m prash

 

2020/07/15 -ලංකාදීප

ජනතා වරමෙන් බලයට පත් වන නියෝජිතයන් මහජන මුදල් අවභාවිතාව ගැන පරෙස්සම් විය යුතුය. ප‍්‍රංශයේ හිටපු අගමැතිවරයාට එරෙහිව ලැබුණ අධිකරණ තීන්දුව හොද උදාහරණයකි. ප‍්‍රංශ ජනාධිපතිධුරය දක්වා ගමන් කළ හැකි හොද අනාගතයක් තිබුණ දක්ෂ පාලකයෙකු වූ ෆැන්කෝසි ෆිලන් ගේ දේශපාලන කටයුතු වසර දහයකට තහනම් කර ඇති අතර එය ඉතා කණගාටුදායක අවසානයක් සනිටුහන් කර තිබේ.

ප‍්‍රංශ අධිකරණයේ විභාග වූ නඩු වාර්තාව අනුව අගමැති පදවියට පත් ෆැන්කෝසි සිය කාර්ය මණ්ඩලයට ඔහුගේ බිරිද බදවා ගෙන තිබේ. එහෙත් අගමැති ආර්යාව විශේෂ රාජකාරියක නිරත වී නැත. එක්තරා අවස්ථාවක අගමැති බිරිද පෙනිලෝප් තමන් අගමැති කාර්ය මණ්ඩලයේ සාමාජිකාවක වශයෙන් වැටුප් හා වරප‍්‍රසාද ලබා ගන්නා නමුත් විශේෂ සහායක් නොදක්වන බව ප‍්‍රකාශ කර තිබුණ අතර එය පදනම් කරගෙන හිටපු අගමැතිවරයාට විරුද්ධව නඩු පවරා තිබේ. අධිකරණය මෙම යුවල වරදකරුවන් බව තීරණය කර ඇත. හිටපු අගමැතිවරයාට වසර පහක් හා ආර්යාවට වසර තුනක් සිර දඩුවම් නියම කරන ලදද අතර දඩුවම වසර තුනකට අත්හිටුවා තිබේ. යුරෝ මිලියනයක දඩයක් නියම කර ඇති අතර රජයෙන් ගත් වැටුප් ආපසු ගෙවන සේ නියම කර තිබේ. එයට අමතර වශයෙන් හිටපු අගමැතිවරයාට වසර දහයකට දේශපාලනය කිරීම තහනම් කර ඇත.

ප‍්‍රංශ ක‍්‍රමය අනුව පුද්ගලික කාර්ය මණ්ඩලයට පවුලේ සාමාජිකයන් බදවා ගැනීම වරදක් නොවේ. එහෙත් ජනතාව ගෙවන බදු වලින් නඩත්තු වන බව අමතක කළ pplයුතු නැත. රටට සේවයක් කළ යුතුය.

මහජන මුදල් අවභාවිතා කරන ලද පළමු වැනි මහජන නියෝජිතයා ප‍්‍රංශයේ හිටපු අගමැතිවරයා නොවේ. අවසාන සිද්ධිය නොවෙන බව සහතිකය. මහජන මුදල් අනිසි ලෙස පරිහරණය කරන ලද අනෙක් මහජන නියෝජිතයන් සෑහෙන ප‍්‍රමාණයක් අධිකරණයකින් මෙවැනි පාඩමක් ඉගෙනගෙන නැති බව අවිවාදිතය.

මහ මැතිවරණයක උණුසුම රට තුළ තිබේ. බලයට පත්වන ආණ්ඩුවකින් ජනතාව අපේක්ෂා කරන පළමු වගකීම අමතක කළ යුතු නැත. මහජන මුදල් උපරිම වශයෙන් ප‍්‍රයෝජනයට ගත යුතු අතර නැති නාස්ති කිරීම වරදකි. ජනතාව උපයන්නේ පහසුවෙන් නොවේ. නොයෙක් දුක් ගැහැට මැද හරි හම්බකරන දෙයින් කොටසක් රජය අය කර ගනී. බදු වශයෙන්ය. බදු ගෙවන ධනවත් පිරිසක් රට තුළ සිටින අතර දුප්පත් ජනී ජනයා එදිනෙදා කන බොන, අදින පළදින හා පරිහරණය කරන සියළුම දෙය මිල දී ගැනීමේ දී වක‍්‍ර බද්දක් ගෙවයි. මෙම බදු රජයේ වියදමට වැය කරන අතර බලට පත්වන මහජන නියෝජිතයන් මහජනතාවගෙන් අය කරන බදු සම්බන්ධයෙන් පරෙස්සම් විය යුතුය.

මෙරට ඉතිහාසය දෙස ආපසු හැරී බලන විට සාමාන්‍ය පුද්ගලයන් වශයෙන් දේශපාලනයට ඇතුළු වන ඇතැමුන් පසුව එයින් වැජඹෙන්නේ මහ ඉහළින්ය. මහජන මුදල් පරිහරණය ඉදිරියේ කිසිම විලි ලැජ්ජාවක් නැත. අමාත්‍යංශ වල සුඛවිහරණය ඇමැතිවරුන්ට පමණක් සීමා වී නැත. නිලධාරීහු පවා අසීමිත වරප‍්‍රසාද භුක්ති විදිති. මැති ඇමැතිවරුන්ට ලැබෙන නිල වාහන, කාර්ය මණ්ඩලය, කාර්යාල පහසුකම් සහ අවසානයේ දී විශ‍්‍රාම ජීවිතයේ දී ලැබෙන වරප‍්‍රසාද මෙරට දහඩිය හෙලන ජනතාවගේ දුක හා කදුළු බවව පෙන්වා දිය යුතුය.

මහ මැතිවරණ වේදිකාවේ දී දූෂණය හා වංචාව ගැන ආන්දෝලනාත්මක ප‍්‍රකාශ කරන සියළු අපේක්ෂකයන් තමන් බලයට පත්වුවහොත් මහජන මුදල් සම්බන්ධයෙන් ක‍්‍රියා කරන අන්දම ගැන ප‍්‍රසිද්ධියේ ප‍්‍රකාශයක් කළ යුතුය. මහජන නියෝජිතයන්ට ජීවත්වන්නට තරම් පමණක් නොව තත්ත්වය ආරක්ෂා කරගැනීමට හොද වැටුප් හා වරප‍්‍රසාද ලැබිය යුතු අතර එය අභිබවා පොදු දේපොල පරිහරණය කරන විට ප‍්‍රංශයේ පාඩම ඉගැන්වීමට වගබලා ගැනීම මහජනතාව සතුය.