2020.10.07 – ලංකාදීප

කොවිඞ් 19 වයිරසයේ බලපෑම තුරන් වී නැත. ව්‍යාප්තිය ආරම්භ වූ මුල් වකවානුවේ තිබුණ දැඩි භීතිය පමණක් අඩුවී තිබේ. අවදානම තුරන් වී යන තුරු පරීක්ෂාකාරී වීම සුදුසුය. ලෝකයේ නොයෙක් තැන් වලින් වයිරසය මගින් ඇතිකරන බිහිසුණු බව අනාවරණය වෙයි. ජීවිත බිලිගන්නා තරම ගැන තොරතුරු නිතිපතා අනාවරණය කෙරේ. දෙවැනි වටයකින් වයිරසය පැතිරෙනු ඇති බවට අනතුරු ඇගවීමක් තිබුණි. අවදානම එළිපත්තට පැමිණ ඇත. මාස දෙකකට පසු රට අභ්‍යන්තරයෙන් පළමු කොවිඞ් රෝගියා වාර්තා වී තිබේ. එක රෝගියා දෙදෙනෙකු වූ අතර පසුව එකම කම්හලක සේවය කළ හැට නම දෙනෙකුට ආසාදනය වී ඇති බව තහවුරු වී ඇත. ව්‍යාප්තිය පාලනය කරනු අරමුණු කරගෙන රජය විශේෂ නියෝග නැවත බලගන්වා ඇත. සෞඛ්‍ය ආරක්ෂක විධිවිධාන වලට අවනත වීම සියළු පුරවැසියන් සතු වගකීමකි.

ලෝකයේ ධනවත් හා බලවත් රාජ්‍ය වයිරසයේ බලපෑම ඉදිරියේ තර්ජනයකට ලක්ව ඇත. බලවත්ම රාජ්‍යයේ ප‍්‍රධානම පුරවැසියා වූ ඇමරිකානු ජනාධිපති, ජනාධිපති ආර්යාව හා සමීප කාර්ය මණ්ඩල නියෝජිතවරිය ගේ වෛද්‍ය පර්ක්ෂණ වාර්තා මෙම වයිරසයේ තරම අගවා තිබේ. අසල්වැසි ඉන්දියාවෙන් දිනපතා වාර්තා වන සිද්ධි ගණන ඉතාම බරපතලය. ලෝකයේ රටවල් ගණනාවක් නැවත වතාවක් ලොක් ඩවුන් නොඑසේනම් සාමාන්‍ය ජන ජීවිතය අවහිර කරන තීරණ ගැනීමේ සූදානමක බව හෙළිවෙයි. මෙම වසංගතය කෙබදු අවසානයක් කරා ගමන් කරන්නේ ද යන්න නිශ්චිත නැත. ජීවිත විශාල සංඛ්‍යාවක් අහිමි වනු ඇත. ආර්ථික තත්ත්වය අනතුරකය. සියළු රටවල සංවර්ධන වියදම් අභිබවා සෞඛ්‍ය පිරිවැය ඉහළ යන ලකණු  පහල වී ඇත. වයිරසය පරාජය කරන ප‍්‍රතිකාර සොයා විද්‍යාත්මක පර්යේෂණ සිදුවන බව ලෝකයේ දසතින් අනාවරණය වන නමුත් ඒවා භාවිතා කරන්නට ගතවන කාලය නිශ්චිත නැත. ව්‍යාප්තිය පාලනය කර ජන ජීවිත ආරක්ෂා කරගන්නට ශ‍්‍රී ලංකාව සමත්විය. නායකත්වයක් තිබුණි. සෞඛ්‍ය සහ ආරක්ෂක අංශ වෙහෙසී ක‍්‍රියා කළහ. එක තැනකින් අවධානය ගිලිහී තිබේ. ප‍්‍රවේශම් සහගත විය යුතු අවස්ථාවක දී නොසැලකිල්ලෙන් කි‍්‍රයා කිරීම ඉතා නරක ප‍්‍රතිඵල ඇති කරනු ඇත.

ලෝකයේ ඉතා දියුණු රටවල තත්ත්වය හා සසදන විට ශ‍්‍රී ලංකාව කොවිඞ් පාලනය කරන්නට සමත් වූ අතර එය ජාත්‍යන්තර අවධානයට ලක් විය. මිනිසුන් ජීවත් කරවීමේ පියවර වැදගත් බව තීරණය කර අනුගමනය කළ පිලිවෙල හෙයින් ආරක්ෂා කරගත් ජන ජීවිත ගැ න නැවත වටයකින් සලකා බලන්නට සිදුවීම තද අවධානයට ලක් විය යුතුය. කොවිඞ් වයිරසය පැතිරීම සම්බන්ධයෙන් අවදානමක් තිබුණ මුල් වටයේ දී දැඩි නීති පනවා සමාජ දුරස්ථකරණයට පියවර ගත්තේය. සහන අවශ්‍ය ජන කොටස් වලට ආධාර සැපයීය. ජනතාව නිවෙස්වලට සීමා කළේය. දේශපාලන ව්‍යුහය අභිබවා තාක්ෂණික අංශ ඉදිරියට පැමිණියේය. දිවා රාත‍්‍රී නොසලකා නිලධාරීහු ජනතාව වෙනුවෙන් වැඩ කළහ. විශේෂඥ අදහස් වලට ජනී ජනයා අවනත වූහ. රට තුළ තිබුණ සියළු බේධ හා මතවාද පැත්තකින් තබා එක අදහසකට ගොනුවූ අතර එය මෑත ඉතිහාසය තුළ වාර්තා වූ විරල සිදුවීමකි. දැනට වාර්තා වන සිදුවීම් පෙළ සලකා බලන විට නැවත වතාවක් මුල සිට ආරම්භ කරන්නට සිදුවී තිබේ.

වයිරසය තවමත් පවතින අතර සූදානම කාලෝචිතය. ජනතාව ආරක්ෂා ගන්නා අතර අනපේක්ෂිත භීතියක් අනවශ්‍යය. මුල් වටයේ දී සාර්ථකව කරන ලද පියවර  සලකා බලන විට අප සියළු දෙනා සතු වගකීම බරපතලය. අලූතින් කියා දෙන්නට අවශ්‍ය නැත. රට සකී‍්‍රය කරන පියවරක සිටිය දී නැවත වතාවක් පාසල, විභාග, කාර්යාල හා වැඩබිම අවදානම් කලාපයට තල්ලූ කළ යුතු නැත. කොතැන, කෙලෙසක කුමක් සිදුවුව ද තමන් ආරක්ෂා විය යුතුය. පාලනය කරගැනීමෙන් ලැබුණ වටිනාකම් ගිලිහී යා යුතු නැත. රෝහල් වල හදිසි  ප‍්‍රතිකාර ඒකක වලට දරාගත හැකි මට්ටම අභිබවා ගියහොත් බලවත් අනතුරකි. පක්ෂ හා විපක්ෂ මතවාද හෝ එකිනෙකාට චෝදනාකිරීම පසෙක ලා එක අරමුණකින් නැවත පරෙස්සමින් වැඩකළ යුතු බව අවධාරණය කිරීම අවශ්‍යය. නිසි පිලිවෙත් අඛණ්ඩව අනුගමනය කර සෞඛ්‍ය ආරක්ෂාව කෙරෙහි සැලකිල්ල ඉතාම වැදගත්ය. අනුන් කෙරෙහි නොව තම වගකීම හා යුතුකම ගැන හිතන්නට සුදුසු මොහොත උදා වී තිබේ.