m prash

2020/08/12 – ලංකාදීප

ඉන්දිය අගමැති නරේන්ද්‍ර මෝදි මාසයකට වතාවක් ඉන්දියානුවෝ ආමන්ත‍්‍රණය කරති. එරට ජාතික ගුවන් විදුලියෙන් ආරම්භ කළ මෙම වැඩසටහන පසුව ඉන්දීය ජාතික රූපවාහිනිය ද සමාන්තරව විකාශය ඇරඹීය. වසර හයක් පුරා මෝදි අගමැතිවරයා ජනතාවට කතා කර තිබේ. එය හුදෙක් ජනතාව වෙත කරන දේශනාවක් නොවේ. කථෝපකතනයකි. රාජ්‍ය නායකයා වශයෙන් මිලියන සංඛ්‍යාත ඉන්දියානුවන් වෙත සමීපවීමට කරන බලවත් සන්නිවේදන ප‍්‍රයත්නයකි.

‘‘Mann Ki Baat’’ යනුවෙන් මෙම ගුවන් විදුලි වැඩ සටහන නම් කර තිබේ. ඉතාම අඩු වියදමකින් කෙලින්ම ජනතාවගේ හදවතට කතා කරන වැඩ සටහනක් වශයෙන් අවධානයට ලක් ව ඇත. භූමි විශාලත්වය අනුව රට පුරා එකවර වැඩිපුරම යොමුවිය හැකි මාධ්‍ය වශයෙන් ගුවන් විදුලිය බව සදහන්ය. මෝදි අගමැතිවරයා එම අවකාශය අවස්ථාවක් කරගෙන තිබේ. පසුගිය මැයි මාසයේ දී මෙම මන් කී බාත්  වැඩසටහන සම්බන්ධයෙන් කෘතියක් පළ කෙරිණ. මෝදි මහතාට සම්බන්ධ ලේඛකයෙකු වැඩ සටහනෙන් අත්පත් කරගත් අවස්ථා ගැන එහි විස්තරාත්මකව දක්වා තිබේ. එයට කලින් ප‍්‍රකට මාධ්‍ය පර්යේෂණ ආයතනක් මෙම ගුවන් විදුලි වැඩ සටහන ගැන විමර්ෂණයක් කර ඇත. ප‍්‍රධාන නගර හයක් පදනම් කරගෙන කළ එම පර්යේෂණය අනුව සියයට හැට හයක ශ‍්‍රාවක පිරිසක් නිතිපතා සවන් දෙන්නට පුරුදු වී සිටින බව අනාවරණය කරගෙන ඇත. වැඩිම පිරිසක් ගුජරාට්, බිහාර් හා මධ්‍ය ප‍්‍රදේශ වල වැසියෝ බව දැක්වෙයි.scan0336

මෝදි අගමැතිවරයා ජනතාවට දැනෙන කරුණු ගැන ඉතා සරලව මන් කී බට් ගුවන් කාලයේ දී සාකච්ඡා  කරයි. සමහර අවස්ථාවල තෝරා ගත් අසන්නෝ සම්බන්ධ කරගනිති. එක අවස්ථාවක ඉන්දියාවේ විවිධ ප‍්‍රදේශවල වෙසෙන ශිෂ්‍යත්ව දිනා ගත් දරුවන් කණ්ඩායමක් සම්බන්ධ කරගත්තේය.  පවුල් පසුබිම හා අනාගත අපේක්ෂා ගැන කතා කළේය. දරුවන්ට ඉතා ඉහළ පිලිගැනීමක් ලැබුණි. රාජ්‍ය නායකයා සමග කතා කරන්නට ලැබීම විරල අවස්ථාවකි. තවත් අවස්ථාවක ජල හිගයෙන් පීඩා විදින ගමක වැසියෝ සමග සාකච්ඡා කළහ. ප‍්‍රශ්නයේ මුහුණුවර හදුනා ගත් අතර ගත හැකි පියවර ගැන ප‍්‍රවේසමෙන් ජනතාවට කියා දුන්නේය. ජලය සම්බන්ධයෙන් පවතින ප‍්‍රශ්න සහ ඉදිරියේ දී මතුවන අර්බුද ගැන කියා දෙන අතර ජල හිගය විසදන ක‍්‍රමය ගැන ද අවබෝධයක් දුන්නේය. තවත් වතාව හෙතෙම එදිනට යෙදී තිබුණ එරට පැරණි අභ්‍යන්තර කැරැල්ලක විස්තර මතක් කළේය. එය මැඩ පවත්වා සාමය ආරක්ෂා කළ අන්දම හා එය වෙනුවෙන් එදා කැපවූ ඉන්දීය ආරක්ෂක අංශවල නිලධාරීන්ට ප‍්‍රණාමය පුද කර සිටියේය.

රාජ්‍ය නායකයෙකුට රජයේ මාධ්‍ය භාවිතා කරන්නට තහනමක් නැත. සියළුම මාධ්‍ය වල අවශ්‍යතරම් ප‍්‍රචාරය ලබා ගත හැකිය. රාජ්‍ය නායකයෝ යන එන තැන් හා කරන කියන දෑ වාර්තා කරන්නට සෑම මාධ්‍යක්ම යුහුසුළුය. එතෙකින් නතර නොවන අතර  ඕපාදූප සොයා අවුලූවන්නට ද සමත්ය. කරන දෙයට හිමි ප‍්‍රචාරය සහ ජනතාවට කියන්ට ඇති දේ කෙලින්ම සන්නිවේදනය අතර වෙනසක් තිබේ. ජාතිය අමතන අවස්ථාවකට වඩා ඔබ්බට ගිය ස්වරූපයකි. ජාතික ප‍්‍රශ්නයක්, විශේෂ අවස්ථාවක් පමණක් නොව සාමාන්‍ය පුරවැසියෙකුට දැනෙන දෙයක් වෙනුවෙන් සංවේදීවීම රාජ්‍ය නායකයෙකු ගේ පරිනතභාවය පිළිබිඹු කරයි. ප‍්‍රතිපත්ති ගරුකව අසන්නා වෙනුවෙන් පෙනී සිටීම ගැඹුරු සංකල්පයකි. මහා ජනකායක් වෙතට ගොස් ඔල්වරසන් මැද කරන ප‍්‍රකාශනයකට වඩා වටිනාකමක් තිබේ. එය වටහා ගැනීම වැදගත්ය.

ඡන්දයකින් දිනන ජන නායකයන් ජනතා කැමැත්ත ආරක්ෂා කරගත යුතුය. වර්තමානයේ දී පහසු නැත. ප‍්‍රසාදය පවතින්නේ කෙටි කාලයකි. ඉක්මනින් පිරිහීම ඇරඹේ. ජනතාවගෙන් දුරස්වීම එක හේතුවකි. ජනතාව සමග පවත්වන සංවාදය අත් නොහැරිය යුතුය. විශාල පිරිස් මෙහෙයුමක් සහිතව දැවැන්ත ආයෝජනයකින් කරන සන්නිවේදන ප‍්‍රයත්නයකට වඩා විශ්වාසනීයත්වයක්  ඉතා සුළු පියවරකින් ඇති කරගත හැකිය. ජනතාවට කරුණු අවබෝධ කරදෙන්නට අනුගමනය කළ හැකි පියවරකි. නරේන්ද්‍ර මෝදි මහතාගේ ගුවන් විදුලි වැඩසටහන එක සාක්ෂියකි.