2021/03/31 – ලංකාදීප

  

රටවල් සමග සබදතා ශ‍්‍රී ලංකාවට වැදගත්ය. ලෝකයේ සියළුම රටවල් සමග විවෘතව කටයුතු කිරීමේ අවශ්‍යතාවයක් තිබේ. රටවල් අතර සම්බන්ධතා වල දී සංස්කෘතික, ආර්ථික සහ සමාජ ආදී වශයෙන් විවිධ පැති වලට ව්‍යාප්ත වෙයි. රටවල් අතර උවමනා එපාකම් අනුව සංකීර්ණ මුහුණුවරක් ගනී.

සිංගප්පූරුවේ ජ්‍යෙශ්ඨ රාජ්‍ය තාන්ත‍්‍රිකයෙකු වියට්නාමයේ විදේශ කටයුතු භාර ප‍්‍රධාන පෙලේ නිලධාරියෙකු ගෙන්, එක්තරා අවස්ථාවක දී බලවත් රටවල් සම්බන්ධයෙන් ඔවුන් අනුගමනය කරන විදේශ ප‍්‍රතිපත්තිය ගැන විමසා තිබේ. ආදර්ශයට ගත හැකි පිලිතුරක් ලැබී ඇත. ‘‘බලවත් රටවල් සමග ඉතාම සුහදව කටයුතු කළ යුතුය. රට වෙනුවෙන් පෙනී සිටිම අත්‍යවශ්‍යය. මෙම කරුණු දෙකම එකවර සාක්ෂාත් කළ යතුය. එකවර අනුගමනය කළ නොහැකි කිසිවෙකු නායකත්වයට නුසුදුසුය.’’  බලවත් රටවල් සමග සම්බන්ධකම් වල දී විවෘතව ක‍්‍රියා කළ යුතු අතර අවසාන අරමුණ රට වෙනුවෙන් බව මෙයින් අගවන වැදගත්ම පණිවුඩයයි.

මෑත කාලයේ ශ‍්‍රී ලංකාවේ විදේශ සම්බන්ධතා පසුබිම සංකීර්ණය. ශ‍්‍රී ලංකාවේ ආණ්ඩු ගන්නා සෑම පියවරක් පාසා පසුගිය කාලයේ ප‍්‍රශ්න ඇති වී තිබේ. නායකයන් තීරණ ගන්නේ රට වෙනුවෙන්ය. ඇතමෙකුට නොයෙක් කුමන්ත‍්‍රණ හෝ පාවාදීම් ඇත. ආණ්ඩුව ගන්නා තීරණය විපක්ෂයට නොගැලපේ. විපක්ෂය නගන අදහස් ජන සමාජය තුළ විරෝධාකල්ප ඇතිකරයි. විපක්ෂයේ සිට බලයට එන විට අනුගමනය කරන ප‍්‍රතිපත්ති වෙනස්ය. රටවල් අතර නොහොද නෝක්කාඩු ඇති කරන මෙවැනි සිද්ධි අනුචිතය. නායකයෝ රටවල් සමග සුහදව ක‍්‍රියා කළ යුතුය. එසේම එම සම්බන්ධතා රට වෙනුවෙන්ය. පටු පරමාර්ථ අනුව නොවේ.

රටවල් අතර හිත මිතුරුකම් ගැන ඉන්දියාවේ ප‍්‍රකට සදහනක් ද මෙහි ලා සදහන් කිරීම උචිතය. ඉන්දියානුවන් දක්වන පරිදි ‘‘අභ්‍යන්තර දේශපාලනය මුහුදු වෙරළින් අවසන්ය’’. රටින් බැහැර නිල අවස්ථාවක එරට නායකයන් ඉන්දියාවේ අභ්‍යන්තර දේශපාලන තීන්දු අනුව ස්වභාවය වෙනස් කරන්නේ නැත. එය වැදගත් පිලිවෙලකි. සංකීර්ණ සමාජ ආර්ථික වටපිටාවක් ඇති ඉන්දියාවට ලෝකයේ සෑම රටක් සමගම ගනුදෙනු කරන විලාසයක් තිබේ. අභ්‍යන්තරයෙහි ඇති මත වාද එහි ලා ගැඹුරින් අවධානයට ලක් නොකරන බව මෙයින් ඇගවෙයි.

වියට්නාමයෙන් හා ඉන්දියාවෙන් එන අදහස් ශ‍්‍රී ලංකාවට අනුගමනය කළ හැකි මාවත දක්වයි. බලවත් රටවල් සමග රාජ්‍ය තාන්ත‍්‍රික සම්බන්ධතා තහවුරු කරගන්නා පිලිවෙලක් තිබේ. ඒවා සියුම්ය. අන්‍ය න්‍යාය පත‍්‍රවලට ගොදුරු විය යුතු නැත.

විදේශ ප‍්‍රතිපත්ති සම්බන්ධයෙන් කුඩා රටවලට සෑහෙන ගැටළු තිබේ. බලවත් රටවල් අතර ඇති පරස්පරතා වලින් ගැලවි ස්වාධීනව ක‍්‍රියා කිරීම පැන නැගෙන බලවත් අභියෝගයකි. ඇමරිකාව සමග පවතින සබදතා තවත් බලවත් රටකට නොගැලපෙන්නට ඉඩ ඇති අතර චීනය හෝ ඉන්දියාව සමග ක‍්‍රියා කිරීමේ දී ද නොයෙක් පැති මතුවීම ස්වභාවිකය. බි‍්‍රතාන්‍ය, රුසියාව හෝ යුරෝපා ප‍්‍රජාව සමග පවත්වන සම්බන්ධතා අනෙක් රටකට නොගැලපෙන්නට බැරි නැත. මැද පෙරදිග හෝ අප‍්‍රිකානු කලාපය ගැන දක්වන ආකල්ප අනෙක් එකක් වෙන්නට ඉඩ තිබේ. එහෙත් මෙම සියළුම රටවල් සමග අඩු වැඩි වශයෙන් නමුත් එක හා සමාන ස්ථාවරයක පිහිටීම අවශ්‍යය. පටු අරමුණු පසෙත තැබීම සුදුසුය.

විදේශ ප‍්‍රතිපත්තියට ද දේශීය දේශපාලනය මුහු කිරීම අපගේ සිරිතය. අවශ්‍ය වූ අවස්ථාවක හොද හිත පෙන්වන අතර අනවශ්‍ය අවස්ථාවල නොයෙක් ආකාරයෙන් විවිධ රටවලට ප‍්‍රහාර එල්ල කරන බව පෙනේ. ඒවායේ ඉලක්කය ඡන්ද පදනම බව ද අමතක කළ යුතු නැති තවත් පැත්තකි. රටවල් සම්බන්ධයෙන් අනුගමනය කළ යුතු ප‍්‍රතිපත්ති සහ නායකයෝ පෙනී සිටිය යුතු ස්ථාවරය ගැන මෙම කරුණු ඔස්සේ අවධානය යොමු කළ යුතුය.