2020/08/19 – ලංකාදීප

ධර්මයෙහි හැසිරෙන්නා ධර්මය විසින් ආරක්ෂා කරන බව අවධානයට ගත යුතු බුදු වදනකි. ‘‘ධම්මෝ හවේ රක්ඛති ධම්මචාරී’’ – මෙවැනි පණිවුඩයක වැදගත්කම ගිහි පැවිදි දෙපිරිසටමය. ගෞතම බුදු රජාණන්වහන්සේ දේශනා කළ පරිදි ‘‘විනයෝ නාම සාසනස්ස ආයු’’ එනම් භික්ෂු විනය ශාසනයේ ආයුෂය බව දැක්විය යුතුය.

නිර්වාණය අවබෝධ කරගැනීම සාසනයට ඇතුළු වන සංඝයාවහන්සේලා ගේ ඒකායන අරමුණයි. ගිහියෝ පන්සිල් රකිති. චතු පාරිශුද්ධි ශීලය හෙවත් කෝටියක් සංවරශීලය භික්ෂුන් වහන්සේලා ආරක්ෂා කරගත යුතුය. භික්ෂුභාවය ගෞතම බුදු රජාණන් වහන්සේ ගේ දර්ශනයට සෘජුවම සමීපය. එය බැදීම් හා වගකීම් වලින් ගැලවී සත්‍යාවබෝධය ඇතිකරගැනීමට තබන පියවරකි. සෝවාන්, සකෘදාගාමි, අනාගාමී සහ මහරහත් ව නිවන අවබෝධ කරගත හැකි බව බුද්ධ දේශනාවයි. සසුන් ගතවන සංඝරත්නය අනුගමනය කළ යුතු කි‍්‍රයාමාර්ග තිබේ. ත‍්‍රිපිටකයේ සදහන් වන කරුණු ගවේශනය කළහොත් භික්ෂු ජීවිතය ගැන අවබෝධයක් ලබා ගත හැකිය.

භික්ෂුන් වහන්සේලා තම භික්ෂුත්වය රැකගනිමින් රට ජාතිය ආරක්ෂා කිරීමට කැපවෙති. සංසාරයෙන් එතෙරවීම අරමුණු කරගෙන සාසනයට ඇතුළු වන සංඝරත්නය අතරින් ඇතැම් භික්ෂූන්වහන්සේලා පිරිසක් තම මූලික අරමුණ පසෙක ලා රට ජාතිය ආරක්ෂා කිරීමේ වගකීම භාරගෙන තිබීම විවාදාත්මකය. දේශපාලනය හා සාසනය අතර බලවත් පරතරයක් තිබේ. බුදු රජාණන් වහන්සේ කිඹුල්වත් නුවරට වැඩම කළ අවස්ථාවේ දී ‘‘මහරජ ඔබ ශාක්‍ය වංශයේ මම බුද්ධ වංශයේ ’’  බව පිය රජු අමතා ප‍්‍රකාශ කළ බව මතක් කර දිය යුතුය. බුද්ධ වංශය හැර දමා ‘‘රාජ්‍ය පාලනයට ’’ ඇතුළුවීමට වෑයම් කිරීම මෑත කාලීන ඇතැම් භික්ෂුවකගේ උත්සාහයකි. දේශපාලනය පිරිහී ඇති අතර දේශපාලනයට එන පිරිස අතිශය දූෂිත බවට නැගෙන විවාදය තුළ යම් ප‍්‍රමාණයක ඇත්තක් තිබේ. අවංක කෙනෙකුට දේශපාලනයේ නිරතවිය හැකිදැයි ප‍්‍රශ්නයක් ද තිබේ. වැරදි හදාගන්නට නියම මග දැක්වීම සුදුසුය. දේශපාලනයට ඇතුළු වී වැරදි හදන්නට උත්සාහ කිරීම තුළ පරස්පරතාවයක් තිබේ.

මෙරට පවතින සියළු නිකායවල මහා නායක හිමිපාණන් වහන්සේලා විසින් නොයෙක් වතාවල දී භික්ෂු දේශපාලනයෙහි අවැත සහ අවැඩදායක බව ගැන අදහස් පළ කර ඇත. එහෙත් සමහර භික්ෂුන් වහන්සේලා ඒවා අවධානයට ගන්නේ නැත. ඉකුත් මහ මැතිවරණයට ද භික්ෂූන් වහන්සේලා හැට නමක් පමණ ඡුන්දයට ඉදිරිපත්ව තිබුණ බව වාර්තා පළ වී තිබේ. බුදු දහම අනුව හැසිරෙන, නිතර පන්සිල් රකින සමාජයක් නමුත්, එකම හිමිපාණන් වහන්සේ නමක හෝ පාර්ලිමේන්තුවට යවන්නට ඡන්දදායකයෝ තීරණය කර නැත. ලැබුණු ඡන්ද සුළු ප‍්‍රමාණය අනුව හිමි වී ඇති ජාතික ලැයිස්තු එක මන්ත‍්‍රීධුරයක් සදහා ද මතබේදයක් හටගෙන තිබේ. අවුල් වියවුල් මැද පාර්ලිමේන්තු නියෝජනය ලබාගත හැකි නමුත් මෑත ඉතිහාසයේ පාර්ලිමේන්තුවට පත් වූ සංඝයා වහන්සේලා මුහුණ පෑ ඉතා අමිහිරි සිද්ධි මතක් වන විට ඇති වන්නේ බලවත් සංවේගයකි.

සමාජය තුළ සිදුවන අයුක්තිය සහ අසාධාරණය දකින අවස්ථාවේ මහණකම නොවැදගත් යැයි ඇතැම් භික්ෂුන්වහන්සේ නමකට කල්පනා කිරීමට අයිතියක් තිබේ. එබදු අය භික්ෂුභාවය ලබා ගත් ගුරු හිමිපාණන්ගේ දෙපා නමැද කසාවත විහාරස්ථානයෙහි තබා දේශපාලන වේදිකාවට පැමිණීම සුදුසුය.

පාර්ලිමේන්තු ක‍්‍රමයට වඩා විශාල සහ පුළුල් විදර්ශනාත්මක අවකාශයක් සංඝරත්නයට තිබේ. ‘‘මිනිහා හදා ගතහොත් රටක් හැදිය හැකි ’’ බව අතිපුජ්‍ය මඩිහේ පඤ්ඤාසීහ මහ නාහිමියන් ගේ සංකල්පයකි. සමාජය හදන්නට ගමින් ගමට වැඩම කර ධර්මය දේශනා කළ හැකිය. ජන සමාජය ඉතාම සංකීර්ණ තාක්ෂණික යුගයක පවතී. සමාජයට යහ මග පෙන්වන්නට ඇති එකම තැන පාර්ලිමේන්තුව නොවේ. සත්‍ය වටහා දී සංසාරයෙන් එතෙරවීමට අනුසාසනා කිරීම ශාසන ආනිසංසය ඇති කරයි. මහා නායක හිමිපාණන් වහන්සේලාට පමණක් නොව රාජ්‍ය නායකයන්ට ද මෙහි දී වගකීමක් තිබේ. පන්සල හා පාර්ලිමේන්තුව අතර තිබිය යුතු පරතරය සහ ගෞරවය ආරක්ෂා කරගැනීම අරමුණු කරගෙන අලූත් නීති පැනවීම පවා අනර්ථයක් විය නොහැකි යෝජනාවක් බව සදහන් කළ යුතුය.