑගසා කියන සෑම අවස්ථාවකදීම මර්දනය දියත් කර ඇත. සෑම වසර දහයකට පහලොවකටම වතාවක්, අලූත් පරම්පරාව මට්ටම් කිරීමෙකින් පැවත්ම ආරක්ෂා කරගැනීමේ නරක ව්‍යුහය සහමුලින්ම අවසන් කරන්නට අවශ්‍යය. තරුණ අදහස්, සිතුම් පැතුම් තේරුම් ගෙන සමාජ ක‍්‍රමය වෙනස් කළ යුතුය. තාක්ෂණික යුගයට රට ඇතුළු වී තිබේ. සිදුවන දේ රහසක් නොවේ. අභ්‍යන්තරය දැනගෙන එයට වෛර කරන සමාජයකින් රටක් ඉදිරියට ගෙන යා නොහැක.

දරුණු පංති ප‍්‍රශ්නයක් රට තුළ තිබේ. ජාතිය, ආගම, කුලය, ඉගෙන ගන්නා පාසල ආදි වශයෙන් බෙදී ඇත. දුප්පත් පොහොසත් බේධයක් තිබේ. ඇති නැති පරතරය මතු පිටින් පෙනෙන ස්වභාවයට වඩා දරුණුය. සමාන අවස්ථා නැත. දේශපාලන බලය සමාජයේ සෑම ස්ථරයකටම පැතිරී තිබේ. දේශපාලන බලපෑමකින් තොරව යමක් කරගත නොහැකි බව හිතන සමාජය තුළ අස්වැසිල්ලක් තිබිය නොහැකිය. සංහි`දියාව ඇති කළ යුතු එක ජන කොටසකට පමණක් නොවේ. අප සියළු දෙනා තුළ සංහිදියාවක් ඇතිකරන තිරසාර වැඩ පිලිවෙලක් අවශ්‍යය. ක‍්‍රමය සාධාරණ බව පැහැදිලිව පෙනෙන තරමට  ජාතීන් අතර සංහිදියාවකට අවස්ථාව ලැබේ.

1971 තරුණ අරගලය සිහිපත් කරන මෙම අවස්ථාවේ දී අරගල කරන තරුණ පිරිස ගැන පමණක් නොව අරගලය වෙනුවට රට අතහැර යන තීරණය ගෙන ඇති පිරිස ගැන ද අවධානය යොමු කළ යුතුය. එය තවත් ප‍්‍රතිවිප්ලවයකි. විප්ලවයෙකින් අහිමි වන පමණක් නොව නිහඩවම රට හැර යන කොටස පවා අභාග්‍යයකි. ආණ්ඩුව, විපක්ෂය අනෙක් පිරිසක් නොව අප සියළු දෙනා මෙම පසුබිම ගැන වගකිව යුතුය. ආගමික නායකයන්, සමාජ නායකයන් ගැඹුරින් කල්පනා කර හැබෑ හේතුවිමසා එකගතාවයකට පැමිණීම අවශ්‍යය.