2020/12/16 – ලංකාදීප

අලූතින් උපදින දරුවෙකුට මහත් ආදරයක් දක්වන හා සමානව ජීවිතක්ෂයට පත්වන පුද්ගලයෙකුගේ දේහයට ලැබෙන්නේ ද බලවත් ගෞරවයකි. උස් පහත්, ජාති ආගම් බේද පැත්තකින් තබමු. අහිමිවෙන්නේ මනුෂ්‍ය ජීවිතයකි. ජීවත් වූ සමාජ පසුබිමට වඩා තරමක් උසස් ගෞරවයක් අවසන් ගමනේ දී පිරිනැමේ. යුද බිමේ දී ඝාතනය වන සතුරු පාර්ශවයේ දේහ පවා ගෞරවාන්විතව හුවමාරු කරගන්නට තරම් විනයක් සහිත යුගයක අප ජීවත්වෙමින් සිටී.

භයානක වසංගත තත්ත්ව හමුවේ මරණයට පත්වන මිනිසුන් ගේ අවසන් කටයුතු සිදුකරන ආකාරය ගැන අමිහිරි සිද්ධි ලෝක ඉතිහාසයේ සනිටුහන්ව ඇත. කොවිඞ් -19 වයිරසයේ තියුණු බලපෑම සියළු සාරධර්ම වලට අභියෝග කර තිබේ. විද්‍යාව හා තාක්ෂය දියුණු අද වැනි කාල පරිච්ඡේදයක ජන අනන්‍යතාවලට ගරු කරන වගකීමක් අප සියළු දෙනාටම තිබේ. ඉස්ලාම් පුද්ගලයන් කොවිඞ් ආසාදනය වී ජීවිතක්ෂයට පත් වුවහොත් ඔවුන්ගේ අවසන් කටයුතු සම්බන්ධයෙන් අනුගමය කරන විධිවිධාන ගැන බලවත් විවාදයක් ඇත. අනොන්‍ය අවබෝධයක් ඇති, සමාජ සංස්කෘතින් ට ගරු කරන උසස් සමාජයක් වශයෙන් මධ්‍යස්ථ විසදුමකට එළැඹීම සුදුසුය.

බෞද්ධ, හින්දු, කිතුනු හා ඉස්ලාම් පමණක් නොව අනෙක් ආගම් වල ද මරණයෙන් මතු ජීවිතය ගැන විශ්වාසයක් පවතී. අවසන් කටයුතු කෙරෙන ආකාරය ගැන එකගතතා තිබේ. ඒවායේ ඉතිහාසය සංකීර්ණය. සත්‍යය අසත්‍යතාව පැත්තකින් තැබිය යුතුය. ඒකමතික තීරණය නුසුදුසුය. අසල්වැසියාගේ මරණය සංහිදියාව ඇති කරන පියවරක් බවට හරවා ගැනීම සුදුසුය.

ඉස්ලාම් ආගමිකයන්ගේ දේහය එක දිනයකින් ඉතා සරල පියවරක් අනුගමය කර සුසාන භූමියෙහි තැන්පත් කරන්නට පදනම් වන හේතුවක් තිබේ. කොව්ඞ් වයිරසය ඇතිවී ඇති අනතුරු සලකා සිරුරු ආදාහනය කිරීමට තීරණය කිරීම එම හේතුවලට අභියෝග කිරීමකි. බලය අභිමුවෙහි අසරණ වන නමුත් ඉවසීම කෙළවර විය හැකි තැනක් තිබේ. වෛරය ඇති විය හැකිය. ලෝකයේ අනෙක් රටවල භූමදානයට ඉඩ දී ඇත. ශ‍්‍රී ලංකාවේ ඉස්ලාම් ආගමිකයන්ට කර තිබෙන අවහිරය ප‍්‍රශ්නයකට තුඩු දිය හැකිය. තම මතු ආත්මයට ලැබෙන සැනසීම ගැන අවිනිශ්චිතව ජීවත්වන මුස්ලිම් ජන ප‍්‍රජාව ගේ හැගීම් වටහා ගැනීම ඉතාම වැදගත්ය. 

සිරුරු මහපොලවේ තැන්පත් කිරීමෙන් ජල මුලාශ‍්‍ර වලට වයිරස එකතු විය හැකි බව ඇතැම් විශේෂඥ මතයකි. සිරුරු වලින් පමණක් නොව මල මුත‍්‍ර හෝ ඛේඨය මගින් ද වයිරසය ජල මුලාශ‍්‍ර වලට බැහැර වෙන්නට බැරි කමක් නැති බව මැදහත් විශේෂඥයන් දක්වන අදහසකි. එය බැහැර කළ නොහැකි සියුම් තර්කයකි. කොවිඞ් -19 වයිරසයට ආසාදනය වන අයවලූන්ගේ ශරිරයෙන් බැහැරවන දේ ජල මුලාශ‍්‍ර වලට එකතුවීමට ඉඩ ඇත. එය මළ සිරුරරක ක‍්‍රියාකාරීත්වයෙන් සිදුවිය හැකි හානියට වඩා බලවත්ය. ලෝක සෞඛ්‍ය සංවිධානය පවා ඉස්ලාම් ආගමිකයන්ගේ අවසන් කටයුතු වලට අවහිර නොකරන තීරණයක් ගෙන තිබෙන අතර අන්තවාදී මතයකින් බැහැර, බුද්මධිත්ව කටයුතු කරන වගකීමක් රටට තිබේ. අවස්ථාවාදී දේශපාලන විරෝධතා දුරු කළ යුතුය. යහපත් සමාජ ද්‍රෘෂ්ඨිවාදයක් පතුරවන ව්‍යායාමකට හරවා විය යුතුය.

කොවිඞ් වසංගත තත්ත්වය අභිමුවෙහි හැසිරෙන අන්දම පමණක් නොව එය තුරන් කිරීමෙන් පසු එකට ජීවත්වන දිනය ගැන ද අවධානය යොමු කිරීම සුදුසුය. කිසිම ආගමික ශාස්තෘවරයෙකු අනෙක් ආගමික පවතින විශ්වාස බැහැර කළේ නැත. බුදු රජාණන් වහන්සේ, දහම දේශණා කරන කාල වකවානුවේ පවා අන්‍ය ආගම් විශාල ප‍්‍රමාණයක් තිබුණි. සත්‍යය අවබෝධ කරදීම හැර අන්තවාදයකට ඉඩක් බුද්ධ දේශණාවේ තිබුණේ නැත. එකට ජීවත්වන සමාජ අතර ඇතිවන යම් යම් පළුදු දරුණු අන්තවාදයක් තෙක් ගමන් කළහොත් ඇතිවිය හැකි විනාශය ගැන පරෙස්සම් විය යුතුය. රටට උගත් පාඩම් තිබේ. සෑහෙන අත්දැකීම් සම්භාරයක් ඇත. කුඩා ගිණි පුළිගු වලින් හටගත් ත‍්‍රස්තවාදය පසුව මරාගෙන මැරෙන මහා ගින්නක් දක්වා පැතිරී ගිය බව රටට අමතක නැත. ජීවිතක්ෂයට පත්වන කොවිඞ් ආසාදිතයන්ගේ දේහයන් ගැන අවසන් කටයුතු කෙරෙන අනන්‍යතා ගැන අප සියළු දෙනා එකගතාවයකට පැමිණීම අවශ්‍යය.