දියර කිරි නිෂ්පාදනය නංවන පියවර සම්බන්ධයෙන් බතල කොළ කටින් හිටවන හපන්කම අපට තිබේ. කිරි පිටි මිල වැඩිවන විට ජන ඝෝෂාව ඇවිලෙයි. පිටරටින් ගෙන්වන්නට යන වියදම පාලනය කරගත නොහැකි වූ විට පාලකයෝ නොයෙක් අර්ථකථන දක්වති. දුර දිග බලන සැලැස්මකට අනුව, වැඩ පිලිවෙලක් තිබුණි නම් අද වන විට කිරි ආහාර වලින් ශ්‍රී ලංකාව පොහොසත්ය. පාන්දර අවදි වී තේ හදන්නට ලිප ගිනි ඇවිලවීමෙන් පසු, වේලකට සෑහෙන කුඩා පිටි පැකැට් එකක් ගන්නට වෙළද සැලට යන තරමට ප්‍රශ්නය ව්‍යාකූල වී තිබේ. දශක හත අටකට කලින් ඇති තරම් කිරි ආහාර තිබුණ රටක් අවසානයේ දී පත් ව ඇති තැන ශෝක ජනකය.

ආණ්ඩු ගණනාවක් කිරි වලින් රට පොහොසත් කරන උත්සාහ ගෙන තිබේ. පුද්ගලික අංශයේ ව්‍යවසායකයෝ ද ප්‍රයත්නයක නොයෙදුනා නොවේ. දේශීය ආයෝජකයන් සමග එකතු වූ විදේශීය සමාගම් මගින් ද වෑයම් කර ඇත. කිරි පිටි ගෙන්වන්නට බිලියන ගණන් මුදල් වැය කෙරේ. ලබන වසර සදහා අය වැය ද දේශීය කිරි ගොවියා ශක්තිමත් කරන යෝජනාවක් ඉදිරිපත් කර තිබේ. ඉතාම වැදගත් පියවරකි. දෙනුන් සැපයීමෙන් හෝ අතට දෙන අඩු පොලී ණය මුදලකින් පමණක් කාරිය කෙරෙන්නේ නැත. ගව සම්පත දියුණු කරන ප්‍රායෝගික සැලැස්ම මෙරට ආර්ථික සහ සමාජ ප්‍රතිපත්ති වලට අනුව ගලපා ගැනීමට හැකියාවක් තිබිය යුතුය.

පොහොර හා කිරි අවශ්‍යතාවයට එල ගවයන් ඇති කළ එකල කුඹුරු අස්වද්දන්නට මහත් ප්‍රයෝජනයක් ගත්තේ මී ගවයන්ගෙන්ය. මී කිරි නිෂ්පාදන කළේ ද මී දෙනුන්ගේ කිරිවලින්ය. භාණ්ඩ ප්‍රවාහනයට ද, ගමන් බිමන් වලට ද කරත්තවල බදින ලද පුහුණුකරන ලද එල ගවයෝ යොදා ගත්හ. හණ තැබීම, ලාඩං ගැසීම, ගෙජ්ජි බැදීම පමණක් නොව ගැල් බැදගෙන කරන බඩු ප්‍රවාහනය ද මෙරට ජන සංස්කෘතියේ වැදගත් කොටසක් විය. කුඹුරට මැසිම යොදවා අස්වද්දන අතර භාණ්ඩ ප්‍රවාහනයට මෝටර් රථය එකතු  වී තිබේ. ගමන් බිමන් වෙනුවෙන් කරත්තයක් දකින්නට නැත. ගවයන් ඇති කිරීමෙන් ලබන අතුරු වාසි ගිලිහෙන සමාජයකින් කිරි දොවා ගැනීමට පමණක් ආදායමක් ඉපැයිය නොහැකිය. වානිජ වශයෙන් කිරි නිෂ්පාදනය කරන රටවල එයට සමාන්තරව මස් නිෂ්පාදනය ද කරගෙන යන බව සදහන් කළ යුතුය. පස් පවු වලින් වැලකී සිටින බෞද්ධ ජනතාව බහුලව ජීවත්වන රටක කිරි පමණක් ලබාගෙන මස් නිෂ්පාදනය අත්හැර ගවපාලනයෙහි යෙදීම පහසු නැත. ගව ඝාතනය නීතියෙන් තහනම් කරන නීති පනවන ලද කාලවකවානුවක් බව ද මතක් කර දිය යුතුය. කිරි නිපදවීමට ගවයන් ඇතිකරන ගොවියෙකු අවසානයේ දී මුහුණ දෙන ප්‍රශ්න අතර වියපත් ගවයන් නඩත්තුව ද අතිරේක බරක් විය හැකිය.  

ඉන්දියාවේ ශ්වේත විප්ලවය කලාපයේ කටයුතු සම්බන්ධව ආදර්ශයකි. එරට ජාතික කිරි දිනයක් තිබේ. ආචාර්ය වාර්ගේෂ් කුරීන් ඉන්දියාවේ ක්ෂීර විප්ලවයේ පියා සේ සලකන අතර ඔහු සිහිකරමින් කිරි දිනය වාර්ෂිකව පවත්වයි. ලෝකයේ විශාලතම කිරි ගොවි පොල සංවර්ධන ව්‍යාපෘතිය ඇරඹෙන්නේ කුඩා ගොවියන්ගෙන්ය. එපමණක් නොවේ අද ලෝකයේ විශාලතම කිරි නිෂ්පාදනය කරන තැනට ඉන්දියාව කැදවන පියවරක් විය. කිරි සමිති පිහිටුවන ලද අතර පසුව එය කිරි ගොවි සමූපකාරයක් බවට හැරවීය. දිනපතා එකතු කරන දියර කිරි කම්හල්වලට යැවෙන පියවර අවසානයේ රට පුරා බෙදා හැරෙති. කිරි පානය කිරීම සෑම ඉන්දියානුවෙකුගේ ම දෛනික ආහාරයේ වියදම අඩු සහ ඉතාම වැදගත් පෝෂණීය කොටසක් වී තිබේ. මිලියන සංඛ්‍යාත පිරිසක් කිරි නිෂ්පාදනය ආශ්‍රිත වෘත්තීන් හි නිරතය. අපනයනය හෙයින් එරට විදේශ ආදායමෙන් කොටසක් බව ද සදහන් කළ යුතුය.

සත්ව පාලනයෙහි නිරත පිරිස තෝරා ඔවුන් කිරි ගවයන් ඇති කිරීමට නැඹුරු කළ හැකිය. රටට අවශ්‍ය තරම සලකා බලා දියර කිරි නිපදවන්නට බැරිකමක් නැත. පර්යේෂකයන් ඉදිරිපත් කරන කරුණු වලට මතධාරීන් එකතු විය යුතුය. අවශ්‍ය පහසුකම් සලසන තීරණ ඉතා වැදගත්ය. ඉඩම් හා තෘණ භූමි සම්බන්ධ ගැටළු පවතී. මුලින් සදහන් කළ කරුණු අතරට ඒවා ද එකතු විය යුතුය. කිරි ගොවියන්ට ඉඩම් නැත. ආයෝජනයට ඉදිරිපත් වන පිරිසට ද එය ප්‍රශ්නයකි. අවශ්‍ය ඉඩම් පවරන  තීරණ ගැනීම අවශ්‍යය. කුඩා ව්‍යවසායකයන් පමණක් නොව ඔවුන් සම්බන්ධ කෙරෙන මහා පරිමාන ගොවිපොල ක්‍රමයක් ද අවශ්‍ය වනු ඇත