m prash

 

2020/02/04 – ලංකාදීප

එක්සත් අරාබි එමීරේට්ස් රාජ්‍යයේ සතුට සහ ඉවසීම වෙනුවෙන් අමාත්‍යංශයක් පිහිටුවා තිබේ. එහි ඇමැතිධුරයට පත් කරන්නේ විසි දෙහැවිරිදි තරුණයෙකි. ලෝක ප‍්‍රජාවගේ ඉවසීම හා සතුට අරමුණු කරගෙන සමුළුවක් ද පසුගිය වසරේ නොවැම්බරයේ දී සංවිධානය කර තිබුණි. රටවල් සෑහෙන ප‍්‍රමාණයකින් අමුත්තෝ දහස් ගණනක් එයට සහභාගී වූහ. මැදපෙරදිග ධනවත් රටක සිදුවූ මෙම අලූත් පත් කිරීම සැනසිල්ල සොයන සියළු පාර්ශවයන් හි බලවත් අවධානයට පත් ව තිබේ.

නිදහස දිනා ගැනීම ගැන හැත්තෑ දෙවසරක අභිමානය සමරන ශ‍්‍රී ලංකාව සතුට, ඉවසිල්ල සහ සමාදානය සම්බන්ධයෙන් ජන සමාජයේ පවතින තත්ත්වය කෙරෙහි සැලකිලිමත් විය යුතුය.

එක්සත් අරාබි එමීරේට්ස් රාජ්‍යය සතුට හා ඉවසීම අරමුණු කරගෙන අමාත්‍යංශයක් නිර්මාණයකරන විට ලෝක ප‍්‍රජාව එයට හේතු සොයා බැලූහ. තරුණන් අතර නොඉවසිල්ලක් තිබේ. අරාබි වසන්තය එය අනාවරණය කළ අතර අනාගතයට මුහුණ දිය යුතු බව එක්සත් අරාබි එමීරේට්ස් රාජ්‍යයේ පාලකයෝ ප‍්‍රකාශ කළහ. පසුගිය වසර පහ තුළ සිදුවූ අසමත් සිද්ධි වලින් පාඩමක් ඉගෙන ගත් බව වැඩිදුරටත් පෙන්වා දී ඇත. තරුණ සිතුම් පැතුම් හා ආකල්ප සම්බන්ධයෙන් අවබෝධයක් ඇති තරුණයෙකු ඇමැති ධුරයට පත් කිරීමෙන් ප‍්‍රායෝගික තීරණයකට එළැඹි බව පෙනේ. තරුණන් ගැන රටක් වශයෙන් ආඩම්බර වන බව දක්වන එක්සත් අරාබි එමීරේට්ස් පාලකයෝ තරුණ පෙළ තම අනාගතය වන අතර නවීන තාක්ෂණ යුගයේ ඉදිරියට එන අලූත් පරපුරට දොරටු විවෘත කළ යුතු බව ද දක්වයි.scan0182

එක්සත් ආරාබි එමීරේට්ස් රාජ්‍යය මැද පෙරදිග කලාපයේ වඩා දියුණු ආර්ථිකයක් ඇති රටකි. සවුදි අරාබියට පමණක් දෙවැනි වී තිබේ. මිලියන දහයක පමණ ජනගහනයක් සිටින අතර එයින් සෑහෙන කොටසක් වෙනත් රටවලින් පැමිණි අය බව දැක්වෙයි. ලෝකයේ බොරතෙල් සම්පත සහිත රටවල් අතර හත්වැනි තැන සිටී. ආර්ථික ප‍්‍රතිසංස්කරණ සමග ආයෝජන හා තාක්ෂණ අංශවල ව්‍යාපාර අරඹන්නට ඉඩ  දී තිබේ.

ශ‍්‍රී ලංකාව සතුට හා ඉවසිල්ල සම්බන්ධව පාඩම් ඉගෙන ගත යුතු රටකි. පසුගිය දශක හත තුළ ජන සමාජයට ඉවසිල්ලක් නොතිබුණ අතර එහි ප‍්‍රතිඵලයක් වශයෙන් සතුට සීමා වී තිබුණ බව නොරහසකි. කැරළි හෙයින් දස දහස් ගණනින් තරුණ ප‍්‍රජාව රටට අහිමි විය. එය මෙරට ප‍්‍රගතිය අවහිර කළේය. ජාති, ආගම්, භාෂා, කුලය හා පැලැන්තිය වශයෙන් සමාජය බෙදී බේධ භින්න වී ඇත. නුතන මාධ්‍ය භාවිතාව විශේෂයෙන් සමාජ මාධ්‍ය භාවිතය ඔස්සේ තත්ත්වය උත්සන්න කරන බව නිරීක්ෂණය කළ හැකිය. සමාජ එක`ගතාව හා සංහි`දියාව ගැන විශාල ව්‍යාපෘති ක‍්‍රියාත්මක කරන උත්සාහ පවතින නමුත් එයින් ලැබී ඇති ප‍්‍රයෝජනය සැලකිය යුතු එකක් නොවේ.

තරුණන්ට අවස්ථාව හිමි විය යුතුය. ව්‍යවස්ථාවෙන් හෝ නීති රීති වලින් පංගු බෙදීම ප‍්‍රායෝගික නැත. සමාජය තුළ තරුණ ජවය හා ශක්තිය කෙරෙහි විශ්වාසයක් තිබිය යුතු අතර නිසි අවස්ථාවේ දී තරුණන්ට තැනක් දී ඉවත්වෙන්නට වැඩිහිටි පරම්පරාව තීරණය කළ යුතුය. මෙරට වගකිව යුතු තැන් වල විශේෂයෙන් දේශපාලනයේ දී තරුණ නියෝජනයට අවස්ථා වැඩි කිරීම අවශ්‍යය. වයස්ගතම පිරිස මැති ඇමැතිධුර බෙදා ගත් පසු තරුණ ප‍්‍රජාවගෙන් ඉවසිල්ලක් අපේක්ෂා කළ හැකිද? අවස්ථා අහිමි සමාජයකින් සතුට, සැනසිල්ල බලාපොරොත්තු වෙන්නට පුලූවන්ද?

අනාගතය ගැන ප‍්‍රශ්න කළහොත් ශ‍්‍රී ලංකාවේ තරුණ ප‍්‍රජාව දෙන උත්තරය කුමක්ද? උසස් අධ්‍යාපනය ලබන සෑම තරුණ තරුණියකම තම අනාගත අභිවෘද්ධිය තකා විදෙස් රටකට පැන ගැනීමේ නොනිත් ආශාවක සිටිති. එහි සිංහල, දෙමල හෝ මුස්ලිම් බේධයක් නැත. අධ්‍යාපනය ලැබීමෙන් පසු රටට සේවය කරනු වෙනුවට රට හැර යන මානව සම්පත ශ‍්‍රී ලංකාවට බිහි කරන අනාගතය ගැන කල්පනා කරන්නට අවශ්‍යය. සතුට, සැනසිල්ල සහ ඉවසීම ඇති කරන ක‍්‍රමවේද ගැන අවධානය යොමු කළ යුතු අතර එය පැවැත්ම කෙරෙහි බලපවත්වනු නිසැකය. රට ගැන හිතන තරුණ පරපුරක් වෙනුවෙන් යමක් කළ යුතු දිනය උදා වී තිබේ.