2012/01/20- ලංකාදීප

ජන සමාජය නිතිපතා මුහුණ දෙන ප‍්‍රශ්න සංකීර්ණ මුහුණුවරක් ගනිමින් තිබේ. නොසිතන පැති වලින් අරගල පැන නැගෙන අතර ඉතා තාක්ෂණිකය. තොරතුරු සන්නිවේදනය හා සමාජ මාධ්‍ය භාවිතය ඔස්සේ ජන සමූහ දේශ සීමා රහිතව ජාල ගතවන බව නිරීක්ෂණය කළ හැකිය. ජාල ගත අරමුණු සදහා පොළඹවන අදිසි බලවේග බලවත් කැළඹිලි ඇති කරන්නට සමත්ව තිබේ. සංවර්ධන අභිලාශය හා සැනසිලිදායක ජන ජීවිතය ගැන තිබුණ අපේක්ෂා වෙනස් පැතිවලට යොමු වී ඇත.

අතීතයේ දී ආහාර සොයා ගැනීම සදහා දඩයම් කළ මනුෂයෝ සුනඛයෝ ඇති කළහ. වැදි ජනතාව මෑත කාලය දක්වා දඩයමට සුනඛයෝ ඇති කළ අතර ආර්. එල්. ස්පිට්ල් ශූරීන් ගේ කෘති වල වැද්දන් හා දඩයමට දක්ෂ බල්ලන් සමග තිබුණ තද සම්බන්ධතා මැනැවින් විග‍්‍රහ කර තිබේ. විධානයට කඩා පැනීමේ සමත් සුනඛයෝ ගොදුර අත නොහරිති. උසිගැන්වීමේ දී හාම්පුතා ගේ විසිල් හඩට අවනත වෙති. නූතන සමාජ මාධ්‍ය හැසිරවීමේ දී ‘‘ඩෝග් විසිල්’’ සංකල්පයක් ගැන කියැවෙයි. කොතැනකින් හො මතුකරන ශබ්ධයකට බුරා පැන නැගෙන ව්‍යාපාර මතු වී තිබේ. මෙම ශබ්ධ ඇති කරන්නෝ විශේෂිතය. සමාජය අනතුරකට පත් වන බව නොසලකන අතර නොයෙක් අන්තවාදී අදහස් වපුරවමින් සිටිති.

ෆේස්බුක්, ඉන්ටග‍්‍රෑම්, ටිවිටර් හා වට්ස් ඇප් වැනි සමාජ මාධ්‍ය ජාලා ආරම්භ කරන්නේ විනාශය අරමුණු කරගෙන නොවේ. හිතමිතුරු සමාජ හා අදහස් හුවමාරුව අරමුණු කරගෙනය. සමාජ සම්බන්තා අලූත් වටයකින් දියුණු කිරීමටය. පොදු අරමුණු පරාජය කර බියකරු අභිමතාර්ථ ඉදිරියට පැමිණ ඇති අතර බටහිර සිදුවන මෙකී විපර්යාස දියුණු වෙමින් පවතින රටවල් ආක‍්‍රමණය කරමින් සිටී.

ප‍්‍රජාතන්ත‍්‍රවාදය ශක්තිමත් කරන්නට සමාජ මාධ්‍ය සහ තොරතුරු සන්නිවේදන ජාලා මහත් පිටිවහලක් වනු ඇති බවට කරන පුරෝකථන විනාශවීම මෙහි භයානක පැත්තකි. බටහිර රටවල සිදුවන දේ ගැන විමර්ශණශීලීව සිටින චීනය වැනි රටවල් පවා ස්වකීය සමාජ වලට නුදුරු කාලයේ දී එල්විය හැකි අනතුර ගැන තද අවධානයක් යොමු කර ඇති බව වාර්තා දක්වයි.

සමාජ මාධ්‍යවලින් නිකුත් කරන අදහස් කෙටිය. ඉතා අන්තවාදීය. මේවායේ ඇත්ත නැත්ත සොයන්නට කිසිම අවකාශයක් නැත. වේගයෙන් හඹා එන රැළි සම්ප‍්‍රදායික සමාජ ව්‍යුහ අර්බුදයකට තල්ලූ කරමින් සිටී. ජනිත කරන සමහර අදහස් වලින් අලූත් දෙයක් නිර්මාණය කරන්නේ නැත. ඇතැම් අදහස් කිසියම් කොට්ඨාශයක උද්දාමය වෙනුවෙන් පමණකි. සත්‍ය කුමක් ද යන්න වටහා ගැනීමට ඉඩක් දෙන්නේ නැත. ව්‍යාකූලත්වය ඇතිකරයි. බලය වෙනුවෙන් පවා සමාජ මාධ්‍ය වල ස්ථිර හැසිරීමක් නැත. එහි අන්තවාදී ප‍්‍රවේශය පාලනය කරගැනීමට මෙම මාධ්‍ය නියාමන ආයතන පවා අසමත්ය. ඩොනල්ඞ් ට‍්‍රම්ප් ජනාධිපතිවරයාගේ ඡුන්ද ව්‍යාපාරය එයට හොද උදාහරණයකි. අසත්‍ය පණිවුඩ හා අන්තවාදී අදහස් ක්ෂණයකින් අවුලවන ලද අතර ඒවායෙන් ඇති කරන අවසානය සාමාන්‍ය ජනතාව උන්මත්තකයන් කරන තරමට පත්වූ බව මධ්‍යස්ථ විචාරක මතය වී තිබේ.

උසිගැන්වීමෙන් ඇති කරන කැළඹීම එහි, අවසානයේ දී ඇති කරන සමාජ පැවැත්ම ගැන පූර්ව නිගමනයකට එළැඹිය නොහැකිය. තරුණ පරපුර මෙම බිහිසුණු ඉරණම අභිමුවෙහි සිටී. පුරූෂාර්ථ හා සමාජ සාරධර්ම ගැන තක්සේරුව අවම වී ඇත. භීතිය හා කුමන්ත‍්‍රණ ඇති කිරීමෙන් නඩත්තු වන කල්ලි ජනතාව ඇදගෙන යන අවසානය ගැන කල්පනා කරන්නේ නැත. මාධ්‍ය නිදහස එක කෙළවරකි. අනෙක් කෙළවර නිදහස අයුතු සේ කරන භාවිතාවය. සමාජ මාධ්‍ය භාවිතාව එල්ල කරන පීඩනය ආණ්ඩු වලට පමණක් නොව නිර්මාණශීලීව මෙම ව්‍යාපාර ඇතිකරන සමාගම් ද අනතුරකට තල්ලූ කර තිබේ. ලෝකයේ බලවත්ම ප‍්‍රජාතන්ත‍්‍රවාදී රාජ්‍ය සේ සැලකෙන ඇමරිකාවේ වත්මන් ජනාධිපතිවරයාගේ සමාජ මාධ්‍ය ගිණුම පවා අවහිර කරන තැනට ඇවිලීම මෙහි තරම විදහා දක්වයි. දියුණුවන රටක, ගුණ දහමින් පෝෂණය වී සිටින සමාජයකට අත්විය හැකි ඉරණම ගැන විද්‍යාර්ථීහු සිය අවධානය වහා අවධානය යොමු කළ යුතුය.