2021/03/17 – ලංකාදීප

‘‘බඩ වියත’’ වෙනුවෙන් යැයි ගැමි ව්‍යවහාරයක් තිබේ. හැම දෙයක්ම කරන්නේ කුස පුරවා ගන්නටය. මිනිසුන් පමණක් නොව සියළු සතුන්ට ද පොදු ධර්මතාවයකි. වේලක් දෙකක් කුසගිනි දරාගත හැකිය. අනතුරුව කොතැනකින් හෝ මොනවා හෝ සොයාගන්නට පෙළැඹෙති. එය ස්වභාවිකය. සමාජ විනය බිදවැටීම, ප‍්‍රචණ්ඩත්වය සහ සන්නද්ධ අරගල තුළ දරිද්‍රතාවය යනු ප‍්‍රබල සාධකයකි. අද මෙරට පවතින සමාජ ව්‍යුහය අනුව ආදායමට අනුව ප‍්‍රමාණවත්ව ආහාර සපයාගැනීමට නොහැකිවීම දරිද්‍රතාවයෙන් පෙළෙන ජන කොටස් මුහුණ දී ඇති එක ප‍්‍රශ්නයකි. 

කුසගින්න ගැන ආගමික නායකයෝ විවිධ අවස්ථාවල දේශණා කර ඇත. සීවලී මහ රහතන්වහන්සේ කරන ලද කුසලයක් හේතුකරගෙන සෑම අවස්ථාවකම ආහාර ලැබුණ බව ධර්මයෙහි කියැවේ. දහම් දෙසන්නට කලින් ශාවකයාගේ ආහාර ගැන බුදු රජාණන් වහන්සේ අවධානය යොමු කර ඇත. අධික ආහාර ගෙන නොසන්සුන්ව සිටි කොසොල් රජු දැක ආහාර පිඩ බැගින් අඩු කර පහසුව ඇති කරගැනීමට උපදෙස් දී තිබේ. තමන්ගේ ගවයෙකු සොයා නොයෙක් තැන ඇවිදිමින් අවසානයේ දී අහම්බෙන් බුදුන් වැඩ සිටි ස්ථානයට පැමිණි ගොවියෙකුට පළමුවෙන් ආහාර සපයන ලද බව බෞද්ධ සාහිත්‍ය දක්වන තවත් කාරණයකි.

අරමුණ කරා යන ගමන තුළ ජනතාවගේ කුස ගින්න ගැන අවධානය යොමු කිරීම සුදුසුය. ශ‍්‍රී ලංකාව තීරණාත්මක මංසන්ධියකය. මැදි ආදායම් රටක මට්ටමක පසුවන නමුත් සෑහෙන පිරිසක් දුෂ්කරතාවයක බව නොරහසකි. පුරුදු ආදායම් මාර්ග ඇවිරී තිබේ. සමහර පිරිසක ගේ රැකී රක්ෂා අහිමි වී ඇත. එදිනෙදා වියදම දෙගුණ තෙගුණ වී ඇති අතර අත්‍යවශ්‍ය භාණ්ඩ මිල ගණන් ඉහළ ගොස් ඇත. ආහාර ද්‍රව්‍ය ගණනාවක් ආනයනය පාලනය කර තිබේ. හිගය හා සාමාන්‍ය පාරිභෝගිකයන්ට දරාගත නොහැකි පරිදි මිල වැඩිවීම එහි ප‍්‍රතිඵලයකි. වගකිව  යුතු රජයක් වශයෙන් මෙම අවස්ථාවේ දී, දුෂ්කරතා ගැන සැලකිල්ල යොමු කළ යුතුය. සහල් මිල වැඩිවන විට, පොල් මිල දරාගත නොහැකි පසුබිම තුළ සහ පරිප්පු මිල ගණන් ඉහළ ගොස් ඇති අවස්ථාවක එදිනෙදා ජීවන වියදම සැලකිය යුතු ප‍්‍රශ්නයකි.  කිරි පිටි හා ගෑස් මිල ගණන් වැඩිවන බව කියැවෙන අවස්ථාවක අස්වැසිල්ල තුරන් වෙයි. ජලය හෝ විදුලිය වෙනුවෙන් බිල්පත් පවා ගෙවා ගත නොහැකි තැනට සමහර දෙනෙකු පත්ව සිටී. ප‍්‍රශ්න ඉදිරියේ ජනී ජනයා නොසන්සුන්වීම වැලැක්විය නොහැකිය. ආර්ථික දුෂ්කරතා සහිත තෝරා ගත් පිරිසකට සහන සැපයීමට රජය වගබලාගෙන ඇති බව පිලිගත යුතුය. එහෙත් සහන ලැබිය යුතු පිරිස කොපමණ ද සහ කවර ජන කොටසක් ද යන්න නැවතත් සොයා බැලීම මෙම අවස්ථාවේ දී ඉතා වැදගත්ය.

නොසන්සුන් සිත් ඇවිලවීම පහසුය. විරුද්ධ පක්ෂ දේශපාලනඥයන් සහ නොයෙක් මතධාරීහු විවිධ අදහස් විසුරවමින් සිටී. සමාජ මාධ්‍ය ඒවා තවදුරටත් අවුලවන තැන්ය. අනෙක් පාර්ශවයන් ගෙන් එල්ලවන ප‍්‍රහාර දෙස බලන්නට කලින් තමන් නිසි අවස්ථාවේ දී ගත යුතු පියවර ගැන අවධානය යොමු කිරීම සුදුසුය. ආහාර වෙනුවෙන් අරගලයක සිටින ජන කොටසකට වසංගතය දුරු කර පසුව ආයෝජන කැදවා ආර්ථිකය වේගයෙන් සංවර්ධනය කරන බව දැක්වීම නිරර්ථකය. ත‍්‍රස්තවාදී ගැටුම් තිබුණ කාලයේ දී ද, ජනතාව ට මෙම පණිවුඩය හැර අනෙකක් ලැබුණේ නැත. යුද්ධය අවසන් කර ආදායම වැඩි කරන බව එවකට තිබුණ ආණ්ඩු  ප‍්‍රකාශ කළ නමුත් එය සාර්ථක උත්තරයක් නොවිණි. ‘‘ආණ්ඩුව බණ කියනවා. අපිට ජීවත්වෙන්න විදියක්  නැහැ. ’’ යනුවෙන් සමහර පිරිසක් මැසිවිලි නගන ලද බව අමතක කළ යුතු නැත.

ආදායම දුර්වල අතර වියදම අධික පසුබිමක ශ‍්‍රී ලංකාව පවතින බව ප‍්‍රකාශ වෙමින් තිබේ. මෙහි දී කොවිඞ් වසංගත තත්ත්වය දරුණු අවහිරයකි. දියුණු රටවල් සැහෙන ධනයක් ජනතාව වෙනුවෙන් වියදම් කර ඇත. ශ‍්‍රී ලංකාව එපමණ ආර්ථිකයක නැත. එන්නත්කරණය හා අලූත් ආයෝජන තත්ත්වය වෙනස් කරමින් සිටී. වෙනස්වන ලෝකය තුළ අපනයන අවස්ථා සහ ලෝක තරගකාරීත්ව අවස්ථා අතර තැනක් සොයා ගැනීම රටට වැදගත්ය. නිසි ප‍්‍රතිපත්ති අනුව අවස්ථාවෝචිතව තීරණ ගෙන, ප‍්‍රතිසංස්කරණ කිරීම ආණ්ඩුවේ වගකීමකි. රට බෙදන, රට බේරා ගන්නා ඝෝෂා නිරර්ථකය. ජන සමාජය වෙනුවෙන් පෙනී සිටින, නියම නායකත්වයක් ජනතාවගේ අපේක්ෂාවය. නිසි මග පැහැදිලිව පෙනෙන නමුත් සුළු සිද්ධි පදනම් කරගෙන ජන මතය වෙනස් වූ අතීතයෙන් පාඩම් ඉගෙනගත යුතුය. සුළු පිරිසක ගේ කලකිරීම, තීරණාත්ම අවස්ථාවක දී පීඩනයකි. එය අවධානයට ගැනීම සුදුසුය.