m prash

2020/01/15 – ලංකාදීප

ලොව පුරා දෙමළ ජනතාව අද දිනයේ දී තයිපොන්ගල් උත්සවය නිමිති කරගෙන වතාවත් පවත්වති. වැදගත් සංස්කෘතික සමාජයීය පිලිවෙත් විදහා දක්වන අනර්ඝ පිලිවෙතක් වශයෙන් සදහන් කළ හැකිය. තයිපොන්ගල් උත්සව පුරාණය දකුණු ඉන්දියාව දක්වා විහිදෙයි. ගොවිතැනේ දී ලැබුණ සරු අස්වැන්න වෙනුවෙන් කෘතවේදීත්වය පළ කිරීම මෙම උත්සවයේ සංකල්පීය පොදු ලක්ෂණය බව සදහන් කළ හැකිය.

සොබාදහමේ කාරුණිකත්වය ගොවියන්ට ඉතා වැදගත්ය. හිරු එළිය ප‍්‍රධාන වශයෙන් සලකා බැලේ. සූර්ය ශක්තිය අනුව සොබා දහම පවතින බවව පුරාණ සංස්කෘතීන් දැන සිටියහ. ගොවියා හා සමානව කෙතට බැස මෙහෙවරෙහි යෙදෙන ගවයා ගේ කාර්යය ද මිළ කළ නොහැකිය. අස්වනු නෙළාගත් පසු සූර්යයා වෙත ප‍්‍රතිචාර දක්වන ගොවීහු ගොවිතැනට නිසි දායකත්වයක් දැක් වූ ගවයෝ සරහා හො`ද ආහාර පාන සපයා සතුටට පත් කරති. අතීතයේ දී දෙවියන් සේ සලකා හිරු නමදින ලද අතර සෑම අවස්ථාවකම හිරු ගේ ප‍්‍රයෝජනය අගය කළහ. ආවේනික සැරසිලි කරන පැරණි කාල වකවානුවේ මිදුලේ කෝළම් රටා ඇද එය පරපුරෙන් පරපුරට ගෙන යන සිද්ධියක් බවට හරවති.  ආහාර පාන සහ කැවිලි, අලූත් ඇදුම් අසල්වැසියන් සමග බෙදා හදා ගන්නා දෙමළ ප‍්‍රජාව එයින් සතුටට පත් වෙති. මෙම එකිනෙක අංශ පදනම් කරගෙන තයිපොන්ගල් උත්සවය දින තුනක් පවත්වන ආගමික හා සංස්කෘතික ප‍්‍රබෝධමත් එකක් බව පැරණි වාර්තා දක්වයි.

දකුණු ඉන්දියාවෙන් පැතිර ලෝකයේ තැනින් තැන ගිය දෙමළ ජනතාව තයිපොන්ගල් සංස්කෘතිය හැම හදවතකටම කාන්දු කරන්නට සමත්ව ඇත. මෙරටට පැමිණි දෙමළ ජනතාව එය ශ‍්‍රී ලාංකේය පැවැත්මට මුහු කර ගෙන තිබේ. මැලේසියාව, සිංගප්පූරුව, ඇමරිකාව, බි‍්‍රතාන්‍යය ඇතුළු ලෝකයේ නොයෙක් රටවල ජීවත්වන ඩයස්පෝරාව ස්වකීය උරුමය සිහිපත් කරන අවස්ථාවක් බවට පත් කරගෙන සිටින බව නිරීක්ෂණය කළ හැකිය.

දෙමළ ජනතාව තයිපොන්ගල් උත්සවය පවත්වන විට සිංහල වැසියෝ භාග්‍යවන්ත මාසයේ දී අවුරුදු උත්සවය පවත්වති. නව වසරක් උදා වූ බව කල්පනා කර මධ්‍යම රාත‍්‍රියේ සිට පහන් වන තුරු සාද පවත්වන ලද ඇතැම් දෙනෙකු පවා රටක ජීවත්වන ජනී ජනයා පවත්වන උත්සවවල උල්පත අවබෝධ කරගෙන සිටිය යුතුය. තයිපොන්ගල් දිනය හුදෙක් නිවාඩු දිනයක් නොවේ. එයට එපිටින් බලවත් දර්ශනයක් ඇත. ශ‍්‍රී ලාංකිකයන්ගේ අනන්‍යතාව හා සමානව සෞභාග්‍යය හා තෘප්තිය ගැන ප‍්‍රවේශයක් තිබේ.

අනෙක් පාර්ශවයේ අනන්‍යතා හැදිනනගෙන ඒවාට ගරු කිරීම අප සියළු දෙනාගේ වගකීමකි. තයිපොන්ගල් දිනයේ දී දෙමල ජනතාව සතුටුවන අන්දමට සිංහල අවුරුද්දේ දී සිංහලයන් ප‍්‍රමෝදයට පත් විය යුතුය.

ජන ජීවිතය, ආහාර සහ පැවැත්ම ගැන අතීතයෙන් එකතු වී ඇති දර්ශනය ගැන නැවත වතාවක් හිතන්නට කාල වකවානුවක් එළැඹ තිබේ. මෙම තයිපොන්ගල් සහ එළැඹෙන සිංහල අවුරුද්ද එයට පදනමකි. ලෝකය පුරා පවතින කාලගුණ හා ස්වභාවික කැළඹිලි ක‍්‍රමයෙන් තීරණාත්මක තැනකට ප‍්‍රවේශ වී තිබේ. අනෙකා ගේ පැවැත්ම නොඉවසන රටාවක් තුළ ස්වභාවිකත්වය අගය කරන මානසිකත්වයක් ඇති කරගැනීමට පුලූවන්කමක් නැත. අනෙක් පාර්ශවය ගැන මනස යොමු නොකරන  වරද තුළ සියළු විපත් හා අර්බුද පැන නැග ඇති බව අවධානයට ගත යුතුය. සංස්කෘතික අනන්‍යතා තුළ ඇති උරුමය වටහා ගැනීම වැදගත්ය. සන්සුන් සිතින් මැදහත්ව ජීවත්විය යුතු අතර සොබා දහම හා සමීපවීම සාර්ථකත්වයට හේතුව බව ඉතිහාසය මනාව සනාථකර ඇති ධර්මතාවයකි.