2021/01/27 -දේශය

ඇමරිකානු ජනාධිපතිවරණය සහ අලූත් ජනාධිපති තෝරා පත්කරගැනීම ගැන තිබුණ කලබැගෑනිය එක්තරා අවසානයක් කරා පැමිණ තිබේ. පැන නැගී තිබුණ තියුණු විවාද අවසන් කළේ ජනී ජනයාගේ සොම්නස සමගය. සංකීර්ණ සහ දැඩි ආරක්ෂාවක් මැද පැවැති ජනාධිපති ජෝ බයිඩන්ගේ පදවි ප‍්‍රාප්තිය සංකේතාත්මක සිද්ධි වලින් බහුලය. තරුණ කිවිදියක ගේ කාව්‍යමය ඉදිරිපත් කිරීම ඇවිලෙමින් තිබුණ හදවත් තෙත් කළේය. ලේඩි ගාගා ජාතික ගීය ගායනා කළේ ඇයට ආවේනික ශෛලියකිනි.

ජනාධිපතිවරයා නිල උත්සව අවස්ථාවේ අංග අතර ශ්‍රේෂ්ඨ කවියෙකු වේදිකාවට පැමිණ නිර්මාණයක් ඉදිරිපත් කිරීම සම්ප‍්‍රදායකි. මෙවර එම අවස්ථාව ලබාගත්තේ විසි දෙහැවිරිදි දක්ෂ කිවිදියක හා සමාජ කි‍්‍රියාකාරිණියක වන ඇමෙන්ඩා ගෝමන් ය. එක්සත්භාවය හා එකමුතුවීමේ පණිවුඩය ඇගේ පරිනත නිර්මාණය තුළ තිබුණි. ‘‘කිසියම් දවසක කෙළවරක් නැති අදුරු සෙවනැලි අවසානයේ දී අප ආලෝකය සොයනු ඇති’’ බව ඇය මුල් වචන වලින් දැක්වූවාය. නොයෙක් බෙදීම් වලින් හෙම්බත්ව තිබුණ ඇමරිකානු සමාජයට එම වදන් මහත් අස්වැසිලිලක් විය. ජෝ බයිඩන් ජනාධිපතිවරයා ඇමන්ඩා තෝරා ගත් පසුබිම ද විචිත‍්‍රය. ඇය ශ‍්‍රවණ හා කථන ආබාධ සහිතය. පසුව මහත් වෑයමෙන් ආබාධ මැඩගෙන තිබේ. බයිඩන් ජනාධිපතිවරයා ද කුඩා කාලයේ දී කථන දුර්වලතා සහිතය. ඔහු අත්විදි ගැහැට සහ වේදනා මැඩ පැමිණි ජයග‍්‍රාහී මාවත ඔස්සේ එන්නට ඇමන්ඩාට ද අවස්ථාවක් නිර්මාණය කළේය. ලාබාල ඇය ඉතා දක්ෂ ලෙස එයින් ප‍්‍රයෝජන ගත් බව ජාත්‍යන්තර මාධ්‍ය වර්ණනා මැනැවින් සනාථ කරයි.

දුබලතා පිලිගැනීම සහ ඒවා උසුලූ විසුලූ වලට හේතුවක් කර නොගැනීම කොපමණ අගය කළ යුතුද? ශාරීරික ආබාධ හෝ පසුබිම අවස්ථා අහිමි කරන්නට හේතුවක් නොවන බව නැවත වතාවක් ඇමරිකානු ජන සමාජය ලෝකයට පෙන්වා දී ඇත. ජනාධිපතිවරයෙකු දිවුරුම් දෙන අවස්ථාව ඉතා ගාම්භීර හා මැනැවින් ප‍්‍රදර්ශනය විය යුතු නමුත් ගතානුගතිකත්වයෙන් ගැලවී අලූත් අර්ථකථන හා සමාජ සංකේත වෙනුවෙන් යෙදවීම අභිමානයට කැළලක් වූයේ නැත. තවත් සමාජානුබද්ධ කරන්නට සමත්විය. ඇමන්ඩා ගේ කවිය හා ලේඩි ගාගා ශිල්පිනිය වෙනස් ශෛලියකට ඇමරිකානු ජාතික ගීතය ගායනා කිරීම අමිහිරි සිද්ධි අමතක කර නැවුම් වාතාශ‍්‍රයක් සපයන කවුළු විවර කරන්නක් බවට පත් වූ බව සදහන් කළ යුතුය. මාස කිහිපයක් තිබුණ කැළඹිලි, කැපිටල් මන්දිරය ආක‍්‍රමණය කර සිදුවූ ගැටුම්, ජනාධිපතිවරණ ප‍්‍රතිඵලය ප‍්‍රතික්ෂේප කරන විරෝධතා යනාදිය තුනී කර අලූත් පරිසරයක් මොහොතකින් ඇතිකරන්නට හේතුවිය.

රටක් ඉදිරියට ගමන් කරන්නට එකගතාවයක් අවශ්‍යය. ශ‍්‍රී ලංකාවට ඉගෙනගත යුතු පාඩමක් තිබේ. හැම තැනෙකම, හැම දෙයකටම බේධ ඇති කරගනිමින් සිටිමු. එකිනෙකා බෙදී මහා ඝෝෂාවකි. මාධ්‍ය භාවිතාව තුළ පවා විවාදය හැර අනෙකක් නැත. සමාජ මාධ්‍ය එම වාද විවාද තවත් විකෘති කරමින් සිටී. සියළුම අවස්ථාවලදී විරුද්ධ වන නමුත් සමහර අවස්ථාවල දී සමාජයක් වශයෙන් එකට එකතුවිය යුතුය යන සංකල්පය අපට නැත. එය අභාග්‍යයකි. පෞඩ ඉතිහාසය ගැන අභිමානයෙන් සිටින ශ‍්‍රී ලංකාවේ වර්තමානය ගැන ඉතිහාසයේ ලියැවෙන්නේ කෙසේද? කෙබදු පැවැත්මක පසුවූ ජන කොට්ඨාශයක් වශයෙන්ද?

රටට නිදහස ලැබුණු දිනය සමරන දවස එළැඹෙමින් තිබේ. සුපුරුදු සම්ප‍්‍රදායික පෙළ ගැසීම හැර අනෙක් අංගයක් ඇතුලත් කළ නොහැකි ඇයි? හේතුවක් තිබේ. දේශපාලනඥයන්ගේ කතා සහ හමුදා උත්තමාචාර හැර වෙනස් දෙයක් කරන්නට උත්සාහ කළහොත් අවඥාවට ලක් වනු ඇත. මරාගෙන මැරෙන විරෝධතා ඇති කරනු නිසැකය. එක රටක්, එක ජාතිකයක් වශයෙන් නැගී සිටින්නට කලින් එක දෙයක් වෙනුවෙන් හිස ඔසවන්නට සූදානම් විය යුතුය. සම්ප‍්‍රදාය පමණක් නොව සමාජය ඔසවා තබන සංකේත ගැන ද අත්සවයක දී යුහුසුළුවීම ඉතා වැදගත්ය. නිදහස් උළෙල පමණක් නොව රටේ හැම තැනකම පවත්වන එකිනෙකට වෙනස් උත්සව වල දී ජනතාවාදී අවස්ථා ඇති කරන්න. පවතින කොවිඞ් වයිරස තත්ත්වය ඇතැම් පාලනයකට හේතුවක් විය හැකිය. එහෙත් අලූත් ආරම්භයකට ද අවස්ථාවකි. ජාති, ආගම්, කුල, පන්ති හා පැලැන්ති පැත්තකට කර රටක් ගොඩනගන්නට තරම් ශක්තිමත් අලූත් අදහස් රටට අවශ්‍යය.