m prash

2020/07/01 – ලංකාදීප

සියුම් අභියෝගාත්මක අවධියක පසුවන ශ‍්‍රී ලංකාව අවධානය යොමුකළ යුතු ඉලක්කම් තුනක් තිබේ. කෘෂිකාර්මික අංශයෙන් යැපෙන මෙරට ශ‍්‍රම බලකාය සියයට විසි පහකි. සමස්ථයෙන් හතරෙන් එකක් මෙරට දළ දේශීය නිෂ්පාදිතයට දක්වන දායකත්වය සියයට හතකි. රජයේ සේවයෙහි නිරත පිරිස සම්පූර්ණ ශ‍්‍රම බලකායෙන් සියයට පහලොවක් බව දැක්වෙයි. එම පිරිස ඉටුකරන මෙහෙවර සහ රටට ඇති කරන උත්පාදනය ගැන අප සියළු දෙනාටම ගැටළු තිබේ. තුන්වැනි ඉලක්කම තොරතුරු තාක්ෂණ යුගයේ අප පසුවෙන ස්ථානය පිලිබදව සනිටුහන් කරයි. ශ‍්‍රී  ලංකාව සාක්ෂරතාවයෙන් ඉහළ රටක් නමුත් තොරතුරු තාක්ෂ1jul20 - ooණ සාක්ෂරතාව සියයට විසි හතකට මදක් වැඩි බව දැක්වෙයි.

කොවිඞ් -19 වසංගතයෙන් ගැලවී මහත් උද්දාමක සිටින අප සියළු දෙනා අප කරා හඹා එමින් සිටින අනතුර දකින්නේ නැත. මහ මැතිවරණ වේදිකාවේ දී දේශපාලනඥයන් වාග් සංග‍්‍රාමයෙන් බලවත් බලයක් දක්වන නමුත්  ශ‍්‍රී ලංකාව මුහුණ දී සිටින ස්වභාවය සාකච්ඡා කරන්නේ නැත. නිෂ්පාදන අංශ දුර්වල වී ඇති අතර ඉදිරියෙන් තිබුණ සේවා අංශය අර්බුදයකය. ජන සමාජය නගා සිටුවනු සදහා බලවත් ප‍්‍රයත්නයක නිරත විය යුතුව තිබේ. ශ‍්‍රී ලංකාව දියුණු ආර්ථිකයක් ඇති රටක් බවට පත් කර ජන සමාජය සැනසිලිදායක තැනක් බවට හරවන්නට නම් මුලින් දක්වන ලද ඉලක්කම් තුන කෙරෙහි සැලකිලිමත් විය යුතුව තිබේ.

ගොවිතැන ඉතා වැදගත්ය. විශේෂයෙන් වී වගාව මෙරට සංස්කෘතියෙහි එක කොටසකි. ජනතාවගේ ආහාර අවශ්‍යතාව සපුරයි. රට සහල් වලින් ස්වයංපෝෂිත තත්ත්වයට ගෙන එන්නට වී ගොවිතැන සමත්ව තිබේ. තේ, රබර්, පොල් සහ අනෙක් වැවිලි බෝගවලින් ද ආර්ථික දායකත්වයක් ඇත. කෘෂි අංශය කාර්යක්ෂම කිරීමෙන් සහ නවීකරණයෙන් මෙම දායකත්වය තවත් වැඩි කරගත හැකිය. ශ‍්‍රමයෙන් සියයට විසි පහක් නිරත වී සමස්ථ දළ දේශීය නිෂ්පාදනයෙන් සියයට හතකට සීමා වීම වහා අවධානයට ගත යුතුය. කෘෂිකර්මයට රජය දෙන සහාය මෙහි දී කල්පනා කළ යුතු පැත්තකි. වී ගොවියන්ට පොහාර නොමිලේ සැපයෙයි. එය නතර කරන සේ යෝජනා කරන්නේ නැත. එහෙත් කෘෂිකර්මයට කරන යෙදවුම් වෙනුවෙන් ලැබෙන ප‍්‍රතිලාභය ඉහළ මට්මකට ගෙන ආ යුතුය. රජයේ සේවය ගැන ද සදහන් කළයුතු එකම කාරණය එයයි. ජනතාවට සේවය කරන්නට අවශ්‍ය ප‍්‍රමාණයට වඩා රජයේ සේවකයන් සිටින අතර මහජනතාවට අවශ්‍ය සේවා නිසි සේ ඉටු නොවීම ගැන තිබෙන කනස්සල්ල ද සැලකිය යුතු මට්ටමකය.

ශ‍්‍රී ලංකාවේ මානව සම්පත ඉතාම දක්ෂ පිරිසකි. ලෝකයේ  ඕනෑම තැනක සේවය කරන හැකියාව තිබේ. තාක්ෂණය භාවිතා කිරීම ගැන පවතින නැඹුරුව ප‍්‍රමාණවත් නැත. අප‍්‍රිකානු කලාපයේ සමහර රටවල් පවා ස්මාට් දුරකතනය හා එහි ඇප් වලින් සෑහෙන ප‍්‍රයෝජන ගන්නා බව අනාවරණය වෙයි. නොයෙක් රටවල මුදල් භාවිතය සීමා වී ඇති අතර ජංගම දුරකතනයෙන් භාණ්ඩ මිල දී ගන්නා සහ මිල ගෙවන බව වාර්තාවන වැදගත් කරුණකි. තාක්ෂණය භාවිතාවට පහසුවෙන් යොමු විය හැකිය. අවස්ථාව ලබා ගැනීමට පෙළඹවීමක් කළ යුතුය.

කෘෂි කර්මය, රාජ්‍ය සේවය හා තොරතුරු තාක්ෂණ සංක්ෂරතාවය යන කරුණු තුන අලලා රට තුළ පවතින තත්ත්වය ගැන පුලූල් අධ්‍යයනයක් කරන්නට අවශ්‍යය. අද පවතින සම්ප‍්‍රදායික රාමුවෙන් ශබ්බට අලූත් යුගයක් ඇතිකරනු සදහා මෙම පැති වලින් අත්පත් කරගත හැකි නවතම අවකාශය ගැන අධ්‍යයනය කළ යුතුය. තීරණගැනීම අවශ්‍යය. නවතම යෝජනා ඉදිරියට පැමිණිය යුතු අතර ඒවා සලකා බලා වහා කි‍්‍රයාවට නංවන්නට ආණ්ඩුව තීරණය කිරීම ඉතාම වැඩදායකය.

ශ‍්‍රී ලංකාව ලෝකයේ අනෙක් රටවල තර`ගකාරී ස්වභාවය ගැන අවබෝධයක සිටිය යුතු අතර ඉදිරියට පැමිණීමෙන් හැර පැවැත්මක් නැත. කොවිඞ් -19 වසංගතයෙන් පසු අලූතින් හිතන, එළැඹෙන මහ මැතිවරණයෙන් පසු බලයට පත්වන අලූත් පාර්ලිමේන්තුව මෙවැනි පැති ගැන අවධානය යොමු කළහොත් රට තුළ පිබිදීමක් ඇති වනු නිසැකය.