04/11/2020- ලංකාදීප


සාමාන්‍ය ජන ජීවිතය වෙනදා මෙන් ගත වෙන්නේ නැත. කොවිඞ් -19 වයිරසයේ ව්‍යාප්තිය රට මුහුණ දෙන අර්බුදයකි. රැකී රක්ෂාවල නිරතවීම අවහිර වී තිබේ. වැඩට යන්නේ කවදාදැයි ඇගිලි ගණින පිරිසක් පමණක් නොව සේවයට නොයන නමුත් වැටුප නිසි පරිදි ලැබෙන තෙක් බලා සිටින පිරිසක් ද අප අතර සිටිති. පවතින ස්වභාවය ඉක්මනින් වෙනස්වනු ඇතැයි පර්යේෂණ වාර්තා අනාවරණය කරයි. නිවසට වී සිටින අතරවාරයේ සේවා ඉක්මන් කිරීම ලෝකයේ සාමාන්‍යකරණය වී ඇත. කලින් තක්ස්රු කරන ලද වකවානුවට වඩා ඉක්මනින් රොබෝ යුගය ඇරඹෙනු ඇතැයි අපේක්ෂා කෙරේ. රට නිසොල්මන් නමුත් ලෝකයේ, දියුණු ඇතැම් රටවල ව්‍යුහය වෙනස්ය. ඉදිරි වසර පහක කාලය තුළ දැන් සේවය කරන ශ‍්‍රම බලකායෙන් හරි අඩක් නැවත පුහුණු කළ යුතු යැයි ගණන් බලා තිබේ. මෙම කාලය දුරස්ථ පුහුණුව සදහා ගැලපෙන කාල පරිච්ෙඡ්දයකි.

වැඩ කරන ජනතාවට නැවත වෘත්තීය පුහුණුව අවශ්‍ය බව කල්පනා කරන්නේ ඇයි? ලෝක ආර්ථික සංසදයේ වාර්තාවක් අනුව රොබෝ තාක්ෂණය රටවල් විසි හයක අලූත් යුගයේ රැකී රක්ෂා මිලියන අසූ පහක් බිහිවනු ඇත. එයට පසුබිම හදමින් රොබෝවරු මිලියන අනූ හතක් ද සේවයට එකතු වනු ඇතැයි සැලකේ. රොබෝ ආගමනයය හෙයින් මිනිස් ශ‍්‍රමය අවලංගු වනු ඇති අතර රැකියා අහිමි වියහැකි බවට පැවැති භීතිය අනෙක් පැත්තකට හැරී තිබේ. අලූතින් කරන ලද සමීක්ෂණයකට අනුව සියයට හතලිස් තුනක පිරිසක් තම රැකියා අවදානම ගැන හිතන අතර සියයට තිස් හතරක් දෙනා අලූතින් වෘත්තීය අවස්ථා වලට නැඹුරු විය හැකි වෙතැයි විශ්වාස කරති. ඩිජිටල්කරණයකට සූදානම්ව සිටින පිරිස සියයට අසූහතර ඉක්මවන බව මෙම වාර්තාව පෙන්වා දෙයි.


ඩිජිටල්කරණයකට සූදානමක් නැති සහ එම පරිවර්තනය හමුවේ තමන්ට අවස්ථා අහිමිවන බවට සැක කරන සමාජ ලෝකයේ තැනින් තැන ඇත. ශ‍්‍රී ලංකාව අයිතිවිය යුතු තැන ගැන දැන් තීන්දු කළ යුතුය. අනාගතයේ ඇතිවන අවස්ථාවලින් උපරිම ප‍්‍රයෝජන ගැනීමට කල්තබා පියවරක් නොගතහොත් නැවත වටයකින් ආපස්සට යන රටවල් අතර එකක් වෙන්නට ඉඩ තිබේ. එය ඉතා අවදානම් සහගතය.
ඉදිරි වසර පහ තුළ සිය ශ‍්‍රම බලකාය නැවත පුහුණු කරන සැලසුම කි‍්‍රයාවට නැගිය යුතු බව සිතන රාජ්‍ය හා පුද්ගලික අංශයේ ව්‍යවසාය විශාල ප‍්‍රමාණයක් ගැන අනාවරණය වී තිබේ. පුද්ගලික අංශයේ ව්‍යවසාය වලින් තුනෙන් දෙකක් තම ආයෝජන නැවත බලගන්වන්නට සිදුවනු ඇති බව ගණන් බලා ඇත. එය පහසු කාර්යයක් නොවේ. කාර්ය මණ්ඩලය පුහුණු කරන්නට හා අලූත් ආයෝජනය සදහා ආණ්ඩු වලට ශක්තිය ඇත. එහෙත් පුද්ගලික අංශයේ මග හැරෙන ව්‍යාපාර හා සේවා අංශ අසීමිත බව දැක්වෙයි. මෙම අංශ නැවත බලගන්වනු සදහා පසු විපරමක් අවශ්‍යය. උවමනා කරන ප‍්‍රාග්ධන අවශ්‍යතා සම්පාදනය කර ඉදිරි තාක්ෂණික යුගයට සූදානම් කළ යුතුය. පස්වන පරම්පරාවේ රුහැන් රහිත සන්නිවේදනයට ආයෝජනය කළ යුතු අතර රූපවාහිනි සේවා ඩිජිටල්කරණය කළ යුතුවේ. මෙම තීරණ ඉතා සංකීර්ණ බව නිසැකය. කළ යුතු වෙනස්කම් තෝරා බේරා ගැනීම අපහසුය. එහෙත් ලෝක ආර්ථික සංසදය පෙන්වා දෙන කරුණු කෙරෙහි අවධානය යොමු කළ යුතුව තිබේ. ශ‍්‍රම බලකායෙන් කොටසක් මෙවැනි පැති කෙරෙහි නැවත පුහුණු කිරීම බලවත් අවශ්‍යතාවයකි.


එක පැත්තකින් රාජ්‍ය ආර්ථිකය දුබල තැනක සහ පුද්ගලික අංශය ආයෝජන ශක්තියෙන් හීන අවස්ථාවක අනාගතයේ එළැඹෙන ව්‍යුහය ගැටළුකාරී එකක් වනු නොඅනුමානය. කොවිඞ් වසංගතයේ පැතිරීම හා එයින් ඇති කරන පීඩනය ඉදිරියේ පවා ඉදිරි පරම්පරාව ගැන කල්පනා කිරීමට වගකීමක් අප සියළු දෙනාටම තිබේ. අත්හැර දැමිය යුතු මොහොතක් නැත. පුනරුදයක් උදෙසා නැවත හැරවිය යුතු තැන් කරා අවතීර්ණ වන්නේ කෙසේ ද යන්න සාකච්ඡා කිරීම අවශ්‍යය. රජය හා පුද්ගලික අංශය එකතු වී සමබර වැඩසටහනක් සම්පාදනය කාලෝචිතය.