2020/12/23 – ලංකාදීප

ලෝකය එක යායක එකට, එකමුතුව වෙසෙන සමාජයක් ගැන සිහින දකිමින් සිටියේය. සියල්ල වෙනස් වී තිබේ. කොවිඞ් වයිරසය අණසක පතුරුවා ඇත. එදිනෙදා පැවැත්මට එල්ලකර ඇත්තේ බලවත් තර්ජනයකි. සාමුහිකත්වය වෙනුවට සමාජ දුරස්ථභාවය වැදගත්ම සාධකය බවට පත්ව ඇත. ජන ජීවිතය විස්මිත යුගයකට හරවන ගෝලීයකරණ සංකල්පය අනෙක් පැත්තකට හැරී තිබේ. ගෝලීය වසංගත තත්ත්වය ඉදිරියේ ජනී ජනයා ඉතා අවිනිශ්චිත ස්වභාවයකය.

පරිසරය ගැන නොතකා සම්පත් අසීමිතව පරිභෝජනය කිරීමේ විපාක බව සමහර මතධාරීහු නගන චෝදනාවකි. එල්ලවී ඇති අභියෝගය තියුණු නමුත් මනුෂ්‍යයාගේ ශක්තිය පරාජය කළ නොහැකි බව තවත් පාර්ශවයකගේ අදහස වී තිබේ. මෙම පැති දෙක ගැනම වෙනම අදහස් ඇති බව නිසැකය. එහෙත් සොබා දහම සමග එකගව ගත කරන අලූත් ජීවිතයක් ගැන මධ්‍යස්ථ මතධාරීහු අදහස් දක්වන බව පෙනේ. සංවර්ධනය හා සමානව මහපොලව ආරක්ෂාකර ගැනීමේ වැදගත්කම ගැන ඉතිහාසයේ නොතිබුණ සාකච්ඡාවක් ආරම්භ වී ඇත. කොවිඞ් වයිරසය තුරන් කිරීමේ පියවරකට පසු එළැඹෙන කාල වකවානුවේ දී පරිසරය ආරක්ෂා කරගෙන හැසිරිය යුතු බව එයින් අවධාරණය වෙමින් තිබේ. බලශක්ති නිෂ්පාදනයේ දී ඉන්ධන භාවිතාව අඩු කරන අතර ආහාර නිපදවන ක‍්‍රියාවලියේ දී අහිතකර වායු විමෝචනය නරක බව වටහා ගෙන ඇත. දිරා පත් නොවන දේ භාවිතා කිරීම අත්හරිමින් තිබේ. මහපොලව පමණක් නොව ආකාශය හා සාගරය ද අපිරිසිදු නොකරන තැනට ප‍්‍රතිපත්ති සකස් කෙරෙමින් පවතින බව ලෝකයේ රටවල් හා සංවිධාන අනුගමනය කරන පියවර මැනැවින් දක්වයි.එළැඹ ඇති අවකාශය අලූතින් හිතන්නට අවස්ථාවකි. මෙතෙක් අනුගමනය කරන ලද පිලිවෙල වෙනුවට සතුට සහ සැනසිල්ල වෙනුවෙන් පෙනී සිටින වගකීමක් තිබේ.

ජර්මනියේ විද්‍යාඥයන් කණ්ඩායමක් යුරෝපයේ ජීවත්වන විවිධ ජන කොටස් හා වෙනත් දත්ත ගණනාවක් ආශ‍්‍රයෙන් කර ඇති පර්යේෂණයක් අනුව කුරුල්ලන් වැඩි ප‍්‍රමාණයක් ගැවසෙන තැනක ජීවත්වීම හොද වැටුප් වර්ධකයකට වඩා තෘප්තියක් ඇති කරන බව ඔප්පු කර තිබේ. කාර්ය බහුලත්වය හා ජීවත්වන පරිසරයේ තිබුණ සංකීර්ණ ස්වභාවය නිසා පලාගිය සියොතුන් නැවත කැදවන අවශ්‍යතාවයක් ඇති බව මෙම පර්යේෂකයන් පෙන්වා දෙයි. පරිසරය ආරක්ෂා කරන, කුරුල්ලන් බහුලව ජීවත්වන වටපිටාවක වාසය තෝරා ගැනීම ඉතා ඥාණාන්විත බව දක්වයි. මෙහි දත්ත උපුටා දැක්වීම සුදුසුය. කුරුළු විශේෂ දහ හතරක් වෙසෙන පරිසරයක වාසස්ථානය තිබේනම් එය වාර්ෂිකය ඇමරිකානු ඩොලර් 1,806.27 ක වැටුප් වර්ධනයක් හා සමාන බව ගණන් බලා ඇත. වැඩිහිටියන් විසි හයදහසක් මෙම පර්යේෂණයට සම්බන්ධ කරගෙන ඇති බව දැක්වෙයි. හරිත පරිසරය  හා ජලාශ සහිත ප‍්‍රදේශවල කුරුලූ වර්ග වැඩි ප‍්‍රමාණයක් හදුනාගෙන ඇත. නාගරික ප‍්‍රදේශයක නමුත් කුරුල්ලන් ගැවසෙන ස්ථානවල ජීවත්වන අයවලූන් සන්තෝෂයෙන් කල්ගතකරන බව හදුනාගෙන තිබේ. එම සතුට ලබා ගන්නට වැය කළ හැකි මිල ගැන තක්සේරුවක් කළ නොහැකි නමුත් සාමාන්‍යයෙන් වැටුප් වර්ධකයක් සේ සැලකිය හැකි බව පර්යේෂණ වාර්තාව දක්වන වැදගත් කරුණකි.

නගර සැලසුම් වල දී ස්වභාවික පරිසරය වෙනස් කෙරේ. ගහ කොල හා ස්වභාවික ජලාශ අඩුවන විට කුරුල්ලෝ එම පෙදෙස් හැරයති. එහිම රැදෙන කුරුල්ලන් පවා කැදැලි තනන නමුත් බෝවීම අඩු බව දැක්වෙයි. මිනිසුන් ගැන පමණක් නොව ගහ කොළ, කුරුල්ලන් හා සියළු සතුන් සමග එකට වාසස්ථානය ඉතාම සන්සුන්, සතුටුදායක පැවැත්මක් සහතික කරයි.

අලූත් ආරම්භයක් ගැන කල්පනා කරන අප සියළු දෙනාටම වැදගත් පණිඩුවයක් මෙහි තිබේ. ඉඩම් වෙන්දේසියකින්, ඉතාම කුඩා බිම් කැබැල්ලක් මිල දී ගෙන නිවහනක් තනා ගෙන එහි තාප්ප බැද ආරක්ෂා කරගත් පමණකින් සැනසුමක් ලැබෙන්නේ නැත. විවේකයකට පිට පලාතක සංචාරයකට අවස්ථා අඩුවන විට හොදම නිවෙසක පවා දැනෙන ඒකාකාරීත්වය දරුණු බව වටහා ගත යුතුය. අත්දැකීම් වලින් පාඩමක් ඉගෙනගත යුතුය. සොබාදහම විනාශ කරන ආරත්මාර්ථකාමී පැවැත්මකින් ජීවිතයට ලැබෙන සැනසිල්ලක් නැත. තවත් දින දහයකට අඩු කාලයකින් උදාවන නව වසරේ අනාගතය වෙනුවෙන් කුරුල්ලන්ට එන්නට දොරටු විවර කළ යුතුය.