m prash

2020/06/03 – ලංකාදීප

කොවිඞ් 19 ලෝක වසංගතය කෙබදු අවසානයක් කරා ගමන් කරන්නේ ද යන්න නිශ්චිත නැත. ජීවිත විශාල සංඛ්‍යාවක් අහිමි වනු ඇත. ආර්ථිකය බිද වැටේ. සියළු වියදම් අභිබවා සෞඛ්‍ය පිරිවැය ඉහළ යන්නට ඉඩ තිබේ. වයිරසය පරාජය කරන ප‍්‍රතිකාර සොයා විද්‍යාත්මක පර්යේෂණ සිදුවන බව ලෝකයේ දසතින් අනාවරණය වෙයි. ව්‍යාප්තිය පාලනය කර ජන ජීවිත ආරක්ෂා කරගන්නට ශ‍්‍රී ලංකාව සමත්විය. ලෝකයේ ඉතා දියුණු රටවල තත්ත්වය හා සසදන විට එය කැපී පෙනෙන ලක්ෂණයකි.

මිනිසුන් ජීවත් කරවීමේ පියවර වැදගත් බව සලකා ආණ්ඩුව තීරණ ගත් බව පැහැදිලිය. වලක්වා ගැනීම සදහා බල කරන අතර සහන අවශ්‍ය ජන කොටස් වලට ආධාර සැපයීය. අවශ්‍ය අවස්ථාවල තද තීරණ ගෙන ජනතාව නිවෙස්වලට සීමා කළේය. ආර්ථික ක‍්‍රියාවලියට එයින් අත්වන ඉරණම නොසලකා හැරියේය. දේශපාලන ව්‍යුහය අභිබවා තාක්ෂණික අංශ ඉදිරියට පැමිණියේය. නිලධාරීහු වැඩ කළහ. විශේෂයෙන් සෞඛ්‍ය කාර්ය මණ්ඩලයේ කැපවීම ඉහළින්ම තිබුණි. පොලිසිය හා ත‍්‍රිවිධ හමුදාව දිවා රාත‍්‍රිය නොසලකා සේවය කළහ. දේශපාලනඥයන්ගේ නියෝග වලට අවතන වෙමින් සහ දේශපාලන නායකයන්ගෙන් උත්තරයක් එන තෙක් තීරණ නොගන්නා ආකෘතියක තිබුණ රට අනෙක් ක‍්‍රමයකට හැරිණි. විශේෂඥ අදහස් වලට ජනී ජනයා අවනත වූහ. සියළු මතවාද පැත්තකින් තබා එක අදහසකට ගොනුවූ අතර එය මෑත ඉතිහාසය තුළ දේශපාලනයට කළ නොහැකි වූූ දෙයකි. ප‍්‍රජාතන්ත‍්‍රවාදී පාලනය පැත්තකට කළ යුතු බවක් මෙයින් අදහස් නොකෙරේ. අවස්ථානුකූලව සිදුවූ එම කේන්ද්‍රීය වෙනස රට යහපත් තැනකට ඔසවා තිබේ.

කොවිඞ්-19 වයිරසය මැඩ පැවැත්scan0245වීමෙන් පසු ලෝකය අලූත් ආරම්භයකට ගමන් කරනු නිසැකය. ආර්ථිකය, සෞඛ්‍ය, අධ්‍යාපන, ප‍්‍රවාහන හා නිෂ්පාදන ඇතුළු සියළු පැති නවතම විද්‍යාත්මක හා තාක්ෂණික යුගයකට ඇතුළුවීමක් අපේක්ෂා කළ හැකිය. විකල්ප ව්‍යුහ හැදෙන්නට බැරි නැත. සාමාන්‍යයෙන් මෙතෙක් තිබුණ ලෝකයේ ගමන් මග තිබුණ වේගය වඩා ඉක්මන්වීමට ඉඩ තිබේ. ඩිජිටල්කරණ භාවිතාව, සමාජ දුරස්ථකරණය වඩා ප‍්‍රායෝගික කරන්නට අවකාශ සලසනු ඇත. එමගින් ලබාගත හැකි අවස්ථා නොසිතන, නවතම පැති විවර කරන්නට ඉඩ තිබේ. ශ‍්‍රී ලංකාව රටක් වශයෙන් මෙකී පරිවර්තනය ගැන අවධානය යොමු කරන්නට අවශ්‍යය. වයිරසය තවමත් පවතින අතර වැඩ කරන්නට සූදානම්වීම කාලෝචිතය. ජනතාව ආරක්ෂා කරගැනීමේ අවකාශයෙන් පසු ජීවනෝපාය නැවත අරඹන අභියෝගය එල්ල වී තිබේ.

අර්බුදකාරි අවස්ථාවක ගත යුතු තීරණ ඉමිහිරි ඒවා නොවේ. තද තීන්දු හා ප‍්‍රතිසංස්කරණ හැර අනෙක් මාවතක් නැත. රට නැවත සකී‍්‍රය කරනු අරමුණු කරගෙන අනුගමනය කරන ප‍්‍රතිපත්ති වලින් ආණ්ඩුවට ජනප‍්‍රියත්වයක් නොලැබේ. දේශපාලන ප‍්‍රතිරූප ගැටළු සහගත තැනකට පත් කරනු ඇති අතර එහි අවසාන ප‍්‍රතිපලය නැවත පැවැති පුරුදු විලාසය මතුකිරීමය.

මාස දෙකක පමණ කාලයක් නිලධාරීන් භාරයේ තිබුණ පාලනය නැවත දේශපාලනඥයන්ගේ අතට මාරු වන මොහොත උදා වී තිබේ. ජීවනෝපාය අරඹන පියවරට සමාන්තරව එය සිදුවෙමින් පවතින බව දැක්විය යුතුය. වයිරසයේ ග‍්‍රහනයෙන් ගැලවෙමින් වැඩ පොලට යන අතරවාරයේ නැවත දේශපාලන හඩට අවනත විය යුතුය. දේශපාලනඥයන් හැසිරෙන අන්දම ගැන ජනතාව ප‍්‍රශ්න කරන්නට පටන්ගෙන ඇත. එයට යම් විරුද්ධතා පැන නැගෙමින් තිබේ. එය ප‍්‍රජාතන්ත‍්‍රවාදයේ තවත් ලක්ෂණයකි. අසාධාරණකම්, සමාජ වෛරය සහ එහි ප‍්‍රතිපලයක් ලෙස ගැටුම් ඇති විය හැකිය.

පවතින අවකාශය තුළ ජනතාව සතු වගකීම ඉමහත්ය. කොතැන, කෙලෙසක කුමක් සිදුවුව ද තමන් ආරක්ෂා විය යුතුය. පාලනය කරගෙන ඇති වයිරසයේ දෙවැනි රැල්ලක් නැගෙන්නට ඉඩ තිබේ. රෝහල්වල හදිසි  ප‍්‍රතිකාර ඒකක වලට දරාගත හැකි මට්ටම අභිබවා ගියහොත් බලවත් අනතුරකි. පක්ෂ හා විපක්ෂ මතවාදවලින් පැන නැගෙන තත්ත්වය අනෙනකි. නැවත සාමාන්‍යකරණය වන අවස්ථාවක නිසි පිලිවෙත් අඛණ්ඩව අනුගමනය කර ස්වකීය ආරක්ෂාව කෙරෙහි සැලකිල්ල ඉතාම වැදගත්ය.