m prash

 

2010/02/19 – ලංකාදීප

ඉතාලියේ වෙනෙටෝ කලාපයේ කුඩා නගරයක මෑතක දී බලයට පත් නගරාධිපතිනිය සිය නගර වැසියන් වෙනුවෙන් වෙනම මනෝ උපදේශකවරයෙකු පත් කර ඇත. නිතිපතා වාර්තාවන දස දහසකුත් එකක් ප‍්‍රවෘත්ති මැද මෙම සිද්ධිය විශේෂ එකක් වශයෙන් ලෝක අවධානයට ලක් වී තිබේ. නගරාධිපතිනිය ඇන්ටොනෙල්ලා ආර්ජෙන්ති ය. මැතිවරණයේ දී ඇයට සෑහෙන ජනතා ප‍්‍රසාදයක් ලැබුණි. බලයට පත් වූ වහා බාධාවකින් තොරව ජනතා ප‍්‍රශ්න වලට සවන් දෙන තීරණයක පිහිටා කටයුතු කළාය. දුරකතන මාර්ග විවෘත කළ අතර කාර්යාලය ජනතා ප‍්‍රශ්න වලට සවන් දෙන තැනක් බවට හැරවීය. පසුගිය වසරේ මැයි මාසයේ බලයට පත් වූ ඇය තමන් වෙත එන මැසිවිලි වලින් හෙම්බත්වී සිටින්නීය. මනෝ උපදේශන සේවාව එහි ප‍්‍රතිඵලයකි.

‘‘ඔබ කිසිසේත් මෙම කතාව විශ්වාස කරන එකක් නැහැ’’ නගරාධිපතිනි ඇන්ටොනෙල්ලා ඉතාලියේ පුවත්පතකට ප‍්‍රකාශයක් අරඹන්නේ එසේය. ‘‘බලයට පත් වූ මුල් මාස කිහිපය තුළ සෑහෙන ජන කොටසක් මුණ ගැසෙන්නට පැමිණි අතර තරුණ, මහළු, කාන්තා, පිරිමි සහ නොයෙක් කණ්ඩායම් අතරින් බහුතරයකට තනිකම ගැන ප‍්‍රශ්න ඇති’’ බව දක්වයි. තමන්ගේ ගැටළුව නිවී සැනසිල්ලේ කියා ගන්නට කෙනෙකු නැත. නගරාධිපතිනිය හමුවී දහසකුත් දේ කියන්නට සියළුම දෙනාට උවමනා වී තිබුණ අතර අඩු තරමින් දුරකතන ඇමතුමකින් හෝ කතාකරන්නට අවශ්‍ය වී ඇත. එවැනි කතා බහ සාමාන්‍ය වේලාව ඉක්මවායයි. පැය ගණන් දුක්ගැනවිලි වලට සවන් දෙන නගරාධිපතිනිය ගේ පුද්ගලික ජීවිතය පවා සංකීර්ණ තැනකට පත්වූ බව දැක්වෙයි. අවසානයේ දී ජනතාවට සවන් දෙන මනෝ චිකිත්සකයෙකු පත් කරන අතර සමහරවිට එය එක්තරා විසදුමක් විය හැකි බව නගරාධිපතිනිය කියා සිටින්නීය.

අතිශය කාර්ය බහුල සංකීර්ණ ජීවන රටාව තුළ පැවැතිය හැකි ස්වභාවය ඉතාලියේ කුඩා නගරයක සිද්ධියෙන් අනාවරණය වන බව තේරුම් ගත යුතුය. ජනී ජනයාට ප‍්‍රශ්න තිබේ. වගකිවයුතු කාට හෝ කියා ගන්නට අවශ්‍යය. ඇතැම් ප‍්‍රශ්න වලට විසදුscan0238මක් අවශ්‍ය නැත. නිලධාරීන්ගේ ගැටළු, ඔවුන් නිසි තීරණ නොගන්නා බව, සුළු අමානුෂික සිද්ධි හෝ පරිසරය සම්බන්ධ කාරණ ඒ අතර තිබිය හැකිය. ප‍්‍රදේශයේ තීරණ ගන්නා ඉහළම තැනට කතාකර කරුණු පෙන්වාදීම ද ප‍්‍රමාණවත්ය. සමහර දෙනෙකු වියපත් අතර හුදෙකලාව ජීවත්වන ඔවුන්ට හිතේ ඇති කරුණු කියා ගැනීමට කිසිවෙකු නැත. මෙම සිද්ධිය ගැන කල්පනා කරනවිට එය හුදෙක් ඉතාලියේ කුඩා නගරයක පමණක් නොව අප ජීවත්වන සමාජයේ සෑම අයෙකුටම බලපා ඇති සාධාරණ අවශ්‍යතාවයක් බව තේරුම් ගැනීම වැදගත්ය.

සංවර්ධන ව්‍යාපෘති හෝ ආර්ථිකයේ වර්ධනය වැනි දැවැන්ත මාතෘකා ගැන හිතන මැති ඇමැතිවරුන්ට ජන සමාජයේ අනෙක් පැත්තක දැවෙන සාමාන්‍ය ගැටළු ගැන අවධානය යොමු කරන්නට වෙලාවක් නැත. අහිංසක පුරවැසියෙකු මහජන මෙරට නියෝජිතයෙකු හමුවට පැමිණ කතාව ආරම්භ කළහොත් අත් විය හැකි ඉරණම කුමක්ද? මහජන නියෝජිතයා නොඉවසිලිමත්ය. ඔහුට හෝ ඇයට තවත් රැස්වීමකට වහා පිටත්ව යා යුතුය. තම නායකයාගේ ඉරියව් දකින ලේකම්වරු හෝ ආරක්ෂකයෝ අමුත්තා පැත්තකට කරන්නට සූදානම්ය. සැනසිල්ලේ යමක් කියා හිත නිදහස් කරගන්නට පැමිණි පුද්ගලයා තවත් අසරණ වන අතර හිතේ ඇති ගැටළුව කියාගත  නොහැකි තැනට පත්වෙයි. ඡන්දයෙන් බලයට පත් කළ නායකයා සුපිරි රියක නැගී පිටත්ව යන විට පුරවැසියා තුළ ඉතිරිවෙන්නේ වෛරයක් පමණකි.

මෙවැනි සිද්ධිවලින් අනූන සමාජයක අවසාන ඉරණම කුමක්ද? මහජන නියෝජිතයෝ සවන්දෙන්නන් විය යුතුය. පොදු ජනතාවට ඉශ්ඨ කරගත නොහැකි වූ දහසකුත් එකක් දේ තිබේ. කියා ගන්නට සෑහෙන කරුණු ඇත. අහන්නට වගකිව යුත්තෙකු නැත. ජනතාව පත් කළ නියෝජිතයා පමණක් නොව මෙරට නිලධාරීහු පවා ජනතාවගේ පැත්තෙන් සවන්දෙන්නට වෙලාවක් නැති පිරිසකි. තමන්ගේ ප‍්‍රශ්න කියන්නට ආකාරයක් නැති ජනී ජනයා එයින් හෙම්බත්ව ඒවා සමග ජීවත්වෙති. මෙම රාමුව වෙනස් කරන පියවරක් අවශ්‍යය. ගැටුම්, අර්බුද නිලධාරීවාදය සහ අවස්ථාවක් නැති ජන සමාජයට හිතේ ඇති දෙයක් නිවී සැනසිල්ලේ කියා ගන්නට ක‍්‍රමය සකස් කිරීම අවශ්‍යය. ප‍්‍රශ්න වලට සවන් දී යමක් සිදුවන බව පැහැදිලිවන පිලිවෙලක් ස්ථාපිත කළ යුතුය. සැනසිලි සහගත ජන සමාජයක් බිහිකරන්නට පදනම එතැන ඇත.