2021/03/24 ලංකාදීප

හොදත්, නරකත් යන දෙකම දවසක්, දෙකක් ඇතුලත අමතක කිරීම සිරිතක් වී තිබේ. එය ලාංකේය සංස්කෘතියෙහි එක පැතිකඩක් දැයි කල්පනා කිරීම සුදුසුය. පසුගිය සතිය අවසන් වූයේ ශෝකාන්තයකින්ය. අවිනීත රියැදුරෝ සිදු කළ පස්සර බස් රථ අනතුර දහ හතරදෙනෙකු ගේ ජීවිත රටට අහිමි කළහ. තවත් තිස් ගණනක් තුවාල ලබා ඇත. ජීවිත අහිමි වූ අයවලූන්ගේ සමීපතමයන්ට සහ තුවාලකරුවන් ජීවිත කාලය තුළ සිද්ධිය අමතක නොකරනු ඇත. එහෙත් සමාජයක් වශයෙන් අප සියළු දෙනා ඉක්මනින් මතක නැති කරන බවට සැකයක් නැත. මෙම භයානක සිද්ධියෙන් පාඩමක් ඉගෙන ගෙන මාර්ග අනතුරු වලක්වා ගන්නා විධිමත් වැඩ පිලිවෙලක් ගැන අවධානය යොමු කිරීම සුදුසුය.

සමාජය දියුණුවන විට විනය ගරුක බවක් ඇතිවෙයි. ශ‍්‍රී ලංකාව දියුණුවෙමින් පවතින බව ඉලක්කම් වලින් පෙන්වන නමුත් අපට එදිනෙදා පැවැත්මේ දී දැනෙන්නේ නැත. අනෙක් වාහනය ඉස්සර කරගෙන යන්නට සමහර කෙනෙකුට ඇත්තේ පුදුම හදිස්සියකි. ඉතාම අපරීක්ෂාව, බරපතල උවමනාවකින් අනෙකා පරයා ගොස් නතර වූ පසු කරන වැඩදායක කාර්යය කුමක්දැයි කිසිසේත් පැහැදිලි නැත. දිනපතා කොතැනක හෝ අනතුරකි. බොහෝ විට එයට හේතුව අපරීක්ෂාකාරීවීමය. නොසැලකිල්ලය. නීතිය, අධිකරණ ක‍්‍රියාමාර්ග හෝ දඩුවම් වලින් වාහන හසුරුවන්නන්ගේ චර්යාවෙහි කැපී පෙනෙන වෙනසක් ඇති කරන්නට අසමත් බව පැහැදිලිව පෙනෙන කාරණයකි.

මෙම අනතුර සිදු වූ මාර්ගයෙහි අවහිරයක් තිබුණ බව පැවසේ. එය ඉවත් කරන්නට කලබලයක් තිබී නැත. අවහිරය තිබිය දී පමණක් නොව අවදානමක් ඇති බව දැනගෙන දෙනෝ දාහක් දෙනා එහා මෙහා යන්නට ඇත. සිද්ධිය වූ ස්ථානයේ කළ යුතුව තිබුණ නඩත්තු කටයුතු අතපසු කර තිබේ. අඩුම තරමින් මාර්ග බාධකයක් හෝ යොදන්නට තිබුණි. ඇතැම් අවිනීත රියැදුරන් එවැනි බාධක පවා පෙරළාගෙන වාහන පදවන බව නොරහසකි.

වාහන අනතරු සිද්ධි වලින් ජීවිතක්ෂයට පත්වන ප‍්‍රමාණය නිතිපතා ඉහළ ගොස් තිබේ. පර්යේෂකයන්ට අනුව කොවිඞ් වසංගතයට වඩා මිනිස් ජීවිත ප‍්‍රමාණයක් වාහන අනතුරු නිසා අහිමි වෙයි. ඉකුත් දශක දෙක තුළ අනතුරුවලින් සිදුවන බලපෑම හා ඒවා වලක්වා ගැනීමට ගත යුතු ක‍්‍රියාමාර්ග ගැන සෑහෙන සාකච්ඡා සිදුවී ඇත. පාර්ලිමේන්තු තේරීම් කාරක සභාවක් පත් කර ගැඹුරින් සොයා බලා තිබේ. රියැදුරන්ගේ නොසැලකිල්ල නිසා පදිකයන් හා පාපැදිකරුවන්ට සිදුවන අනතුරු එහි වඩා අවධාරණය කර ඇත. මෙම වාර්තා මගින් හෙළිවන කරුණු පදනම් කරගෙන අලූත් තීන්දු නොගැනීම වරදකි.

මහ පාරේ ඇති ඉඩ කඩ ඉක්මවන තරමට අධික වාහන ප‍්‍රමාණයක් දිනපතා ධාවනය වෙයි. එයින් ඇති කරන තදබදය රියැදුරන්ට අධික පීඩනයක් බව නොරහසකි. පොදු ප‍්‍රවාහන සේවා දියුණු කළහොත් වාහන තදබදය අවම කළ හැකිය. යතුරු පැදි, ත‍්‍රීවිලර් හා සැහැල්ලූ කාර් වලින් ගමන් බිමන් යන පිරිස් පොදු ප‍්‍රවාහනයට යොමු කර ගත හැකි දීර්ඝ කාලීන සැලැස්මක් සම්පාදනය කළ යුතුය. මහ පාරේ වාහන අඩු කරන සැලැස්මක දී දුමිරිය සේවා විධිමත් කිරීම අවශ්‍යතාවයකි. නිශ්චිත වෙලාවට මගී පහසුව ඇති කරන දුම්රිය සේවා ජනතාවට පහසුවක් වනු ඇති අතර එය ආර්ථිකයට ද විශාල සහනයකි. පුද්ගලික වාහන භාවිතය හේතුවෙන් අධික තදබදය පමණක් නොව ඛනිජ තෙල් භාවිතය ද රටට ඔරොත්තු නොදෙන තරමට පත්ව තිබේ. මගී ප‍්‍රවාහනයේ යෝග්‍යතා සලකා බලා නැවුම් වෙනස්කම් කිරීම වැදගත්ය. අනතුරු වලින් සිදුවන විනාශය ඉදිරියේ ඉගෙන ගත යුතු පාඩමකි. තවත් දෙතුන් දවසකින් සිද්ධිය අමතක කරනු ඇති අතර පුරුදු පරිදි රියැදුරෝ හැසිරෙනු ඇත. වාහන ධාවන බලපත‍්‍ර නිකුත් කිරීම වෙනස් කිරීම හෝ දඩ නියම කිරීම තාවකාලික අස්වැසිල්ලකි. රටට අහිමි වූ අහිංසක ජීවිත ගැන සලකා බැලිය යුතුය. වන්දි පමණක් ප‍්‍රමාණවත් නොවේ. මෙැවැනි ඛේදවාචක නැවත ඇති නොවන සැලස්මක් සදහා අලූතින් හිතන්නට අවශ්‍යය.