2021/02/24 – ලංකාදීප

‘‘ කොටි පරද්දපු රටේ, සිංහයොත් එක්ක ජීවත්වෙද්දි, ඔටුවො දැන ගන්න  ඕනෙ පාඩුවේ ඉන්න’’ කොළඹ නගරයේ ධාවනය වන තී‍්‍ර විලර් රථයක පිටුපස ලියා තිබුනි. එම වැකිය විශාල පැතිකඩක් හුවා දක්වයි. සංකේතාත්මකය. ජන සමාජයේ කොටසක් මෙම අදහස වෙනුවෙන් පෙනී සිටින බව නිසැකය. එහෙත් බහුතරයක් දෙනා ගේ දර්ශනය මෙබදු ද යන්න විමර්ශණය කිරීම ඉතාම වැදගත්ය.

ලොකු කුඩා, උස් පහත් බේධ රහිත සමාජ නැත. ලෝකයේ සෑම තැනකම අධිපතිවාදීත්වය තිබේ තිබීම එකකි. පාලනය කරගැනීම අනෙකකි. අනෙක් පාර්ශවය වෙනුවෙන් යුක්තිගරුක හැසිරීම මනුෂ්‍යත්වයයි. සාධාරණව සලකන, සියළු දෙනාට එකට සිටින්නට හැකි පිලිවෙලක් තිබීම උසස් ගුණාංගයකි. එවැනි සමාජ, එවැනි රටවල් විශිෂ්ඨත්වයෙන් යුතු බව සදහන් කරන්නට අවශ්‍යය.

බහුතරයට රිසි පරිදි තීරණ ගත යුතු යන්න එක සංකල්පයකි. ප‍්‍රජාතන්ත‍්‍රවාදය එයයි. එහෙත් සුළුතරය නොසලකා නොතකා හැරීමක් ප‍්‍රජාතන්ත‍්‍රවාදය තුළ නැත. ජාති, ආගම්, භාෂා, පංති ආදී වශයෙන් කවර සුළු කොටසකට නමුත් ආත්ම ගෞරවය අයිතියකි. තමන් පමණක් අභිමානවත්ව විසීම වරප‍්‍රසාදයක් නොවේ. ජයග‍්‍රාහකයා ඉටු කරන යුක්තිය තවත් සංකල්පයකි. යුත්තිය හෝ සාධාරණත්වයේ දිග පලල තීරණය කරන්නේ ජයග‍්‍රාහකයාය. පරාජිතයා තමන්ට හිමිවිය හැකි ඉරණම වග විභාගයකින් තොරව භාර ගත යුතුය. සුළුතරය තුළ කෙනෙකු වෙන්නට හෝ පරාජිතයෙකු සේ ජීවත්වෙන්නට අභිලාශයක් කිසිවෙකුට නැත. තමන් කැමැති නැති තැනකට අනුන් තල්ලූ කිරිම කිසිම ආගමික දර්ශනයකින් අනුමත කර නැති බව සදහන් කළ යුතුය.

ත‍්‍රස්තවාදය පරාජය කරන්නට රටට හැකිවිය. මුළු රටම එකතු වූ අතර විශාල කැපවීමක් කළේය. කොටි පරාජය කළ සිංහයන් වූ පමණින් තවත් අන්තවාදයකට හෝ අවසානයේ දී ත‍්‍රස්තවාදයකට දොරටු හැරිම සුදුසු නැත. යුක්තිය හා සාධාරණ සමාජයක් වෙනුවෙන් පෙනී සිටීම බියගුළුකමක් යැයි කල්පනා කරන්නේ නම් එය බරපතල වරදකි.

ශ‍්‍රී ලංකාව තීරණාත්මක තැනකය. එදිනෙදා ක‍්‍රියාකරන, හැසිරෙන හා තීරණ ගන්නා අන්දම අනුව ඉරණම තීරණය වනු ඇත. ලෝකයෙන් උතුම් රට බවට පත්වූයේ නිරායාසයෙන් නොවේ. එම කීර්තිය අත්පත් කරගත්තේ විශාල කැපකිරීමකින් බව අමතක කළ යුතු නැත. ඉතාම පහසුවෙන් ලෝකයේ නරකම රටවල් අතරට පත්විය හැකිය. කොවිඞ් වසංගතය හෙයින් ජීවිතක්ෂයට පත්වන ඉස්ලාම් ආගමිකයන්ගේ මෘත දේහ වලට අනුගමනය කරන ක‍්‍රියාමාර්ගය ඉදිරියේ ශ‍්‍රී ලංකාව ස්වකීය ප‍්‍රතිරූපය පරදුවට තබා තිබේ.

මළ සිරුරු ආදාහනය හෝ භූමදානය කොවිඞ් වසංගතය පැතිරෙන හේතුවක් නොවන බව ලෝක සෞඛ්‍ය සංවිධානය පිලිගෙන තිබේ. ආශ‍්‍රිතයන් ක‍්‍රියා කළ යුතු අන්දම ගැන පැහැදිලි උපදෙස් නිකුත් කර ඇත. ඉස්ලාම් භක්තිකයන්ගේ විශ්වාසය අනුව මළ සිරුරු ආදාහනය ආත්මය සම්බන්ධ බරපතල ප‍්‍රශ්නයකි. ආගමික හෝ සංස්කෘතික මතිමතාන්තර වලට සෞඛ්‍ය විධි විධාන මිශ‍්‍ර කරගත යුතු නැත. නමුත් මෙම පැති ගැන නොසලකන ශ‍්‍රී ලංකාව ඉතාම තද අන්තවාදී ස්ථාවරයකය. ආණ්ඩුව තනිව ගත් තීරණයක් නොවේ. නොයෙක් පෙළඹවීම් හා බලකිරීම් වල ප‍්‍රතිඵලයකි. ලෝක නායකයෝ, මානව හිමිකම් සංවිධාන මානුෂික පියවර වෙනුවෙන් පෙනී සිටින සෑහෙන පිරිසක් විස්මිතව බලා සිටිති.

සාධාරණ රටක්, මානුෂිකව හිතන ජන කොටසක් බව සනාථ කරන්නට තවමත් ප‍්‍රමාද නැත. බුද්ධ දේශනාව අනුව ජීවත්වන බහුතරය අල්ලා ගැනීමට නොව අත් හැරීමට වෑයම් කළ යුතුය. වෛරයෙන් වෛරය නොසන්සිදෙන බව බුදු රජාණන් වහන්සේ කළ දේශනාව අමතක කළ යුතු නැත. බෞද්ධ, හින්දු, කිතුනු හා ඉස්ලාම් පමණක් නොව අනෙක් ආගම් වල ද මරණයෙන් මතු ජීවිතය ගැන විශ්වාසයක් පවතී. එයට ගරු කළ යුතුය. අවසන් කටයුතු කෙරෙන ආකාරය ගැන සංස්කෘතික එකගතා තිබේ. ඒවායේ ඉතිහාසය සංකීර්ණය. සත්‍යය අසත්‍යතාව පැත්තකින් තැබිය යුතුය. ඒකමතික තීරණය නුසුදුසුය. අසල්වැසියාගේ මරණය සංහිදියාව ඇති කරන පියවරක් බවට හරවා ගැනීමට පැකිලිය යුතු නැත.