2020/ 10/ 14 – ලංකාදීප

කොවිඞ් 19 වයිරසයේ බලපෑම ඉදිරියේ මුළු ලෝකයම ගැටළු සහගත තැනකය. එක්තරා ආකාරයකට නිසොල්මන්ය. එහෙත් නිහඩ වී නැත. අතීත උරුමය ඉල්ලා කරගෙන ගිය සටනක් තීරණාත්මක තැනකට පැමිණ තිබේ. නෙදර්ලන්ත කෞතුකාගාර දෙකක් තමන් සතු එහෙත් වෙනත් රටවලට අයත් පෞරාණික දේ ආපසු භාර දෙන්නට තීරණය කර ඇත. එය සෑහෙන කාලයක්  කරගෙන ගිය අරගලයක ප‍්‍රතිඵලයකි. නිසි නීත්‍යානුකූල ක‍්‍රමවේදයක් සකස් කළහොත් ලක්ෂයක පමණ භාණ්ඩ ප‍්‍රමාණයක් ආපසු  දෙන බව එරට කෞතුකාගාර ප‍්‍රධානීහු දෙපොලක් ජාත්‍යන්තර මාධ්‍යයට කියා තිබේ.

නොයෙක් හේතු මත රටවල් යටත් කරගෙන සිටි අධිරා්‍යවාදීහු එම රටවල නටඹුන්, චිත‍්‍ර, ස්මාරක හා පැරණි කෘති රැගෙන ගියේය. සමහර ඒවා  පොදු ස්ථාන වල ප‍්‍රදර්ශනය කෙරේ. තවත් කොටසක් පුද්ගලික අයිතියක් හෝ ආයතන වල වත්කම් වශයෙන් පවතී. වෙනත් රටවල් අයිතිකරගෙන සිටින තම ඓතිහාසික හා සංස්කෘතික මෙවලම් ගැන ශෝක වන අලූත් පරපුර ඒවා ආපසු ඉල්ලා සිටිති. නෙදර්ලන්තය නොඑසේනම් ලන්දේසී ජාතිකයෝ රටවල් යටත් කරගත් බලවත් ජාතීන් අතර එක කොටසක් පමණකි. පෟතුගීසි සහ ඉංග‍්‍රීසි ජාතිකයෝ පමණක් නොව පෙරදිග හා අපරදිග බලවත් රටවල් ද වෙති.

ලංකාවට අයත් ඉතා වටිනා පුරාවස්තු හා ලේඛන සැහෙන ප‍්‍රමාණයක් පවා අධිරාජ්‍යවාදීහු අයිතිකරගෙන ඇති බව නොරහසකි. බ්‍රිතාන්‍ය කෞතුකාගාරයේ ප‍්‍රදර්ශනයකට තබා ඇති ලංකාවට අයිති කෞතුක භාණ්ඩ එයට එක උදාහරණයකි. නැවත රටට අවශ්‍ය බව නොයෙක්වර ප‍්‍රකාශ කර ඇති නමුත් නොයෙක් හේතු අනුව ඇතැම් දේ ලැබී නැත. සංකේතාත්මකව සමහර දේ නිල වශයෙන් භාර දී තිබේ. අතීත උරුමයේ කොටස් ආපසු ලැබිය යුතු බව අවිවාදිතය. එහෙත් ඒවා ආපසු ලබාගැනීමට සකස්විය යුතු ක‍්‍රමවේදය ඉතා සංකීර්ණය.

අයිතිකරගැනීම පමණක් නොව ඒවා මතු පරපුර වෙනුවෙන් ආරක්ෂා කර ගැනීම ද වැදගත්ය. පැරණි දේ ආරක්ෂා කරගැනීම සම්බන්ධයෙන් අද රට තුළ විශාල සාකච්ඡාවක් තිබේ. පුරා විද්‍යාත්මක වටිනාකමක් සහිත ස්ථාන ගැන අවධානය යොමු වී ඇත. සමස්ථයක් වශයෙන් සලකනවිට රට තුළ ඇති ආරක්ෂා කරගත යුතු දේ රකින පිලිවෙල සම්පූර්ණයෙන්ම සාර්ථකයැයි සදහන් කරන්නට නොහැකිය. වටිනා ලිපි ලේඛන, පුස්කොල පොත් චිත‍්‍ර සහ ශිලා ලේඛන ඇතුළු දහසකුත් දේ නිසි සේ සංරක්ෂණය නොවෙන බව පෙනේ. වෙනත් රටක බලවත් පරිශ‍්‍රමයකින් ආරක්ෂා කරන දෙයක් නැවත ලබා ගැනීමෙන් පසු එවැනිම අවධානයකින් රැකබලා ගන්නට ඒවා ඉල්ලන රටවලට හැකියාවක් තිබේද යන්න ප‍්‍රශ්නයකි. දැනට අයිති කරගෙන ඇති රටවල් එසේ නොකළේ නම් මෙම සදහන් කරන වටිනාකමක් ඇති දේ වලට අත්විය හැකිව තිබුණ ඉරණම ද වෙනස් එකක් වෙන්නට ඉඩ තිබේ. එහෙයින් මෙම කාරණයේ දී සලකා බැලිය යුතු පැති ගණනාවකි.

ඉතිහාසය ආරක්ෂා කිරීම විශේෂ විෂයයකි. වැදගත් දේ රැකබලාගැනීමට නොයෙක් රටවල් විශාල ප‍්‍රයත්නයක නිරතය. බ්‍රිතාන්‍යයේ කෞතුකාගාර නඩත්තුව එක උදාහරණයකි. රජයේ වියදම පමණක් ප‍්‍රමාණවත් නැත. පුද්ගලික පරිත්‍යාග වලට අමතරව ලොතරයි අරමුදලක් පවත්වාගෙන යයි. ලොතරැයි වලින් ලැබෙන ආදායමෙන් කෞතුකාගාර, පුස්තකාල හා ලේඛනාගාර වල ඇති ඉතා වටිනා දේපොල ආරක්ෂා කෙරේ. ලොතරුයි දිනුමකින් වාසි ලබන තරමටම එයින් සැලසෙන සමාජයීය යුතුකම ගැන විශාල උනන්දුවක් තිබේ. උරුමය නැවත ලබා ගැනීමේ ප‍්‍රයත්නය වැදගත්ය. පවතින දේ ආරක්ෂා කරගැනීමට අනුගමනය කරන පියවර එයටත් වඩා වැදගත්ය.