m prash

2020/06/ 17 – ලංකාදීප

බැංකු හා මුල්‍ය අංශයෙහි ක‍්‍රියාකාරිත්වය ගැන පොදු ජනතාවට බරපතල ප‍්‍රශ්න තිබේ. මෑත කාලය තුළ බරපතල තත්ත්ව ගණනාවක් ඇති විය. ණය ගෙවා ගත නොහැකි වූ ගොවිහු දිවි නසා ගැනීම දේශපාලනය උණුසුම් කළේය. රන් භාණ්ඩ උකස් කළ දුප්පත් ජනතාවට ඒවා බේරා ගත නොහැකි වී තිබුණි. රන් උකස් පොලී කපා හරින බව ඡන්ද පොරොන්දුවක් බවට හැරිණ. ක්ෂුද්‍ර ණය ක‍්‍රමය ද බලවත් පීඩනයක් ඇති කළේය. උතුරු නැගෙනහිර ප‍්‍රදේශ ඇතුළු රට පුරා තැන් වලින් ණය ගෙවා ගත නොහැකිව දිවි නසාගත් කාන්තාවන් දෙසිය ගණනක් ගැන ඉකුත් රජය කාලයේ පාර්ලිමේන්තුවේ දි ප‍්‍රකාශ වී ඇත. එහි ප‍්‍රතිඵලයක් වශයෙන් ක්ෂුද්‍ර මුල්‍ය සමාගම් අය කරන වාර්ෂික පොලිය සියයට තිහ දක්වා අඩු කරන නිති පනවන්නට සිදුවිය.

කොවිඞ් -19 වසංගතය හෙයින් බලවත් දුෂ්කරතාවන්ට මුහුණ දී ඇති රට තුළ පවතින ණය ගැති භාවය බලවත් සමාජ අර්බුදයක් බව පෙනේ. නියමිත පරිදි ගෙවා ගත නොහැකි වූ පුද්ගලයෙකු වෙනුවෙන් කතා කරන්නට ඉදිරිපත් වූ මිනිසෙකුට පහර දී මරා දමන ලද බව වාර්තා වන අතර එය ඉමහත් m prash lllආන්දෝලනයකට ලක් ව තිබේ. පවතින ආර්ථික දුෂ්කරතා හෙයින් ණය අය කරගැනීම මාස හයකට තාවකාලිකව අත්හිටුවන ලෙස රජය නිවේදනය කර තිබිය දී ණයට හිලව් වශයෙන් තී‍්‍ර රෝද රථය ලීසිං සමාගම භාරයට ගෙන ඇත. එක වාරිකයක් ගෙවා නිදහස් කරන ලෙස කරන ලද ඉල්ලීම දුර දිග ගොස් මරණයකින් කෙළවර වී තිබේ.

ගිවිස ගත් පරිදි ණය ආපසු නොගෙවන පුද්ගලයන් හෙයින් මෙරට බැංකු හා මුල්‍ය අංශයට ප‍්‍රශ්න ඇති බව සැකයක් නැත. ණය ගෙවන්නට තරම් වත්කමක් නැති අහිංසක ජනතාව මුහුණ දී ඇති ඉරණම එයට වඩා ඛේදජනකය. මෙම දෙපැත්ත දෙස විචක්ෂණශීලීව සලකා යුක්ති සහගත විසදුමක් නිර්මාණය කිරීම අවශ්‍යය.

ඉතිහාසය සලකා බලන විට මෙරට බැංකු ක‍්‍රමය වරප‍්‍රසාද ලත් පැලැන්තියට අයිති වි තිබුණි. අධිරාජ්‍යවාදීන්ට අවශ්‍ය දේ නිපදවා අපනයනයෙහි නිරත පිරිසට එවකට බැංකු පහසුකම් සැපයිණ. නිදහස ලැබුණ පසු ව්‍යවසායකත්වය අරමුණු කරගෙන බැංකුව ජනතාව අතරට ගෙන යන්නට උත්සාහයක් විය. සමුපකාර ක‍්‍රමයක් හදා මහජන බැංකුව බිහිකරන්නේ එම අපේක්ෂාවෙන්ය. දශක හතකට පසු පවා ව්‍යවසායකත්වය හදන, පොදු ජනතාවට සමීප බැංකු හා මුල්‍ය ක‍්‍රමයක් මෙරට නැත. පොදු ජනතාවට බැංකුවකින් ලැබෙන සහය අල්පය. ණයක් ඉල්ලා සිටියහොත් ණය ඉල්ලන ප‍්‍රමාණයට වඩා වත්කමක් තමන් සතු බව ලිඛිතව ඔප්පු කරන්නට සිදුවී තිබේ. ඉඩමක් හෝ ඉහළ සමාජ මට්ටමක් නැති පුද්ගලයෙකුට බැංකුවක් හෝ රජයේ ලියාපදිංචි මුල්‍ය ආයතනයක පිහිටක් නැත. කොතැනකින් හෝ සිය අවශ්‍යතාව සපුරා ගන්නා දුගී ජනතාව තම ආදායමෙන් සෑහෙන කොටසක් පොලිය වශයෙන් ගෙවා අවසානයේ දී මැර බලයට ද බිලිවීම අවාසනාවන්ත තත්ත්වයකි.

හදිසි විපත් අවස්ථාවක ආයතන පමණක් නොව ආයතන වලින් ණය ගත් පුද්ගලයනිට ද ආරක්ෂාව සලසන ක‍්‍රම දියුණු රටවල තිබේ. ණය රක්ෂණය එකකි. අනෙක තාවකාලිකව ණය සහන ස`දහා එම රටවල ජාතික ධනය කෙලින්ම වෙන් කිරීමය. පසුව අය කරගත හැකි පරිදි කෙලින්ම සහන දෙන විට පද්ධති ආරක්ෂා වෙයි. ශ‍්‍රී ලංකාවේ ආදායම හා වියදම සලකන විට හදිසි අවස්ථාවක ප‍්‍රයෝජනයට ගැනීමට තරම් වෙන් කළ වත්කමක් නැත. එදිනෙදා වියදම් වලට පවා ධනය හි`ග පසුබිමක දුප්පත් ජනතාවට ජීවත්වීමට අත්‍යවශ්‍ය ආහාර සැපයීම හැර අනෙක් දෙයක් ගැන අවධානය යොමු කිරීම දුෂ්කරය. විස`දුමක් නැති අවස්ථාවක සිය ජීවිතයෙන් වන්දි ගෙවීම එහි අන්තිම ප‍්‍රතිඵලය වී තිබේ.

අතට ලැබෙන හැම සතයක්ම පරිභෝජනයට වියදම් කරන්නට කලින් හදිස්සියක දී ප‍්‍රයෝජනයට ගැනීම අරමුණු කරගෙන වෙන්කිරීම සුදුසුය. ගැමි ගෙදරක පවා මිටි හාල් මුටිටියක් තිබුණි. එය මෙරට සංස්කෘතියේ ලක්ෂණයකි. එදා ආහාරයට ගන්නා හාල් වලින් අත් මිටක් ආපසු වෙනත් භාජනයකට දමා වෙන්කළේ හදිසියකට ගන්නටය. එවැනි වැදගත් තැන් අමතක කළ යුතු නැත. සාමන්‍ය ජනතාවට පවා හදිසියක දී ගැනීම සදහා ඉතිරි කරන අගය කියා දිය යුතුය. ඉතිරි කිරීමකට යා හැකි පරිදි ආර්ථිකය හා බැංකු ක‍්‍රමය නැවත ප‍්‍රතිනිර්මාණය කිරීම රජයේ වගකීමකි. නොවැලැක්විය හැකි විපතක දී ජනතාවට අන් සරණක් නැත. රජය එහි දී නිසි පිලිවෙලක් අනුගමනය කළ යුතුය. සහන ප‍්‍රකාශයට පත් කරන විට ඒවා යතාර්ථවාදි විය යුතු අතර කෙලින්ම ජනනතාවට ලැබෙන්නට සැලැස්වීම වැදගත්ය.

ක‍්‍රමයෙහි පවතින දුර්වල පැති වලින් පාඩමක් ඉගෙන ගැනීම අවශ්‍යය. ඊයේ සිදුවූ අවාසනාවන්ත සිද්ධිය හෙට අමතක කරන සමාජයකින් අනාගතය කෙරෙහි සුබවාදී බලාපොරොත්තු ඇතිකරගන්නට පුලූවන්කමක් නැත. පාඩම අමතක වෙන්නට ඉඩ නොදෙන සේ නිසි පිලියම් යෝජනා කරන බුද්ධි මණ්ඩප වහා ක‍්‍රියාත්මක විය යුතු අතර රටට අවශ්‍ය එවැනි අරගලයකි.