2021/02/10 – ලංකාදීප

විශ්වාසය ගැන සෑහෙන නිර්චචන හා උපදේශන තිබේ. එකිනෙක පුද්ගලයන් හා ආයතනික මට්ටමක් ඇති කරගන්නා විශ්වාසය ඉතා වැදගත්ය. රටවල් අතර පවා විශ්වාසයක් ගොඩනැගේ. දියුණුවන තාක්ෂණය හා සන්නිවේදන ප‍්‍රවණතා අනුව අනාගතයේ මෙම ව්‍යුහය තවත් ඔබ්බට ගමන් කරමින් රොබෝ තාක්ෂණය එනම් කෘතීම බුද්ධිය විශ්වාස කරන්නට සිදුවනු ඇත.

විශ්වාසය ගැන මෑත වකවානුවේ එක්තරා ආකාරයක ප‍්‍රායෝගික හැසිරවීමක නිරත වූ ජෝර්ජ් ෂුල්ට්ස් පසුගිය දා ජීවිතක්ෂයට පත්විය. ඔහු  ඇමරිකානු සමාජයට හා ජාත්‍යන්තරයට මහත් සේවයක් කළේය. ඇමරිකා සහ සේවියට් සීතල යුද්ධය අවසන් කර පාර්ශව අතර සබදතා ඇති කරන පියවර ගත් විද්වතෙකි. රාජ්‍ය, මුදල්, කම්කරු හා අයවැය යන ඇමරිකානු ආණ්ඩුවේ ලේකම් ධුර හෙබැවීය. එම තනතුරු ඇමරිකානු කැබිනට් මණ්ඩලයේ ඉහළම ස්ථරයෙහි ඒවාය. දේශපාලනයෙහි පමණක් නොව අධ්‍යාපන ක්ෂේත‍්‍රයේ ද ඉහළ තැනක් දැරීය. ඩුවයිඞ් ඞී. අයිසන්හාවර්, නික්සන් හා රේගන් යන හිටපු ඇමරිකානු ජනාධිපතිවරු තිදෙනෙකු යටතේ විවිධ වගකීම් උසුලා තිබේ. චිකාගෝ විශ්ව විද්‍යාලයේ ආර්ථික විද්‍යා පීඨාධිපති වූ හෙතෙම පුද්ගලික අංශයට එකතු වී ඉදිකිරීම් කර්මාන්තයේ පරිවර්තනයක නියැලි ප‍්‍රධානියෙකි. ඔහුගේ පසුබිම කෙසේ වෙතත් වසර සියයක් ජීවත් වූ විශ්වාසය ගැන ඔහු ලියා තැබූ සටහන කාලිනව වැදගත්ය.

පරිහරණය කරන කාසි වලට විශ්වාසය සමාන කළ හෙතෙම නිවෙස, පාසල, කම්හල, ආරක්ෂක අංශ තුළ සහ ආණ්ඩුවක විශ්වාසය අත්‍යවශ්‍ය බව පෙන්වා දුන්නේය. පලූදුවන විශ්වාසය අවලංගු කාසියක් සේ ජෝර්ජ් ෂුල්ට්ස් උපමා කරන ලද බව නිසැකය. මහත් විශ්වාසයකින් ගනුදෙනු කරනු ලබන  කාසි අවලංගු නොකර තබා ගැනීමට අප උත්සාහ කළ යුතුව තිබේ. වේගයෙන් වෙනස්වන ව්‍යුහය තුළ විශ්වාසය ඉතා වැදගත්ය. එහෙත් එකිනෙකා ගේ සිට රට රාජ්‍ය අතර පවා විශ්වාස පලූදු වෙන ස්වභාවයක් නිරීක්ෂණය කළ හැකිය. මෑත කාලය තුළ සමාජ මාධ්‍ය භාවිතාව හා එහි ඇතැම් විකෘති ස්වභාවයන් විශ්වාසය යන පදනම අනතුරකට පත් කර තිබේ.

අතීතයේ දී විශ්වාසය ගලේ කෙටූ අකුරකි. ඉරහද පවතින තෙක් වෙනස් කළ නොහැකි තීරණ ගෙන ඇත. එහෙත් වර්තමානයේ දී විශ්වාස කළ හැකි දෑ සීමා සහිත වෙමින් තිබේ. සත්‍ය තුළ පශ්චාත් සත්‍ය යන ආකෘතියක් පැන නැගී ඇති පරිදි පශ්චාත් විශ්වාසය යන භාවිතාවක් ද හදුනා ගැනීමට හැකිවනු ඇත. මෙහි අවසාන ඉරණම ගැන සංවේදී විය යුතුය.

ජාතීන් අතර විශ්වාසය බිද වැටෙන තැනට කරුණු සිදුවෙමින් තිබේ. ආගම් සම්බන්ධ විශ්වාසය පලූදු වී ඇත. ආගමික දර්ශනය ගැන නොව ආගම ඉදිරියෙන් තබා ක‍්‍රියා කරන ආකාරය හමුවේ මෙම ගැටළු ඇතිවන බව නිරීක්ෂණය කළ හැකිය. ජන සමාජය, ආයතනික රාමු, ජාතික හා දේශපාලනික නායකයන් විශ්වාස නොකරන තරමට පත්ව තිබීම ද අද මුහුණ පා ඇති ගැටළුවකි. අවසානයේ දී රටවල් අතර පැවැතිය යුතු එකිනෙකා විශ්වාස කරන හා එකිනෙක රටවල් වලට ගරු කරන පිලිවෙත් අක‍්‍රමවත් වී ඇත. මෙහි ප‍්‍රතිඵලයක් වශයෙන් භයානක ප‍්‍රතිඵල ඇති කරන්නට ඉඩ ඇති බව සැකයක් නැත. සම්ප‍්‍රදායික ව්‍යුහ කෙරෙහි විශ්වාසය පලූදුවන විට අලූතින් ඇති කරන මිත්‍යා සංකල්ප හා චර්යාධර්ම විශ්වාස කරන්නට ජනතාව පෙළැඹෙන්නට ඉඩ ඇත. අන්ධ විශ්වාස හේතුවෙන් විනාශකාරී සිද්ධි වලට පෙළැඹේ. ලෝක ඉතිහාසයේ එවැනි අවස්ථා ගණනාවකි.

අප ජීවත්වන වටපිටාව තුළ එදිනෙදා ගන්නා තීන්දු තීරණ අතර විශ්වාසය තිබේ. තීරණ තුළ වාසි අවාසි කොටස් දෙකකි. විශ්වාසය සදහා වාසි පමණක් නොව අවාසිද සම සිතින් භාර ගැනීම අවශ්‍යය. විශ්වාසය තැබීමෙන් සිදුවිය හැකි අවදානමට සූදානම් විය යුතුය. ජෝර්ජ් ෂුල්ට්ස් වැනි විරල පුද්ගලයෝ ජීවත් වූ යුගය අවසාන වෙමින් තිබේ. අද අපට සිටින ඇතැම් නායකයන් හෝ විද්වතුන් විශ්වාසය ගැන තකන්නේ නැත. එදිනෙදා කටයුතු වල දී තාවකාලික ජනප‍්‍රියත්වයට තීරණ ගන්නා අතර දුර දිග බලා කටයුතු නොකරයි. එය අවාසනාවන්ත තත්ත්වයකි. රට තුළ ජන කොටස් අතර විශ්වාසය තහවුරු කරන නිසි පිලිවෙලක් අවශ්‍යය. සිංහල ජනතාව හා දෙමල ජනතාව පමණක් නොව සියළු ජනී ජනයා අතර රටවල් සමග එකට කටයුතු කරන්නට අවශ්‍යය. චීනය හා ඉන්දියාව සමග පමණක් නොව ඇමරිකාව හා යුරෝපා ඇතුළු ලොකු කුඩා රටවල් සමග අනන්‍යව ගනුදෙනු කරන පිලිවෙලක් සකස් කරගත යුතුය. විශ්වාසය එහි ලා වැදගත් පදනමකි.