2021 /02/ 03 – ලංකාදීප

නිදහස් රටක්, නිවහල් අධ්‍යාත්මයක් ප‍්‍රාර්ථනය වී තිබේ. හැත්තෑ තුන් වැනි නිදහස් දිනයේ පවා අරමුණ නොවෙනස්ය. පළමු නිදහස් දිනයේ සිට හෙට උදාවන දිනය දක්වා පැවැත්ම තියුණු හා සංකීර්ණ මුහුණුවරක් ගෙන ඇත.

එක පැත්තකින් කොවිඞ් වයිරසය සහ එහි ප‍්‍රතිඵලයක් සේ තර්ජනාත්මකව නැගී එන ආර්ථික ප‍්‍රශ්න රටට බරපතල තත්ත්ව ඇතිකර තිබේ. අනෙක් පැත්තෙන් මානව හිමිකම් උල්ලංඝනය වී ඇති බවට නැගෙන චෝදනා ඉදිරියේ අසීරු තැනකය. ඇවිලවීමෙන් පසු ජයග‍්‍රාහී අවසානයක් ගැන කල්පනා කරන පටු කණ්ඩායම් වලට මෙම පසුබිම තුළ උදාහරණ තුනක් දක්වා අතීතය මතක් කර දිය යුතුය.

ඇමරිකානු ජනාධිපති රොනල්ඞ් රේගන් බලයට පත් වූයේ 1981 ජනවාරි 20 වැනි දාය. මාස හයක් යන්නට කලින් එරට ගුවන් ගමන් පාලකවරු වර්ජනයක් ඇරඹූහ. අභ්‍යන්තර හා ජාත්‍යන්තර ගුවන් ගමන් වල අවහිරතා පැන නැගිණ. රේගන් ජනාධිපතිවරයා වර්ජනය කළ 11,359 දෙනෙකු වහාම සේවයෙන් ඉවත් කළ අතර නැවත වතාවක් රැකියාවකට ඉඩ නැති වන පරිදි අසාදු ලේඛණ ගත කළහ. අලූත් පිරිසක් බදවා ගෙන අවහිරතා තුරන් කරගතතේය. එයින් පසු රේගන් පාලනයට වර්ජන හා විරෝධයක් නැවත ඇති වූයේ නැත. 1984 දී බි‍්‍රතාන්‍යයේ ද මෙවැනි සිදුවීමක් වාර්තා විය. ආර්ථික ප‍්‍රතිසංස්කරණ යොජනා වලට එරෙහිව ගල් අගුරු පතල් සේවකයන් ඇතුළු පිරිස් විශාල වැඩ වර්ජනයක් ආරම්භ කළේය. අගමැතිනි මාග‍්‍රට් තැචර් තත්ත්වය පාලනය කරන්නට උත්සාහ කළේය. ශීත කාලයේ ගල් අගුරු හිගය ජනී ජනයා සහ කර්මාන් බලවත් පීඩාවකය.  වර්ජකයන් ඉදිරියේ දණ නොනැමූ ඇය පසුව යකඩ ගැහැනිය ලෙස නම් ලැබූහ. අගමැතිනිය කියා සිටියේ ‘‘රට තුළ සිටින සතුරන් සමග සටන් කරන්නට සිදුවී ඇත. අප අතරම සිටින සතුරන් සමග සටන දුෂ්කර පමණක් නොව නිදහසට තර්ජනයක් ’’ බව ය.

අසූවේ ජූලි වර්ජකයන් ගේ සිද්ධිය ඇමරිකාවේ හා බ්‍රිතාන්‍යයේ සිදුවීම් වලට කලින්  බව මතක් කර දිය යුතුය. ජේ. ආර්. ජයවර්ධන ආණ්ඩුව බලයට පත් වූයේ හයෙන් පහක බලයක් සහිතවය. වැඩ කරන ජනතාව දවසකට රු. දහයක වැටුප් වැඩිවීමක් ඉල්ලා වෘත්තීය සටනක් ඇරඹීය. වෘත්තීය සමිති දහසක් සහ ලක්ෂ හතරකට වැඩි රාජ්‍ය හා පුද්ගලික සේවක පිරිසක් වර්ජනයට එකතු වී සිටියේය. එය ඉතාම තීරණාත්මක මොහොතකි. ‘‘ විධායක ජනාධිපති බලය අනුව තමන්ට බැරි ගැහැනියක මිනිහෙක් කරන්නට හා මිනිහෙක් ගැහැනියක කරන්නට පමණක් බව’’ මරදානේ පැවැති ජන හමුවක දී ජනාධිපති ජේ. ආර්. ප‍්‍රකාශ කළේය. සේවයට වාර්තා කළ යුතු අන්තිම දිනයක් නිවේදනය කළේය. එදින නොපැමිණි හතලිස් දහසකට වැඩි පිරිසක් සේවය අතහැර ගියා සේ සැලකීය. ආණ්ඩුව එතැනින් නතර වූයේ නැත. ආණ්ඩු පක්ෂයේ මන්ත‍්‍රීවරුන් ගෙන් සිය දෙනෙකු බැගින් ලැයිස්තු අනුව වහාම අලූතින් සේවයට බදවා ගත්තේය. ජූලි වර්ජනයේ දුක්බර කතාන්දරයක කොටස් අදටත් පවතී.

ජනාධිපති ජේ. ආර්. ගේ තීන්දුව ඇමරිකාව හා බි‍්‍රතාන්‍ය නායකයෝ පසුව අනුගමනය කළේ ද යන්න වෙනම විශ්ලේෂණය කළ යුතුය. එහෙත් ජනතා ඡන්දයෙන් බලයට පත්වන ආණ්ඩු තීන්දු ගන්නේ ජනතා අභිමතාර්ථ සාක්ෂාත් කිරීම අරමුණු කරගෙනය. පැන නැගෙන විරෝධතා කෙළවර විය හැකි තරම ගැන වෙනත් උදාහරණ අවශ්‍ය නැත. රට තුළ වර්ජන හා විරෝධතා ඇවිලෙමින් තිබේ. ආණ්ඩුවේ තීරණ හෙලා දකිති. ආර්ථික සහ මානව හිමිකම් ප‍්‍රශ්න අනෙක් පැත්තෙන්ය. ඇතුලත හා පිටත උණුසුමක සිටින ආණ්ඩුවක් ගන්නට ඉඩ ඇති තීරණ වල භයානකත්වය ගැන විරෝධතා මෙහෙයවන්න අන්තවාදීන් කල්පනා කළ යුතුය.

ශ‍්‍රී ලංකාව විශාල ණය අර්බුදයකය. ජනතාව සහන ඉල්ලමින් සිටී. වයිරසයේ බලපෑම තිබිය දී පවා රට ලොක්ඩවුන් නොකර, නිෂ්පාදනය හා සේවා කරගෙන යෑම සදහා බලවත් වෑයමකය. ඉන්දියන් සාගරයේ මතු වී තිබෙන ජාත්‍යන්තර දේශපාලන උණුසුම ද සැලකිය යුතු කාරණයකි. ඇමරිකාව, ඉන්දියාව හා චීනය යන බලවත් රටවල් තුනක සියුම් බලපෑම් මැද උපායශීලීව තීරණ ගන්නට සිදුවී තිබේ. ජාත්‍යන්තර සබදතාවල දී නායකයන් ගත් වැරදි තීරණ වලට ගෙවන ලද වන්දිය ත‍්‍රස්ත‍්‍රවාදයෙන් කෙළවර වී තිබේ. දේශපාලනයේ දී රට තුළ අනුගමනය කරන කරන, ඡන්ද පදනමට කතා කරන ජනප‍්‍රිය ක‍්‍රම ජාත්‍යන්තරයට ගැලපෙන්නේ නැත. අනෙක් අතට තාක්ෂණය වේගයෙන් වෙනස් වන අතර අලූත්වන ස්වභාවය අනුව ආයෝජනය නොකළහොත් රටට පැවැත්මක් නැත. අනාගත පරපුර නැවතත් අන්ධකාර යුගයකට තල්ලූ කිරීමකි. පවතින රාමුව වෙනස් කර අලූත් රටක් නිර්මාණය කරන්නට ගත යුතු තීරණ සම්බන්ධයෙන් මැදහත්ව පියවර ගැනිම අවශ්‍යය. ආණ්ඩුව සහ වෘත්තීය සමිති විරෝධතා අතර එකගතාවයක් ඇති කර නොගතහොත් පිපීරීම කොයි මොහොතක ද යන්න නිශ්චිත නැත.