m prash

2020/01/01 – ලංකාදීප

අලූත් යුගයක් උදා වෙමින් තිබේ. පවතින දේශපාලන, සමාජ හෝ වෙනත් පැති කෙසේ වෙතත් තාක්ෂණික වශයෙන් දියුණු සහ සංකීර්ණ අවධියකට ලෝකය ගමන් කරමින් සිටී. විශාල බලාපොරොත්තු සහිතව උදා වූ නව වසර පරිවර්තන යුගයක පදනමක් සනිටුහන් කරනු ඇත.

අද පරම්පරාව වසර තිහ හතලිහකට කලින් සිහිනයෙන් හෝ නොසිතූ දේ මෙකල යතාර්ථයක් වෙමින් පවතී. වෛද්‍ය විද්‍යාවේ දියුණුව මවිත කරන සුළුය. ආයු කාලය තමන් තීරණය කරන තැනට පත් විය හැකිය. සන්නිවේදනය හුදෙක් කතාබහකට සීමා වී නැත. දුරකතනය මෙහෙයවන අතැගිලි අග වාහනයක් ගෙන්වා ගැනීමේ සිට ආහාර ඇනවුම් කිරීම හෝ බැංකු කටයුතු පවා තිබේ. ප‍්‍රවාහන ක‍්‍රම, බලශක්තිය තවදුරටත් පැරණි රාමුවෙන් ඔබ්බට ප‍්‍රවේශ වී ඇත. අද උපදින දරුවන්ගේ සමාජ වටපිටාව අනාගතයේ දී කෙසේ සකස්වනු ඇත්දැයි අනාවැකි පළ කිරීමට පුලූවන්කමක් නැත. තාක්ෂණය හා විද්‍යාවේ දියුණුව උපයෝගී කරගෙන අනාගතය සාක්ෂාත් කරගැනීම හැර අනෙක් වාද විවාද සුදුසු නැත.

පසුගිය වසර අවසානයේ දී පමණක් නොව නව වසර උදා වන විට ද පැරණි මතාන්තර නැවතත් අවදිවෙමින් තිබේ. එය ප‍්‍රශ්න ඇති කරනු ඇත. ජාතික ගීය වෙනත් භාෂාවකින් ගායනා කිරීම ගැන වරින් වර මතබේධ ඇති වී තිබේ. වසර තුනකට කලින් ද බලවත් ආන්දෝලනයක් ඇතිවිය. අලූතින් කියැවෙන පරිදි ජාතික ගීය සිංහල භාෂාවෙන් පමණක් ගායනා කළ යුතු යැයි නියම වෙන්නට ඉඩ තිබේ. ජාතික ගීතයෙන් අනෙක් බසකට පරිවර්තනය කිරීම ගැටළුවක් විය හැකිය. නමුත් ගීය ගායනා කරන අවස්ථාවේ දී රට ගැන හැගීමක් ජනිතකර හදවතේ ආදරයක් ඇතිවෙන්නට නම් එයින් කියැවෙන දේ තේරුම් ගැනීමට හැකියාවක් තිබිය යුතුය. ජාතික ගීය විදින්නට සහ එයින් හදවත් පිබිදෙන්නට අවශ්‍යය. නොවැටහෙන පදවැලක් ගායනා කරන අවස්ථාවක දී අප මුහුණ දෙන අත්දැකීම එක රටක ජීවත්වන අන්‍යභාෂාවක් කතා කරන පුරවැසියෙකුට දැනෙන්නට ඉඩ හැරීම සාධාරණ නැත. නවීන ලෝකයක පැවැත්මකට ඇතුළුවෙමින් සිටින අප සියළු දෙනා පුලූල් අවබෝධයක් සහිතව තීරණ ගත යුතුව තිබේ.

ඉන්දියාව නොයෙක් ජාතීන් ජීවත්වන බෙදීම් සහිත රටකි. විවිධ භාෂා හසුරුවන රටක ආත්මය බවට එරට ජාතික ගීය පත්ව තිබේ. ඉන්දියාවේ විශිෂ්ඨ ශිල්පීන් වන ආශා බෝස්ලේ සහ ලතා මංගේෂ්කාර් ඔවුන්ට අනන්‍ය ක‍්‍රමයකට ඉන්දීය ජාතික ගීය ගායනා කළ අතර එය අදටත් අන්තර් ජාලයෙන් සවන්දිය හැකිය. ඉන්දියානුවෝ එයින් අමන්දානන්දයට පත්වූහ. සිංගප්පූරුවේ බහුතරය චීන නමුත් එරට නිතිය අනුව ජාතික ගීය ගායනා කළහැක්කේ මැලේ භාෂාවෙන් පමණකි. ඇමරිකාවේ මහා ගායිකාවක වන අරිතා ෆ්රුන්ක්ලින් ඇමරිකානු ජාතික ගීය කලූ අප‍්‍රිකානු ශෛලියකට ගායනා කළාය. මහජන චින සමූහාණ්ඩුවේ ජාතික ගීය පවා කොමියුනිස්ට් ප‍්‍රතිංස්කරණ වලට පසු වෙනස්කර තිබේ. භාෂාව හෝ ගයන ආකාරය ගැන බේධ තිබිය හැකි නමුත් රට කෙරෙහි පවතින අභිමානයට එය පලූද්දක් නොවන බව මෙයින් පෙන්නුම් කෙරේ.

ජාතික ගීය රටක වැදගත් සංකේතයකි. ඒකීය භාවය අරභයා භූමිය එයට ඉදිරියෙන් සිටී. දහතුන් වැනි සංශෝධනය අනුව පලාත් වශයෙන් බලය බෙදා ඇත. ජාතික ගීය අනෙක් භාෂාවකින් ගායනා කිරීමට වඩා එය බරපතලය. රට එකතු කර සමගිය ඇති කරනු සදහා විවිධ සංස්කෘතික හා විවිධ අනන්‍යතාවලට ඉඩ දෙන අතර ඒකීය භාවය තහවුරු කළ යුතුය. දහතුන් වැනි සංශෝධනය අහෝසි කර පලාත් සභා ක‍්‍රමය අත්හැර දැමීම එහිලා වැදගත්ය. ජන නියෝජනය අවශ්‍ය යැයි සිතන්නේ නම් සෙනෙට් සභාවක් පත් කරගත හැකිය. ජන වර්ග නියෝජනය කරන බුද්ධිමත් පිරිසක් නියෝජනය කරන සෙනෙට් සභාව ගැටළු නිරාකරණයට මගකි. ජාතික ගීය එක භාෂාවකින් ගැයීම වෙනුවට ජාතීන්ටඑකතු වී කතාකල හැකි බුද්ධි මණ්ඩලයක් වශයෙන් සෙනෙට් සභාව හ`දුන්වා දී පලාත් සභා ක‍්‍රමය අහෝසි කිරීම කෙරෙහි අවධානය යොමු කළ යුතුය. පලාත් වශයෙන් බෙදීම ජාතිය, ආගම හෝ සංස්කෘතික වශයෙන් බෙදීමට වඩා බලවත් වන අතර එක රටක් එක පැවැත්මක් යන පණිවුඩය ආත්මය කරගත යුතුව තිබේ. නව වසරේ අධිෂ්ඨානය එය විය යුතුය.