2020.09.09 – ලංකාදීප

ඉන්ධන ප‍්‍රවාහනය කරමින් තිබුණ දැවැන්ත නෞකාවක හදිසියේ හටගත් ගින්න පසුගිය දිනවල ආන්දෝලනයක් ඇති කළේය. ක්වෙට් සිට ඉන්දියාව දක්වා ගමන් කරමින් තිබුණ එහි අනතුර හුදෙක් ආර්ථික ප‍්‍රශ්නයක් පමණක් නොවේ. නැව විනාශ වී ඉන්ධන පිටාර ගියහොත් බරපතල පාරිසරික ගැටළු ඇති කරන්නට ඉඩ තිබුණි. මත්ස්‍ය සම්පත ඇතුළු සාගර ජීවීහු විනාශ වනු ඇති අතර ලෝකය පුරා වෙරළ තීර අපවිත‍්‍රවනු ඇති බවට අනතුරු ඇගවිණි. සාගරයට සිදුවන හානියෙන් පසු නැවත පුරුදු ජීවි කලාපය හැදෙන්නට වසර තිහක් දක්වා කාලයක් ගතවනු ඇති බව පරිසර විද්‍යාඥයෝ කියා සිටියහ. ගින්න නිවා අනතුර දුරු කරන්නට සමත් විය. රජයේ නිලධාරීන්, නාවික, ගුවන් සහ යුධ හමුදා සෙබළුන් බලවත් කැපවීමකින් කි‍්‍රයා කළ අතර ඉන්දියාවේ සහාය ද එයට ලැබුණි.

සාගරයේ ඇතිවූ ආපදාවක දී ක‍්‍රියාකර සිය හැකියාව ජාත්‍යන්තරයට පෙන්නුම් කරන්නට ශ‍්‍රී ලංකාව සමත්ව සිටී. ප‍්‍රයත්නය ලෝක ප‍්‍රජාවගේ ඇගයීමට ලක්ව තිබේ. මෙම සිද්ධියෙන් පසු පාඩමක් ඉගෙන ගත යුතුය. ශ‍්‍රී ලංකාව අවට මුහුදු කලාපයේ ඇතිවිය හැකි අනතුරුවලට සහාය වන ගලවා ගැනීමේ ඒකකයක් පිහිටු වියහැකිය. රටට අලූත් අවස්ථාවකි.

බටහිර හා නැගෙනහිර යා කරන ප‍්‍රධාන නාවික මාර්ගය ශ‍්‍රී ලංකාවට නුදුරින් පිහිටා තිබේ. නාවික සැතපුම් දොලහක පමණ දුරකින්ය. ජාත්‍යන්තර වාර්තා දක්වන පරිදි මෙම මුහුදු මාර්ගයේ වසරකට ගමන් කරන නැව් ප‍්‍රමාණය හැට දහස ඉක්මවයි. ඉන්ධන ප‍්‍රවාහනයෙහි යෙදෙන සම්පූර්ණ නැව් වලින් සියයට හැත්තෑ දෙකක් මෙම මාර්ගයේ ගමන් කරන අතර කන්ටේනර් ප‍්‍රවාහනය කරන නැව් වලින් සියයට පනහක් ද ගමන් කරන්නේ ශ‍්‍රී ලංකාවට නුදුරින් බව දැක්වේ. කොළඹ, ත‍්‍රිකුණාමලය සහ සහ මෑතක දී ඉදිකරන ලද හම්බන්තොට වරාය හදිසි ගලවාගැනීමේ සේවා ඒකක  වෙනුවෙන් යොදවා ගත හැකිය. සාගරයේ සිදුවන විපතක දී පළමුවෙන් අහසින් සොයා බලයි. අනතුරුව මුහුදු යාත‍්‍රා යෙදවේ. මත්තල ගුවන් තොටුපල ඇතුළු යටිතල පහසුකම් රටට විශාල වාසියකි.

මුහුදු මාර්ගයේ සිට ළගම රට ශ‍්‍රී ලංකාවයි. ඉන්දියාවේ වරායකට ගමන් කරන්නට පැය විස්සක සිට පැය තිස් දෙකක් පමණ ගත වන අතර ශ‍්‍රී ලංකාව පැය අටක පමණ මුහුදු ගමනකට නුදුරින්ය. මුහුදු මාර්ගයේ ගමන් කරන නැව් ප‍්‍රමාණය සහ අනෙක් වරායකට වඩා ළගින් පිහිටා තිබීම අප‍්‍රමාණ වාසියකි. ඉන්දියාව, චීනය හා යුරෝපා රටවල් සමග ශ‍්‍රී ලංකාවට ඇති සබදතා අනුව අනාගතයේ දී ඇති කරගත හැකි ව්‍යාපාරික අවස්ථාවකි. 

නාවික අනතුරු සම්බන්ධ විශේෂඥයන්ට ශ‍්‍රී ලංකාවේ අයෝජනය කළ හැකිය. රජයේ හෝ පුද්ගලික අංශයේ ව්‍යවසාය වලට මෙරට ව්‍යාපාර සමග ඒකාබද්ධ සමාගම් ඇරඹීමට ඉඩ දිය හැකිය. නැව්, ටග් යාත‍්‍රා, ඩ්‍රෝන සහ ගුවන් ආධාර ඒකක මෙම හදිසි ගලවා ගැනීමේ ව්‍යාපාරයට ඇතුලත් කළ හැකිය. එමගින් ඉන්දියානු සාගරයේ ගමන් කරන නැව් වලට සහායවීම ව්‍යාපාරයක් වනු ඇත. වෙළද නැව් වල සේවය කරන පිරිස සිමිතය. විශේෂයෙන් තෙල් ප‍්‍රවාහනයේ නිරත නැව් වල කාර්ය මණ්ඩලය කුඩාය. හදිසි අවස්ථාවක දී බාහිර උදව් අවශ්‍ය කෙරේ. ඉන්ධන හා කන්ටේනර් ප‍්‍රවාහනය කරන නැව් රක්ෂණය කර ඇති අතර ඒවායේ රක්ෂණ භාරය ඉතා අධිකය. හදිසි විපතකින් නැවක් ගලවා ගැනීම නැව් සේවා සමාගම් වලට පමණක් නොව රක්ෂණ ආයතන වලට ද විශාල ආර්ථික වාසියකි. ශ‍්‍රී ලංකාව නාවික විපත් ගලවා ගැනීමේ ඒකක ගැන අවධානය යොමු කළහොත් එකී අංශ වලින් ද සහාය ලබා ගත හැකිය. තාක්ෂණය ඉතා දියුණු වී ඇති අතර මනා සන්නිවේදන පහසුකම් සහිත වුවහොත් ලෝකයේ  ඕනෑම තැනකින් පලපුරුදු කණ්ඩායම් වහා කැදවන මධ්‍යස්ථාන වශයෙන් ක‍්‍රියා කරන්නට ද හැකියාවක් තිබේ. එය රටට අවස්ථාවකි. විශේෂ පුහුණු රැකියා ලැබෙන අතර විනිමය උපයන මාර්ගයක් ද වනු ඇත.