2020/12/09 – ලංකාදීප

කොවිඞ් -19 වයිරසයේ පැතිරීම එදිනෙදා පැවැත්ම වෙනස් කර තිබේ. සම්බන්ධතා කෙරෙහි තද බලපෑමක් කර ඇත. කණ්ඩායම් හැගීම හෝ එකමුතු භාවය වෙනුවට සමාජ දුරස්ථභාවය කෙරෙහි වැඩි අවධානයක් පවතී. මෙම වයිරසය, ඇති නැති පරතරය නොසලකා දියුණු නොදියුණු සෑම සමාජයක්ම ආක‍්‍රමණය කර ඇත. අලූත් වාර්තා අනුව කොවිඞ් සදහා එන්නතක් සොයා ගෙන තිබේ. කණ්ඩායම් සිය ගණනක් ඉතාම වේගයෙන් කරන ලද පරීක්ෂණ අවසානයේ සාර්ථක ප‍්‍රතිඵල ලැබී ඇත. එන්නත භාවිතාව සමග සමාජ පරතරය ඇති කරන අවදානමක් හටගෙන තිබේ. තරාතිරම නොසලකා පැතිර ගිය වයිරසය මැඩ පවත්වන පියවර ඉදිරියේ ධනය හෝ බලය මතුවිය හැකි ලකුණු පහල වි ඇත.

එන්නත වහාම ලෝකයේ සියළුම දෙනාට එකවර ලබා දෙන්නට හැකියාවක් නැත. අවදානමක් ඇති ජන කොටස සහ අනාරක්ෂිත පිරිස තෝරා ගන්නට වෑයම් කරන බව පෙනේ. ලෝක සෞඛ්‍ය සංවිධානය හා අදාල බලධාරීහු යාන්ත‍්‍රණයක් සකස් කරමින් සිටිති. සෞඛ්‍ය කාර්ය මණ්ඩලය, සේවා සම්පාදකයන්, ආරක්ෂක අංශ ඇතුළු අයවලූන් අවදානමක් සහිත කොටස සේ සැලකේ. වයස්ගත ජනගහනය සහ බරපතල අනෙක් රෝගයකින් පීඩා විදින පිරිස අනාරක්ෂිතයන්ය. තෝරාගත් අය සදහා පළමුවෙන් එන්නත ලබා දිය යුතු බව ප‍්‍රකාශ වී ඇත. ඇමරිකාව, චීනය, බි‍්‍රතාන්‍ය, කියුබාව, සිංගප්පූරුව හා රුසියාව ඇතුළු රටවල එන්නත් සාර්ථක වි ඇත. විශ්වාසය සම්බන්ධ ගැටළු නිරාකරණයට ජන නායකයෝ ඉදිරිපත් වී සිටිති. රැසියාවේ ජනාධිපතිවරයා සහ පවුලේ අය එරට එන්නත ලබාගත් බව ප‍්‍රචාරය විය. ඇමරිකාවේ හිටපු ජනාධිපතිවරුන් තිදෙනෙකු එන්නත පළමුවෙන් ලබාගෙන විශ්වාසයක් ඇති කරන බව ප‍්‍රකාශ වී තිබේ. එවැනි පියවර අගය කළ යුතුය.

එන්නත පළමුවෙන් ඇනවුම් කරන තරගයක් ඇති බව පෙනේ. ධනවත් රටවල් බිලියන ගණනින් එන්නත් වාර මිල දී ගැනීමට සූදානම්ය. දිළිදු රටවල් අසරණව බලා සිටිති. දියුණු හා නොදියුණු රටවල්වල ධනය ඇති ජන කොටස පුද්ගලික රෝහල් වලට මුදල් ගෙවා එන්නත සහ විශේෂිත ප‍්‍රතිකාර පහසුව ලබා ඇත. වැඩිම අවදානමක් ඇති කිසිවක් කරකියාගත නොහැකි ජනී ජනයා භීතියෙන් සිටිය දී ‘‘ධනියගෝපාල සමාජයක් ’’ නිර්මාණවීම ෙවිදනාවකි. වසරප‍්‍රසාද සහිත සමාජයක නරක ලක්ෂණ වැඩිදියුණු වන බව දැක්විය හැකිය.

අවදානම උස් පහත්වන පමණක් නොව දෙවැනි රැල්ලක ව්‍යාප්තියක් දක්වන ශ‍්‍රී ලංකාව සිටින තැන ගැන අවධානය යොමු කළ යුතුය. වයිරසය ආසාදිත ප‍්‍රමාණය වේගයෙන් වර්ධනය වෙමින් තිබේ. සුවය ලබන පිරිස ද සැලකිය යුතුය. ජීවිතක්ෂයට පත්වන පිරිස, අනෙක් රටවල වාර්තා සසදනවිට අඩු බව නිරීක්ෂණය කළ හැකිය. එහෙත් ශ‍්‍රී ලංකාවේ ජනගහනය වයස්ගත වෙමින් තිබේ. රෝග වලක්වා ගැනීමේ ශඛ්‍යතාව දියුණු නමුත්, එකවර විශාල රෝගීන් ප‍්‍රමාණයකට ප‍්‍රතිකාර කිරීමේ ධාරිතාවයක් නැත. පරෙස්සමින් කටයුතු කිරීමේ අවශ්‍යතාව අවධාරණය කරන අතර නිනි උපදෙස් අනුගමනය කිරීම ඉතාම වැදගත් බව මෙහි දී පෙන්වා දිය යුතුය.

වයිරසය සදහා ප‍්‍රතිකාර ගැන විවිධ අදහස් තිබේ. පෙරුම්කායම්, කොත්තමල්ලි වල සිට දේශීය අත්හදා බැලීම් අයහපත් නැත. යම් ප‍්‍රතිශක්තිකරණයක් විය හැකි අතර චිත්ත ධෛර්යය ඇති කරන බව නිසැකය. වෛද්‍ය විද්‍යාව දියුණු සහ තාක්ෂණික භාවිතාවක් සහිත සමාජයක තිබිය යුතු සූදානම මෙහි දී වැදගත්ය. ගතානුගතික ආකල්පවලින් ගැලවී ප‍්‍රායෝගික විය යුතුය. දියුණු වෙමින් පවතින රටක් වශයෙන් ජන සමාජය සුරක්ෂිත කරනු සදහා ගත හැකි පියවර වෙනුවෙන් ප‍්‍රමාද විය යුතු නැත. කොවිඞ්-19 එන්නත ගැන අවධානය යොමු කිරීම සෞඛ්‍ය විශේෂඥයන්ගේ වගකීමකි. යුතු පියවර ගැන රජයට නිර්දේශ ඉදිරිපත් කළ යුතුය. මිල දී ගැනීම හෝ සමාජයේ තෝරාගත් කොටස් වලට ලබාදෙන ක‍්‍රමවේද සකස් කිරීමට යහුසුළු විය යුතුය. සමහර වර්ග අධිශීත තත්ත්ව යටතේ ගෙන්විය යුතු අතර තවත් වර්ග විශේෂ උපදෙස් සහිතය. මේවා සොයා බලා රටට ගැලපෙන එන්නත සූදානම්කිරීම සුදුසුය.

ඉන්දියාව සැලැස්මකට අනුව ගමන් කරමින් සිටී. බංගලා දේශය එන්නත් මිලියන ගණනක් දැනටමත් ඇනවුම්කර තිබේ. පී.සී.ආර්. පරීක්ෂණ හා ප‍්‍රතිදේහජනක පරීක්ෂණ ගැන පසුගිය කාලයේ මෙරට තිබුණ ආන්දෝලනය අමතක නැත. දේශපාලනඥයන් පමණක් නොව විශේෂ වෛද්‍ය කණ්ඩායම් පවා පිල් බෙදුණි. වාද කළේය. එවැනි අවාසනාවන්ත තත්ත්ව තුරන් කර ජිවිත බේරා ගැනීම සදහා අධිෂ්ඨානශීලීව පියවර ගත යුතු තීරණාත්මක මොහොත උදා වී තිබේ.