2020/10 /21 – ලංකාදීප

මුළු ලෝකයම එකිනෙකට වෙනස් ගැටළු ගණනාවක සිටින අතරවාරයේ ඉතාලි වැසියෝ පාර්ලිමේන්තුවේ නියෝජනය කප්පාදු කරන තීරණයක් ගෙන ඇත. එරට පාලක පක්ෂ සන්ධානයේ යෝජනාවක් අනුව, මන්තී‍්‍ර කණ්ඩායම හා සෙනෙට් මණ්ඩලය නියෝජනය අඩු වනු ඇති අතර එය සියයට හැත්තෑවක බහුතර ඡන්දයකින් අනුමත වී තිබේ. එරට ව්‍යවස්ථාව අනුව අලූත් සංශෝධනය වෙනුවෙන් ජනතා මතය විමසිය යුතුය. ජනමත විචාරණයෙන් ජය ලැබූ සංශෝධනය 2023 මහ මැතිවරණයේ සිට ක‍්‍රියාත්මක වන බව දැක්වෙයි.

වසර තිහක ඉතිහාසය තුළ බලයට පත් වූ දේශපාලන පක්ෂයක් ඡන්ද පොරොන්දුවක් ඉටු කළ පළමු අවස්ථාව බව මෙම තීරණය ගැන සදහන් කරන විචාරකයෝ කරුණු දක්වති. බලයේ සිටින සන්ධානයේ බලවත් පාර්ශවය ෆයිව් ස්ටාර් පක්ෂයයි. මෑත කාලයේ දී දේශපාලනයේ මතුවූ බලවත් පිරිහීම පදනම් කරගෙන ජනතා අවධානය දිනාගත්තේය. මන්තී‍්‍ර නියෝජනය අඩු කිරීම එම පක්ෂයේ යෝජනාවකි. එමතීරණය අනුව 690 ක් ව තිබුණ මන්ත‍්‍රී සංඛ්‍යාව 400 දක්වා අඩු කෙරේ. සෙනෙට් මණ්ඩලය 315 කක සිට 200 දක්වා අඩු වනු ඇත. නියෝජනය අඩු කිරීමෙන් පමණක් යුරෝ බිලියනයක මුදලක් ඉදිරි වසර දහයක් තුළ ඉතිරි කරගත හැකි වනු ඇතැයි ගණන් බලා තිබේ.

කෙසේ වෙතත් මෙම යෝජනාව ගැන විවේචනය කරන ඇතැම් පිරිසක් දරන මතය වෙනස්ය. නියෝජනය අඩු කිරීමෙන් ප‍්‍රජාතන්ත‍්‍රවාදය පිරිහෙන බව දක්වා තිබේ. වියදම් ඉතිරි කරගැනීම පමණක් නොව ජනතා නියෝජනයට ඉඩ අහිමිවීම ගැන ද කල්පනා කළ යුතු බව දක්වා ඇත.

බලවත් දේශපාලන අර්බුද ගණනාවකට පසු එරට දක්ෂිණාංශික හා වාමාංශික පක්ෂ එකතු වී ආණ්ඩුවක් පිහිටුවන්නේ කලකට පසුවය. එයට මුල් වූයේ ඉතාලියේ විහිළුකාර චරිතයක් වශයෙන් නැගී ආ බීපෙයි ග‍්‍රිල්ලෝ ගේ ව්‍යායාමයයි. හෙතෙම සංවිධානයක්, අරමුදලක්, ද්‍රෘෂ්ඨිවාදයක් හෝ මුලස්ථානයක් නැති ෆයිව් ස්ටාර්ස් ව්‍යුහය නිර්මාණය කළ අතර එය අන්තර් ජාලයෙන් ජනතාව අතරට ගියේය. මැතිවරණයෙන් ජය ගත් නමුත් ආණ්ඩු බලය සදහා ප‍්‍රමාණවත් ආසන සංඛ්‍යාවක් රහිත අවස්ථාවක විශ්ව විද්‍යාල මහාචාර්යවරයෙකු වූ ජුසෙෆේ කොන්ටී අගමැතිවරයා වශයෙන් නම් කර සන්ධාන ආණ්ඩුව ස්ථාපිත කළේය. ඔහුගේ ආණ්ඩුව මන්ත‍්‍රීවරු අඩු කරන යෝජනාව සදහා ජනමත විචාරණය පැවැත්වීය.

දේශපාලන ක‍්‍රම සහ දේශපාලනඥයන් ගැන ලෝකයේ කොතැනත් විවේචන තිබේ. පුද්ගල චරිත ගැන අප‍්‍රසාදයක් ඇත. ජනතාව ඉදිරියට පැමිණ බලය ඉල්ලන දේශපාලනඥයෝ බලය ලැබුණ පසු හැසිරෙන අන්දම කෙරෙහි අප‍්‍රසාදය පළකරති. වැටුප් හා වරප‍්‍රසාද කෙරෙහි නැඹුරුවන අතර බලය පාවිච්චි කරන අන්දම ගැන ද ජනතාව තුළ අසතුටක් තිබේ. එය ලෝකයේ අද දැකිය හැකි ප‍්‍රවණතාවයකි. බලවත් ප‍්‍රසාදයකින් බලයට පත් කරන ආණ්ඩු ඉතා ඉක්මනින් පිරිහෙන අතර ඇමරිකානු ජනාධිපති ඩොනල්ඞ් ට‍්‍රම්ප් හොදම උදාහරණය බව දැක්විය හැකිය.

තාක්ෂණ යුගයේ දී ප‍්‍රජාතන්ත‍්‍රවාදයට විශාල අවස්ථා ඇත. මහජනතාව නියෝජනය කරන තැන සම්බන්ධයෙන් බලවත් පරිවර්තනයකට යා හැකිය. ඉතාම ඉක්මනින් ජනතා මතය දැනගැනීමට තොරතුරු තාක්ෂණයෙන් ලබා ගත හැකි පිටිවහල ඉමහත්ය. නිවැරදිව මතය මැන ගත හැකි ක‍්‍රමයක් සකස් කරගතහොත් සුළු පිරිසක්  නගන විශාල ඝෝෂාවකින්, සත්‍ය විකෘති කිරීම ද වලක්වනු හැකිය. ව්‍යවස්ථා සංශෝධනයක් ගැන සාකච්ඡා  කරන මෙම කාලවකවානුවේදී මහජන නියෝජිතයන් ගණන අඩු කරන හා දුෂණයට හේතුවක් වන, අධික වියදම් සහිත මනාප ක‍්‍රමය ඉවත් කිරීම ගැන ද අවධානය යොමු කිරීම සුදුසුය. ඉතාලියෙන් එන පණිවුඩය විමර්ෂණය කිරීම එහිලා වැදගත් වනු ඇත.