නගරයට ඇතුළුවන බස් මගී රථයකට වෙනම මංතීරුවක් වෙන් කිරීමට රථවාහන පොලිසිය පසුගිය දා තීරණය කළේය. ක‍්‍රියාත්මක කිරීමේ දී සෑහෙන වාද විවාද හට ගැණින. අත්හදා බැලීම් ගණනාවක නිරතවිය. උදෑසන සහ සවස් කාලයේ පවතින අධික වාහන තදබදය පාලනය කරන උත්සාහයක් මෙම පියවර තුළ තිබුණි. වාහන තදබදය කොළඹට හෝ මෙරට අනෙක් ප‍්‍රධාන නගරයකට සීමා වූ එකක් නොවේ. ලෝකයේ සෑම රටකම අඩු වැඩි වශයෙන් වාහන තදබදය පවතී. එය මගහරින විවිධ ක‍්‍රම අත්හදා බලති.

අධික තදබදය කාලය නාස්ති කරන හේතුවක් පමණක් නොවේ. වාහන වල ඉන්ධන දහනය බරපතල පරිසර විනාශයකි. පැරිස් නගරාධිපතිනිය තෝරා ගත් ප‍්‍රදේශයක් පාපැදි වලට පමණක් සීමා කර තිබේ. සැතපුම් තිහක පාපැදිවලින් පමණක් යන එන ප‍්‍රදේශයක්  නම් කර ඇත. පසුව එය සැතපුම් 620 ක් දක්වා ව්‍යාප්ත කරන්නට සැලසුම් කර තිබේ. වාහන ගමනාගමනය තහනම් කරන මෙම ප‍්‍රදේශවල සැරි සරන ජනී ජනයා ඉමහත් අස්වැසිල්ලක බව අනාවරණය වෙයි. අධික තෙහෙට්ටුව හා මානසිකක විඩාව අවම කර සැනසිලිදායක බවක් ඇති කර තිබේ. පාපැදි මංතීරු හදා වාහන තහනම් කිරීම ශ‍්‍රී ලංකාවේ දී ප‍්‍රායෝගික නොවන්නට ඉඩ ඇත.

ජාත්‍යන්තරයෙන් වාර්තා වන තවත් කරුණක් අවධානයට ගත යුතුය. ලෝකයේ ප‍්‍රධාන නගර එකසිය පනහක් පමණ පොදු ප‍්‍රවාහනය ගාස්තු රහිත බවට හරවා ඇත. එය ආරම්භ කළේ ලක්සම්බර්ග් නමැති කුඩා රාජ්‍යයයි. බස් හා දුම්රියවල ගමන් කිරීමේ දී ගාස්තු අය කිරීමක් නැත. පුද්ගලික වාහන භාවිතා කිරීමෙන් සිදුවී ඇති ව්‍යසනය එරට පාලකයෝ  මැනැවින් අධ්‍යයනය කර තිබේ. පුද්ගලික වාහන භාවිතය වැඩි ලක්සම්බර්ග් රාජ්‍යයේ තොරතුරු වලට අනුව පසුගිය වසර විසි පහ තුළ ඉතාම අඩු ආර්ථික වර්ධනයක පැවැතිණ. එයට හේතුව මහ මගට කාලය නාස්ති කිරීම බව දැක්වෙයි. දැන් එය වෙනස්  වී තිබේ. ඇමරිකාව, චීනය, ඔස්ටේ‍්‍රලියාව, බ‍්‍රසීලය, පින්ලන්තය සහ බෙල්ජියම ඇතුළු රටවල තෝරා ගත් නගර සිය ගණනක් පවා පොදු ප‍්‍රවාහනය නොමිලේ සපයන තැනට පත්ව ඇත. පහසුවෙන් ගමන් බිමන් යා හැකි බස් හා කාර්යක්ෂම දුම්රිය සේවයක් සමග ගාස්තු අය කිරීමක් නැති අවස්ථාවක, පුද්ගලික වාහන භාවිතය අඩු කරන බව සනාථ වී තිබේ. ලක්සම්බර්ග් රාජ්‍යය පෙන්වා දෙන පරිදි නොමිලේ මගී ප‍්‍රවාහනය මුලින් රාජ්‍ය අය වැය ලේඛනයට සෑහෙන වියදමක් විය. පසුව වාසියක් දක්වා හරවා ගත හැකි වී තිබේ.

රටක් දියුණුවන විට එහි ප‍්‍රතිලාභ ලබන පුරවැසියන්ට පුද්ගලික වාහනයක් මිල දී ගැනීම ප‍්‍රශ්නයක් නොවේ. එදිනෙදා කටයුතු පහසුවෙන් කරගැනීම සදහා වාහනයෙන් ගමන අරඹති. පුද්ගලික වාහන පාරට එන විට මහ මාර්ගය අධික තදබදයක් සහිත තැනක් බවට පත්වෙයි. වේග සීමා අඩුවන අතර එක තැන සිටින වාහන වලින් දහනය කරන ඉන්ධන නරක ප‍්‍රතිඵල අත් කර ඇත. 

ශ‍්‍රී ලංකාවේ මගී ප‍්‍රවාහනය ලාභදායීව පවත්වාගෙන යන රාජ්‍ය ව්‍යවසායයක් නොවේ. ලංගම හා දුම්රිය සේවා විශාල පාඩු ලබයි. ප‍්‍රමාණවත් බස් රථ හා දුම්රිය නැති බව අවධාරණය වන තවත් කරුණකි. ප‍්‍රවේශ පත‍්‍ර රහිතව ගමන් කරන මගීන් ගෙන් සිදුවන අවාසි ගැන ද නොයෙක් අවස්ථාවල අනාවරණය වී තිබේ. රාජ්‍ය ආදායමෙන් තවත් කොටසක් යෙදවුවහොත් පොදු ප‍්‍රවාහනයයෙහි පරිවර්තනයක් කළ හැකිය.

පොදු ප‍්‍රවාහනය දුර්වලවීම ඉදිරියේ පුද්ගලික වාහන පාරට පැමිණ ඇත. රජයේ හා පුද්ගලික අංශයේ කාර්යාල තමන්ටම අනන්‍ය කාර්යාලීය ප‍්‍රවාහන සේවා ආරම්භ කර තිබේ. පාසල් බස්රථ පවා එම පාසල්වලින්ම අරඹා ඇති අවස්ථා නිරීක්ෂණය කළ හැකිය. මෙවැනි පියවර මගින් වාහන තදබදය තවත් දරුණු තැනකට කැදවා තිබේ. මෙරට ප‍්‍රධාන මං මාවත් වල ගමන් කරන වාහන ප‍්‍රමාණය ගැන තක්සේරුවකට යා යුතුය. ආර්ථික දියුණුව සමග එන මෙවැනි ගැටළු වලට සම්ප‍්‍රදායික රාමුවෙන් බැහැර විසදුමක් නිර්මාණය කරගැනීමට ජාත්‍යන්තරයෙන් ලැබෙන අදහස් ද සලකා බැලිය හැකිය.