m prash

2020/01/08 – ලංකාදීප

ඉරාන හමුදා ප‍්‍රධානි කසෙම් සුලෙයිමානි ගේ ඝාතනය ලෝකය පුරා කැළඹීමක් ඇති කර තිබේ. ඉරාකයේ බැග්ඩෑග් ගුවන් තොටුපොල අසල දී එල්ල කරන ලද ඩෝන ප‍්‍රහාරයකින් ඔහු ජීවිතක්ෂයට පත් විය. ඇමරිකානු ජනාධිපති ඩොනල්ඞ් ට‍්‍රම්ප් ගේ අනුදැනුම ඇතිව මෙම ප‍්‍රහාරය එල්ල කරන ලද බව සදහන්ය. ඉරානයේ උත්තරීතර නායකයාට පසු බලවත්ම චරිතය වශයෙන් ඉමහත් ගෞරවයට පාත‍්‍ර වි සිටියේය. මරණයෙන් පසු දෙවියන්ගේ දොරටුව විවෘත වන යහපත් පුද්ගලයන්ගේ වරම ජීවත්ව සිටිය දී හිමිකරගෙන සිටි හෙතෙම ඉරානයට එපිටින් ඇති මැදපෙරදිග රටවල ෂියා අයිතිවාසිකම් වෙනුවෙන් පළ කළ නිර්භීත බව එයට හේතු විය.

ඝාතනයට ලක්වන විට සුලෙයිමානි, ඉරාක යේ නිල සංචාරයක නිරතව සිටියේය. එරට අගමැතිවරයා මුණගැසීමට නියමිතව සිටි අතර ත‍්‍රස්තවාදියෙකු නොවන හමුදා නායකයෙකු වෙනත් රටක දී ඝාතනය කිරීම ඇමරිකානුවන් පවා මවිත කළ කාරණයකි. එක්සත් ජාතීන්ගේ සංවිධානයේ අයුක්ති සහගත ඝාතන සම්බන්ධ නිලධාරිනිය ඇතුළු ලෝක නායකයෝ සිද්ධිය හෙළා දැක නිවේදන නිකුත් කර ඇත. ත‍්‍රස්තවාදය තරමටම බලහත්කාරය වර්ධනය වී ඇති අතර ඩ්‍රෝන තාක්ෂණය වැනි උපක‍්‍රම ඉදිරියේ ආරක්ෂාව සම්බන්ධ බරපතල ගැටළු පැන ලෝකයේ පැන නැගී ඇති බව පෙනේ.

1980-88 කාලයේ ඉරාන ඉරාක යුද්ධයේ දී සොලෙයිමානි ගේ දක්ෂතාවය කැපී පෙණින. අයිසිස් ත‍්‍රස්තවාදීන් සමග සටන් කරන විට ඇමරිකාව පැත්තේ සිටි සුලෙයිමාන් ඉරාකය ගලවා ගත්තේය. එය සුලෙයිමානි ගේ නායකත්ව දක්ෂතාවයයි. ෂියා නායකයන් ශක්තිමත්කර මැදපෙරදිග කලාපයෙන් ඇමරිකාව පලවා හරින ප‍්‍රයත්නයේ දී ඔහු ත‍්‍රස්තවාදියෙකු බවට පත්වන බව පෙන්වා දිය යුතුය. මෙම සංකීර්ණ ස්වභාවය තුළ සොලෙයිමාන් එක භූමිකාවක දී වීරයෙකි. තවත් අවස්ථාවක ත‍්‍රස්තවාදියෙකි.  ඇමරිකානු නායකයා කියන පරිදි  නියම් හෝ අනියම් ලෙස ලක්ෂ සංඛ්‍යාත මිනීමැරුම් වලට ඔහු වගකිව යුතුය. එහෙත් ෂියා ජාතිකයන්ට සුලෙයිමානි දැවැන්ත වීරයෙකි. මැදපෙරදිග එක්සත් කරන ප‍්‍රයත්නය ඉදිරියට ගෙන ගිය පුද්ගලයාය. ෂියා දර්ශනය අනුව ඉරානය මෙහෙය වූ නොපෙනෙන හස්තය සේ ක‍්‍රියා කළේය. ජාත්‍යන්තර ප‍්‍රජාව ඔහු ගැන විමසිලිමත්ව සිටි හේතුව ද එයයි.

ඉරාක යුද්ධයෙන් පසු මේජර් ජනරාල් ධුරයට පත් කරන ලද සුලෙයිමාන් අනුගමනය කරන ලද දර්ශනය අනුව එරට කැපී පෙනෙන චරිතයක් විය. ඔහු බලයට බලවත් කෑදරකමක් දැක්වූයේ නැත. තනතුරු හෝ වරප‍්‍රසාද මායිම් කළේ නැත. යුද බිමේ දී සාමාන්‍ය සොල්දාදුවන් ඇසුරෙහි ගැවසුන අතර බලවත් ආත්ම ශක්තියක් පෙන්නුම් කළේය. කවර හෝ මොහොතක හෝ මරණය එතැයි සූදානමින් ලක්ෂ පහකට වැඩි භට පිරිසකට නායකත්වය දුන් හෙතෙම තමන් මිය ගිය පසු සාමාන්‍ය සොල්දාදුවෙකු සේ සලකා සොහොන් කොත සකස් කරන සේ ඉල්ලා තිබුණි. ජීවත්ව සිටිය දී පමණක් නොව මරණයේ දී ද ඉහළම බුහුමන් ඉල්ලන යුද නායකයන්ට සුලෙයිමානි කදිම ආදර්ශයකි. ඉහළම තාන්තර හෝ තරු පහේ ජීවිත පසෙකට කරන ලද හෙතෙම ඉරාන රජයේ නිල සාකච්ඡා වලට සහභාගීවන විට පවා වඩා අවධානයට නොගැනෙන තැනක සාමාන්‍ය අසුනක් තෝරාගෙන පැත්තකට වී සිටි බව ප‍්‍රකාශවෙන කරුණකි.

මැදපෙරදිග රටවල් අතර ෂියාවරුන්ගේ එක්සත් භාවය වෙනුවෙන් ක‍්‍රියාකරමින් සිටි සුලෙයිමානි ගේ මරණය සමග ඔහු ගේ අභිමතාර්ථ සාක්ෂාත් කරන මාවත උදා වෙමින් තිබෙන බව නිරීක්ෂණය කළ හැකිය. ඉරාක පාර්ලිමේන්තුව විදේශ හමුදා ඉවත්කරන යෝජනාවක් වහාම සම්මත කළේය. යේමනය, සිරියාව, ඉරාකය, ලෙබනනය ඇතුළු මුළු මැදපෙරදිග රටවල් පවා එක මිටට එකතු වී සිටී. ඉරානය රක්ත වර්ණ ධජය ඔසවා ඇති අතර නුදුරු කාලයේ මතුවිය හැකි තත්ත්වය උණුසුම් විය හැකිය. ඉරාකයේ සිට දේහය රැගෙන යන විට ලක්ෂ ගණනින් ඔහු වෙනුවෙන් එකතු වූ අතර අවසන් කටයුතු සිදුවන අවස්ථාවේ දී මිලියන පහලොවකට වැඩි ජනකායක් එකතුවනු ඇතැයි බටහිර මාධ්‍ය වාර්තා කර තිබුණි. සාමාන්‍ය සෙබලෙකු සේ මිහිදන් කරන සේ ඉල්ලා සිටි සුලෙයිමාන් වෙත ඉරාන ජනී ජනයා පෙල ගැසී බුහුමන් දක්වන්නේ මන් ද යන කාරණය පරෙස්සමෙන් අධ්‍යයනය කළ යුතුය.