2020/08/26 – ලංකාදීප

සති තුනකට කලින් බේරුට් නගරයේ සිදුවූ මහා පිපිරීමේ සිද්ධිය අවධානයෙන් ගිලිහී යමින් තිබේ. ඊශ‍්‍රායලය, සිරියාව හා සයිප‍්‍රස් යන රටවල් වලට මායිම් ව පිහිටි ලෙබනනනය දීර්ඝ කාලයක් යුද ගැටුම් වලට ලක්ව තිබුණි. නැවත හිස ඔසවන ප‍්‍රයත්නයක සිටියේය. ඒ අතරවාරයේ බේරුට් වරායේ ගබඩා කර තිබුණ අමෝනියම් නයිටේ‍්‍රට් තොගයක් නිසා පිපිරීම සිදු වූ බව තහවුුරු වී තිබේ. දෙසිය ගණනක් ජීවිතක්ෂයට පත් වූ අතර හය දහසක් පමණ තුවාල ලැබීය. දෙලක්ෂ පනස් දහසනගේ දේපොල වැනැසුන බව වාර්තාවෙයි. සිද්ධිය කිසිවෙකුගේ උවමනාවකට නොවුණ බව තහවුරු වී ඇති නමුත් උවමනාවෙන්ම කරගත් දෙයකි.  අත් අඩංගුවට ගත් නැවක තිබුණ මෙම රසායන තොගය රේගුව, ආරක්ෂක අංශ හා එරට අධිකරණය අතර තිබුණ පරස්පරතා නිසා හත් වසරක් වරාය පරිශ‍්‍රයේ තිබුණි. ජනාකීර්ණ තැනක, ජාත්‍යන්තර වරායක අනතුරුදායකව ගබඩාකර තිබීම ඉතාම අනතුරුදායකය. පාලකයන් පමණක් නොව නිලධාරීන් ද වගකීම් රහිතව ක‍්‍රියා කළ තත්ත්වයක් තුළ වෙනත් යමක් අපේක්ෂා කළ නොහැකිය.

සිද්ධියෙන් පසු නිලධාරීහු ද පාලකයෝ ද එකිනෙකාට ඇගිල්ල දිගු කළහ. බලයේ සිටින ආණ්ඩුව පවා පැවැති පාලනය වගකිව යුතු බව ප‍්‍රකාශ කර තිබුණි. ජන ජීවිතය අනාරක්ෂිත කළ අතර රට ආර්ථික අතින් ඉතාම දුෂ්කර තැනකට තල්ලූ කළ මෙම සිද්ධියට පසු පාලකයෝ හැසිරෙන ආකාරය බලා සිටි පනස් දහසක් ලෙබනන් ජනයා මහජන පෙත්සමක් අත්සන් කර ප‍්‍රංශ ජනාධිපතිවරයාට යැවූ අතර, දස වසරකට රට භාර ගන්නා ලෙස එයින් ඉල්ලා තිබුණ බව ජාත්‍යන්තර මාධ්‍ය අනාවරණය කළේය. කලින් හිටපු ආණ්ඩුවේ වැඩක් යැයි පාලකයෝ ස`දහන් කරන අතර තවත් සමහර දෙනෙකු එය පිටරට කුමන්ත‍්‍රණයක් යැයි කියා සිටියහ. ලෙබනනයේ රාජ්‍ය ආයතන අතර පමණක් නොව පාලකයන් අතර පවා බෙදීම්, මත ගැටුම් හා ආරවුල් ඇති බව පෙනෙන අවස්ථාවක එරට ජනතාවට වෙනත් කළ හැකි යමක් නොතිබුණ බව ඉතාමත් පැහැදිලිය.

බේරුට් සිද්ධිය සම්බන්ධයෙන් අධ්‍යයනය කරනවිට අවිධිමත් සහ අසමත් රටක් මුහුුණ පෑ ඉරණම හ`දුනාගත හැකිය. රජයේ නිලධාරීහු ප‍්‍රශ්නය එකිනෙකා වෙත තල්ලූ කරමින් සිටියේය. දූෂිත නිලධාරීහු ද එයට වගකිව යුතු බව සදහන්ය. 2018 මැයි මාසයේ බලයට පත් ආණ්ඩුවට පවා රට මුහුණ පා සිටින තත්ත්වය ගැන අවබෝධයක නොසිටි බව පැහැදිලිය. නගරය මැද භයානක රසායනික තොගයක් අනාරක්ෂිතව තැබූ අතර වසර හත්දහසකට වැඩි දීර්ඝ ඉතිහාසයක් සහිත ජන සමාජයක් පිරිහී ඇති තරම එයින් පෙන්නුම් කළේය. එකිනෙකාට චෝදනා කරමින් තමන්ගේ අත පිහදා ගන්නට වෑයම් කරන පාලකයන්ට වඩා ප‍්‍රංශ ජනාධිපතිවරයාට රට භාර දෙන්නට ජනතාව තීරණය කිරීම මෙම ඛේදවාචකයේ තරම පෙන්වන අවස්ථාවකි.  

ලෙබනනය කාලයක් ප‍්‍රංශයට යටත්ව තිබුණි. එය ඉතා වේදනාබර යුගයක් බව ඉතිහාසය කියා දී ඇති බව නිසැකය. එහෙත් ස්වදේශික පාලකයන් ගේ අනුවනකම්වලට වඩා වෙනත් රටක වහල්භාවය සුදුසුයැයි සිතන තරමට පත්වීම ඛේදවාචකයකි. එරට විනිමය අගය පිරිහී ආනයන නතර වී ඇති අතර ඇතැම් ආහාර වර්ගවල මිල අහස උසට නැග තිබේ. රටේ ආදායම ණය ගෙවන්නට ප‍්‍රමාණවත් නැත. ජනතාවට අවශ්‍ය මුලික පහසුකම් එනම් ජලය, විදුලිය සැපයීම පමණක් නොව කසල බැහැර කිරීමට පවා නිසි ක‍්‍රමයක් හදා ගත නොහැකි තරමට රටක් පිරිහෙන විට වෙනත් විකල්පයක් තිබේද? බේරැට් පිපිරීම සංකේතයක් කර ගත් එරට වැසියෝ පාරට බැස උද්ඝෝෂණය කළ අතර කිසිම සංවිධානගත නායකත්වයක් නොිබුණ ජන විරෝධය එකම පාලකයෙකුවත් අපිට එපා යැයි විරෝධය පළ කිරීම විශේෂත්වයකි.

සිද්ධියත් සමග ආණ්ඩුව ඉල්ලා අස්වී තිබේ. මහජන විශ්වාසය දිනාගත හැකි පාලනයක් හදන නායකත්වයක් ඇති බවක් නොපෙනේ. පිරිහීමක තරම පෙන්වන සාධකයකි. බලයට පත් කරගත් ආණ්ඩුව අසමත්වන විට කිසිම දේශපාලනයක් එපා යැයි කියන තරමට ජනතාවගේ ආවේග ඉහළ නැග තිබේ. ජනතාව තුළ ඇති දුක, වේදනාව පමණක් නොව තම පාලනයේ පවතින ආයතන අතර ඇති දුබලතා ද හදුනාගෙන නිසි පියවර ගැනීම පාලකයන්ගේ වගකීමකි. ලෙබනන පාලන ක‍්‍රමයේ බලතල සම්බන්ධයෙන් පවතින දුර්වලතා ද මෙම තත්ත්වයට වගකිව යුතු බව දක්වයි.