2021/03/03 – ලංකාදීප

කොවිඞ් වසංගත තර්ජනය ලෝකයේ නොයෙක් වෙනස්කම් ඇති කළේය. ජන ජීවිතය දුෂ්කර තැනකට පත් කරන ලද අතර බොහෝ රටවල් හා නගර තාවකාලිකව වසා දැමීය. සමාජ පැවැත්ම පාලනය කරන තැනට පත් විය. එන්නතක් සොයා ගැනීම යම් අස්වැසිල්ලකි. එන්නත මගින් ප‍්‍රතිශක්තිකරණය ඇති කෙරේ. ප‍්‍රතිකාර සොයා ගැනීමට එහා ගිය විසදුමක් ගැන අවධානය යොමු කරන්නට ද ඇතැම් රටවල් උත්සාහ කරමින් සිටී. රාජකාරි සදහා නගරයට කැදවනු වෙනුවට, ජනතාව වෙත සේවා අංශ සහ පරිපාලනය යොමු කරන පියවර ආරම්භ කර තිබේ. රජයේ ප‍්‍රධාන කාර්යාල සහ සමහර ආයතන වල කොටස් ප‍්‍රධාන නගරවලින් එපිට ස්ථාපිත කිරීම එක අදහසකි.

ලන්ඩන් නගරය කේන්ද්‍ර කරගෙන තිබුණ ඇතැම් දෙපාර්තමේන්තු පිට පලාත්වල ස්ථාපිත කරන තීරණයක් ගෙන ඇති බව බි‍්‍රතාන්‍යයෙන් වාර්තා වෙයි. සමහර අමාත්‍යංශ හා විශේෂයෙන් මහා භාණ්ඩාගාරයේ කොටසක් උතුරු ප‍්‍රදේශයට ගෙන යන ලද බව දැක්වෙයි. ඉදිරි වසර දහය ඇතුළත රාජ්‍ය සේවයේ නිරත පිරිසගෙන් සියයට විසි පහක් පිට පලාත්වලට යොමු වන පරිදි තීන්දු ගැනෙනු ඇත. ඇමරිකාව ද මේ හා සමාන ප‍්‍රතිපත්තියක් අනුගමනය කරන්නට තීරණයකය. රජයට අයත් අමාත්‍යංශ අගනුවරින් පිටස්තරව ස්ථාපිත කරන්නට පේ‍්‍රමදාස ජනාධිපති තුමාගේ ධුර කාලයේ දී උත්සාහ කළේය. සාර්ථක වූයේ නැත. ජනයා ඒකරාශීවීම වලකන එවැනි තීරණ අද පවතින පසුබිම සලකා බලනවිට ඉතාමත් ප‍්‍රායෝගිකය.

ජනතාව කොළඹට පැමිණීම සීමා කර ජන ජීවිතය ආරක්ෂා කරන පියවරක් වශයෙන් රජයේ ප‍්‍රධාන අංශ බැහැර ප‍්‍රදේශවල ව්‍යාප්ත කළ හැකිය. ඡන්දයෙන් පත්වන මැති ඇමැතිවරු පදිංචියට තෝරාගන්නේ අගනුවරය. අමාත්‍යංශ හා දෙපාර්තමේන්තු තමන් ආසන්නයේ ස්ථාපිත කරගනී. දුර බැහැර ජනී ජනයා රාජකාරි අවශ්‍යතා වෙනුවෙන් එහි ළගාවිය යුතුය. රජයේ හා අර්ධ රාජ්‍ය සේවයේ නිතර ලක්ෂ පහලොවකට අධික කාර්ය මණ්ඩලයක් මෙකී ආයතන වල රාජකාරි සදහා දිනපතා පැමිණෙයි. නිසි අධ්‍යයනයක් කළහොත් ජනගහනයට සාපේක්ෂව රාජකාරි සදහා විශාල සේවක කණ්ඩායමක් දිනපතා එහා මෙහා යන වාර්තාගත රටක් වශයෙන් නම් කළ හැකිය. විශාල සම්පත් නාස්තියකි. නිලධාරීන් සහ ජනතාව නගරයට කැදවන විට තදබදය ගැන පුදුම විය යුතු නැත. සමාජ දුරස්ථභාවය අද අත්‍යවශ්‍ය කාරණයකි. බස්රියේ හෝ දුම්රියේ නිසි සෞඛ්‍ය පිලිවෙත් අනුගමනය කරන බවක් නොපෙනේ. විශාල වියදම පමණක් නොව ජීවිත අවදානම ද තිබිය දී නගරයට එන පිරිස පාලනය කිරීම අරමුණු කරගෙන නිශ්චිත වෙනස්කම් යෝජනා කළ යුතුය.

ශ‍්‍රී ලංකාවේ යටිතල පහසුකම් දියුණුය. විශේෂයෙන් මාර්ග පද්ධතියට අධිවේගී මාර්ග එකතු වී තිබේ. තාක්ෂණය ආයතන අතර සම්බන්ධීකරණය පහසු කර තිබේ. අනෙක කොළඹ හා තදාසන්න ප‍්‍රදේශවල ඉඩම්  මිල විශාල වශයෙන් ඉහළය. ඇතැම් අමාත්‍යංශ, රජයේ කාර්යාල සහ දෙපාර්තමේන්තු අධික කුලී ගෙවන ගොඩනැගිලි වල පවත්වාගෙන යයි. ඒවායෙන් ඉවත්වීම ද වාසියකි. ඇමැතිවරයා හෝ නිලධාරීයා පෙනෙන මානයෙක සිටිය යුතු අදහස යල් පැන ගිය එකකි. රජයට අයත් සමහර අංශ බස්නාහිර පලාතෙන් එපිට ස්ථාපිත කළ හැකිය. යාපනය, ත‍්‍රිකුණාමලය, ගාල්ල, මහනුවර වැනි නගර ගැන කල්පනා නොකරන්නේ ඇයි? ධීවර අමාත්‍යංශය කොළඹ පවත්වාගෙන යෑම අවශ්‍ය කාරණයක් නොවේ. ධීවරයන් ගේ ජීවිකාව හා ඇමැතිවරයා නියෝජනය කරන මැතිවරණ බල ප‍්‍රදේශය සලකනවිට කාර්යාලය පමණක් කොළඹ පිහිටුවන්නේ ඇයි? කෘෂිකර්ම, ජල සම්පත්, සුළු අපනයන බෝග හෝ ක‍්‍රීඩා ඇතුළු අමාත්‍යංශ අගනුවරින් බැහැර තැනක ස්ථාපිත කරන්නට නොහැකියාවක් නැත. බුද්ධ ශාසන අමාත්‍යංශය පවා මහනුවර හෝ අනුරාධපුරයේ ස්ථාපිත නොකරන්නේ මන්ද? එවැනි තීරණ බලය බෙදන සංකල්පයට ද පිටිවහලකි. මධ්‍යගත ආයතනික ව්‍යුහය අනුචිත හා අකාර්යක්ෂම එකක් බව ඔප්පු වෙමින් තිබේ.

පළමු පියවර වශයෙන් දස අවුරුදු සැලැස්මක් සකස් කිරීම උචිතය. බස්නාහිර පලාතෙන් ඉවත් කර වෙනත් තැනෙක ස්ථාපිත කළ හැකි රජයට අයත් ආයතන ලැයිස්තු ගත කළ යුතුය. කුලී පදනමකින් ලබාගෙන විශාල මුදල් ගෙවන ගොඩනැගිලි ආර්ථික කටයුතු වලට පවරා රජයේ වියදම පාලනය කරගත හැකිය. එය ජනතාවගෙන් අය කරන බදු අඩු කරන වක‍්‍ර පියවරකි. කොවිඞ් කාල පරිච්ජේදයේ දී ජනතාවගේ ආරක්ෂාව සහ ආර්ථික පුනර්ජීවණයක් සෙදහා ගත හැකි සෘජු තින්දුවකි.