2020/11/11- ලංකාදීප
සාමාන්‍ය ජන ජීවිතය ගැටළු සහගත තැනකය. ජීවත්වීම පමණක් නොව ජීවිතය ගැන ද අවධානය යොමු කරන්නට සිදුවී තිබේ. දෙවැනි වතාවට කොවිඩ් රැල්ලක් නැගී ඇති අවස්ථාවක ජීවිත ආරක්ෂා කරගෙන ජීවන සටනට මුහුණ දිය යුතුව ඇත. විශේෂඥ වාර්තා අනුව වසර දෙකක් පමණ ෙඉදිරියට කොවිඩ් -19 වසංගතය සමග පවතින්නට සිදුවිය හැකිය. එවැනි අනාවැකි තිබිය දී දීර්ඝ කාලයක් රට ලොක් වඩුන් කිරීම ප්‍රායෝගික නැත. 

රටවල් හා සංවිධාන ගණනාවක් කොවිඩ් වයිරසය ස`දහා එන්නතක් සොයා ගැනීමට පර්යේෂණ කරමින් සිටී. ඉන්දියාව, චීනය, සිංගප්පූරුව, රුසියාව හා කියුබාව ඇතුළු රටවල් ගණනාවක් කොවිඩ් ස`දහා එන්නත් නිපදවීම ආරම්භ කර ඇති අතර සායනික මටට්මින් භාවිතා කෙරේ. එන්නත් අලෙවිය ආරම්භ වී ඇත. මිලියන ගණනින් ඇනැවුම් කරන බව අනාවරණය වෙයි. පළමු වටයේ දී එය මිල අධික විය හැකිය. එහෙත් තම පුරවැසියන්ගේ ජීවිත ආරක්ෂා කරගැනීමේ චේතනාව ඇති රටවල් යුහුසුළු වී තිබේ. අසල්වැසි ඉන්දියාව මහා පරිමානයෙන් ඖෂධ වානිජ වශයෙන් නිපදවන රටකි. ලෝකයේ එන්නත් වලින් සියයට හැටක් පමණ එහි නිපදවෙන බව දැක්වෙයි. ජාත්‍යන්තරව පිලිගත් කොවිඩ් එන්නත නිපදවීම අරඹා ඇති ඉන්දියාව එය සමීප රටවලට නිකුත් කරන්නට තීරණය කර තිබේ. 


කොවිඩ් මර්දනයෙහි නිරත ඉදිරිපෙල කාර්ය මණ්ඩලයට සහ රෝගයෙන් අවදානමක් ඇති පිරිසට වහාම එන්නත ලබා දීමට පියවර ගැනීම රජයේ වගකීම වනු ඇත. අධිශීතරක පරිසරයක ප්‍රවාහනය කර මාත්‍රා දෙකක් අවස්ථා දෙකක දී ලබා ගැනීමෙන් ප්‍රතිශක්තිකරණයක් ලැබෙනබව තහවුරු වී තිබේ. දැනට අවම වශයෙන් මෙරට ජනගහනයෙන් සියයට විස්සකට එනම් මිලියන පහක ජන කොටසකට එන්නත් ලබා දිය යුතු යැයි ලෝක සෞඛ්‍ය සංවිධානය නිර්දේශ කර ඇත. එය පහසු කාර්යයක් නොවන අතර විශාල පිරිවැයක් දැරිය යුතු හා ලෝක තරඟකාරීත්වය ඉදිරියේ ඉක්මනින් කරගත යුතු කාර්යයක් බව සඳහන්කළ යුතුය. බංගලාදේශය දැනටමත් ලෝක සෞඛ්‍ය සංවිධානයේය අනුමැතිය ලැබූ ඉන්දියාව නිපදවන එන්නත් මිලියන තිහක් ඇනවුම් කර තිබේ. 


සාමාන්‍යයෙන් සිදුවන පරිදි කොවිඩ් එන්තත් කිරීම හා ඒවා මිල දී ගැනීම ගැන ඉදිරියේ දී සෑහෙන වාද විවාද ඇති විය හැකිය. වෛද්‍ය විශේෂඥයන්, වෘත්තීය සමිති පමණක් නොව දේශපාලනඥයෝ ද එහි කොටස් කරුවෝ වෙන්නට ඉඩ තිබේ. මාධ්‍ය සහ සමාජ මාධ්‍ය අවුලවනු ඇත. මැතක සිද්ධි එයට හොද උදාහරණයකි. පටු ආකල්පයෙන් කරන අවලාද අවංක අභිලාශයන් ද අධෛර්යයට පත් කරන්නට ඉඩ තිබේ. එය භයානකය. තීරණාත්මක අවස්ථාවේ දී අනවශ්‍ය වාද අතහැර ජනතාවගේ ජීවිත ගැන තීරණ ගැනීමට දෙවතාවක් කල්පනා කළ යුතු නැත. රට වෙනුවෙන් සහ රටේ ජනතාව වෙනුවෙන් තීරණ ගැනීමේ දී ඉලක්කයකට අනුව කාර්යක්ෂමව ක්‍රියා කළ යුතුව ඇත. බලවත් රෝග වලින් ජනතාව ගලවා ගැනීමේ එන්නත් ක්‍රම සාර්ථකව භාවිතා කළ රටක් වශයෙන් ශ්‍රී ලංකාව ඉතිහාසයට එක්ව ඇත. පෝලියෝ සහ මැලේරියාව මර්දන වැඩ පිලිවෙල ජාත්‍යන්තරයේ පැසසුමට ලක්විය. කොවිඩ් එන්නත සම්බන්ධයෙන් ද ප්‍රමාදයකට හේතු අනවශ්‍යය. ඉක්මන් තීරණ ගෙන යුහුසුළුව වැඩ කරන්නට සෞඛ්‍ය අංශ වලට නිසි බලය පැවැරීම සුදුසුය. නියාමනය හා නිසි රෙගුලාසි යටතේ පුද්ගලික අංශයට ද විවෘත කළ යුතුය.


ජනතාවට ආරක්ෂක පියවර අනුගමනය කරන සේ තද අවවාද කරන රජය අවදානම අඩු ස්ථාන වල රට විවෘත කරන තීරණ ගෙන තිබේ. සෞඛ්‍ය කාර්ය මණ්ඩලය හා ආරක්ෂක අංශවල කැපවීම එකී තීරණ පිටුපස ඇත. සිය ජීවිත අවදානම පවා නොතකා ඉතා වගකීමෙන් ක්‍රියා කරන පාර්ශව වලට පැසසුම හිමිවිය යුතුය. ඔවුහු නිරත මෙහෙවර උදෙසා කොවිඩ් එන්නත්කරණය නිසි වටිනාකමකි. සෑහෙන පිටිවහලකි. අකාලයේ ජීවිතයක් අහිමිවීම අතිශය වේදනාබර මොහොතක් බව නොකිවමනාය. ජනතාව ව්‍යසනයෙන් ගලවා ගැනීම හැර අනෙක් පියවරක් ගැන මෙම මොහොතේ වාදයක් තිබිය යුතු නැත.