m prash

2020/03/04 – ලංකාදීප

අනන්‍යතාව සම්බන්ධ ගැටළුවක් රටට තිබේ. වසර දෙදහස් පන්සියයකට වැඩි ඉතිහාසය ගැන ආඩම්බරයෙන් කතා කරයි. වසර තිස් පන්දහසක කාලයක සිට මානව ජනාවාස තිබුණ බවට සාක්ෂි ඇත. මෙපමණ දීර්ඝ අතීතයක් පවතින නමුත් ශ‍්‍රී ලාංකේය අනන්‍යතාව හමවේ එකගතාවයක් නැත. එයට හේතුවක් තිබේ. බෙදීම් බහුලය. ජාති, ආගම් හා භාෂා වශයෙන් මිශ‍්‍රවීමක් තිබේ. රටට එල්ල වූ ආක‍්‍රමණ මෙකී මිශ‍්‍රවීම හා බේදීම් ඇති කරන ලද බව සදහන් කළ යුතුය. චෝල ආක‍්‍රමණයේ සිට අවසානයේ දී ඉංග‍්‍රීසි ජාතිකයන් දක්වා ලංකාව යටත් කරගත් අතර බැහැර සිට පැමිණි නොයෙක් ජාතීන් එකනෙකට වෙනස් ඇවතුම් හා පැවැතුම් වලට යටත් කළහ. මෙම ආක‍්‍රමණ නතර වී නැත. අද වෙනස් මුහුණුවරකින් සිදුවෙයි. රට රටවලට යන එන හා එම රටවල් සමග පවත්වන සම්බන්ධතා එයට පාදක වී ඇත.

ජන සමාජය එකතු කර එකමුතු කිරීමේ දී ශ‍්‍රී ලාංකේය අනන්‍යතාවයක් ඇති කිරීම අවශ්‍යය. අපේකම සම්බන්ධයෙන් පවතින දුබලතා රට ගොඩනැගීමේ  දී බරපතල බාධකයක් වී තිබේ. ඇදුම පැළදුම, කතා බහ, චාරිත‍්‍ර වාරිත වල සිට සියළු දේ ගැන අලූතින් අවධානය යොමු කිරීම වැදගත්ය. සියළු දෙනා රට එකතු කරන්නට අවශ්‍ය බව ප‍්‍රකාශ කරති. එහෙත් ක‍්‍රියාවට නැගෙන්නේ නැත. අපේකම ගැන නොතැකීම එයට ඇති බලවත් බාධකයකි.

ආයුබෝවන්scan0152 කියන්නට අපට මැලිකමක් තිබේ. එය හොද ප‍්‍රාර්ථනයකි. අමුත්තන් හමුවන විට ආයුබෝවන් කියා එකිනෙකා සමාචාර පවත්වා ගැනීමට යම් ප‍්‍රවේශයක තිබුණ නමුත් අද එය අමතක වී තිබේ. අතට අත දෙන වෙනත් රටක සිරිත වෙනුවට අත් එකතු කර ආයුබෝවන් යැයි සුබපතන්නට නොහැකි මන්ද?

ලෝකයේ නොයෙක් රටවල අනන්‍ය ආචාර විධි තිබේ. බටහිර රටවල කරන සිප වැළද ගැනීම අපට නුහුරුය. ශරීර ස්පර්ශය අවදානමක් වන තරමට හැරී තිබීම අනෙකකි. ලොව පුරා පැතිරෙන කොරොව් -19 වසංගතය ඉතාම භයානක තැනකට හැරී තිබේ. රෝගී පිරිස ස්පර්ශ වීම වයිරසය පතුරවන්නට හේතු වී ඇති බව ප‍්‍රකාශවෙයි. අමුත්තන් හමුවන විට මුළු ගැන්වෙන තත්ත්වයක් අද උදා වී ඇත. අත් එකතු කර ආයුබෝවන් යැයි ප‍්‍රකාශ කිරීම ගැලපෙන සුබපැතීමකි. අපගේ අනන්‍ය ක‍්‍රමය ජගත් ප‍්‍රජාව අතරට යැවිය හැකි අවස්ථාවක දී නිසි පියවර ගැනීම සුදුසුය.

අතට අත දෙන ආචාර ක‍්‍රමය බටහිර අධිරාජ්‍යවාදීන්ට යටත්ව සිටි කාලයේ දී ලංකාවට හුරු වී ඇත. ඉහළ පැලැන්තියේ ස්වදේශිකයන් අතට අත දී බටහිර අනුගමනය කළහ. අතට අත දෙන සම්ප‍්‍රදායක් බි‍්‍රතාන්‍ය රදලයන් අතර නිර්මාණය වන හේතුව ද අවධානයට ගැනීම වැදගත්ය. තමන්ගේ හුරු අත ඉදිරියෙන් සිටින අමුත්තාට දෙන විට ඔහු ට දෙන පණිවුඩයක් ඇත. තමන්ගේ කඩුව ඇද සටනකට සූදානම් නැති බවය. ඉදිරියෙන් සිටින්නා කඩුව හුරු අත තමන්ට දෙන විට මිත‍්‍රයෙකු බව වටහා ගන්නා අමුත්තා ද සිය හුරු අත පා සටනකට සූදානම් නැති බව අගවයි. අදට නොගැලපෙන මෙම ක‍්‍රමය නඩත්තු කරන්නට ශ‍්‍රී ලාංකිකයන් වශයෙන් අප උනන්දු වන්නේ ඇයි? බටහිර ඇදුමකින් සැරසී අතට අත දෙනු වෙන්වට රටට ගැලපෙන ක‍්‍රමයකට යා යුතුය.

ආයුබෝවන් යැයි ප‍්‍රකාශ කිරීම පෙරදිග ක‍්‍රමයයි. ඉන්දියාව අත් එකතු කර නමස්තේ වශයෙන් ප‍්‍රකාශ කරන අතර ජපානය ක`ද ඉදිරියට නවා තමන්ගේ ලැදියාව දක්වයි. දෙතුන් වතාවක් කද නවා ආචාර කරන විට අමුත්තා කෙරෙහි ඇති සැලකිල්ල ඉහළ බව පිලිගත යුතුය. ඉන්දියාව, ජපානය හෝ බි‍්‍රතාන්‍ය අනුගමනය කළ යුතු නැති ශ‍්‍රී ලංකාව ලාංකිකත්වය දැක්වෙන ආචාර විධියකට හුරුවීම සුදුසු බව සදහන් කළ යුතුව ඇත.