2019/12/18 – ලංකාදීප

m prash

‘‘ඇටසැකිලි සෙවූ අය සොයා ගත්තේ සපත්තු’’ යැයි අලූත් කියමනක් එකතු වෙන්නට බැරි නැත. එය අලූතින් නිකුත් වූ වාර්තා චිත‍්‍රපටියක ප‍්‍රධාන චරිතයක ප‍්‍රකාශයකි. එක්තරා කාලයක දී මුළු ලෝකය ආන්දෝලනාත්මක චරිතයක් වූ පිලිපීනයේ හිටපු ජනාධිපතිවරයාගේ බිරිද ඉමෙල්ඩා මාකෝස් එය ප‍්‍රකාශ කරන්නීය. ‘‘මතු පිටින් දකින දේ නොඑසේ නම් හැගීම් යනු ඇත්ත නොවන’’ බව ද ඉමෙල්ඩා මෙම චිත‍්‍රපටියේ තීරණාත්මක අවස්ථාවක දී කියා සිටී.

‘‘ද කිං මේකර්’’ නමැති මෙම චිත‍්‍රපටිය නොබෝදා තිරගත කිරීම ආරම්භ වූ අතර එය දැනටමත් ලන්ඩන් හා ස්ටොක්හොම් චිත‍්‍රපට උළෙල නියෝජනයට වරම් ලබා තිබේ. චිත‍්‍රපටයේ මුල් භාගය 1965 සිට විසි එක් වසරක් පිලිපීනය පාලනය කළ මාකෝස් පවුල වටා කේන්ද්‍ර ගත වී ඇත. 1986 දී මතු වූ ජන අරගලය ජනාධිපති පර්ඩිනැන්ඞ් මාකෝස් බලයෙන් පහකරන ලද අතර දූෂණය, භීෂණය හා බලය අයුතු සේ පාවිච්චි කිරීම යනා දී කරුණු චෝදනා වශයෙන් එල්ල වී තිබුණි. ජන අරගලය හමුවේ දරුවන් දෙදෙනා සමග රටින් පලාගිය මාකෝස් පවුල ඉතා රහසිගතව ජීවත් වූ අතර වසර තුනකට පසුව හොනලූලූ වල දී පරිඩිනැන්ඩස් මාකෝස් ජීවිතක්ෂයට පත් විය.

ද කිං මේකර් චිත‍්‍රපටියේ දෙවන භාගය අනුව මාකෝස් පවුලේ අලූත් පරපුරේ නැවතත් නැගීම දක්වයි. ඉමෙල්ඩා මාකෝස් මෙහි දී ප‍්‍රධාන භූමිකාවක් නිරූපනය කරන අතර සත්‍ය කුමක්ද යන්න ඇය ප‍්‍රශ්න කරන්නීය. ලැබෙන තොරතුරු අනුව කිසිම සොයා බැලීමක් නැති පසුබිමක මතු පිටින් ගන්නා තීන්දු වලින් සත්‍ය අනාවරණය නොවන බව ඇයගේ හෘද සාක්ෂිය අනුව පෙන්වා දී තිබේ.

මාකොස් පවුල පලවා හරින බලවේගය ඉතා දරුණු චෝදනා එල්ල කරන ලද නමුත් දශක තුනකට පසු ආත්මීය පාපෝච්චාරණයක් මෙම චිත‍්‍රපටියේ දී සිදුවෙන බව දැක්විය හැකිය. එය හුදෙක් මාකෝස් පවුල කලූ පැහැයෙන් සුදු පැහැයට හරවනු පිණිස නිර්මාණය කරන ලද එකක් නොවේ. නමුත් අභ්‍යන්තරය මැනැවින් විදහා දක්වයි. සත්‍ය කුමක්ද යන්න සොයාගැනීමට ප්‍රෙක්ෂකයා පොලඹවයි.

අප ජීවත්වන්නේ ප‍්‍රාථමික යුගයේ සිට විකාශය වූ අද වන විට සමාජ මාධ්‍ය නමැති තීරණාත්මක තැනක පවතින සන්නිවේදන ව්‍යුහයකය. තොරතුරු අනාවරණය කරන බව දක්වන නමුත් සන්නිවේදන ජාලාවලින් අනාවරණය කරන දේ අතරින් යම් ප‍්‍රතිශතයක් අසත්‍ය හා අභූත චෝදනා බව පැහැදිලිවෙමින් තිබේ. ජන මතය වෙනස් කිරීම සදහා නූතන සමාජ මාධ්‍ය සියුම් බලපෑමක් කරයි. එය කොපමණ හානිදායක ද යන්න විනිශ්චය කරන්නේ නැත. අද පවතින සමාජ මාධ්‍ය වඩා ප‍්‍රබලය. සංකීර්ණය. එක හෙලා අවධාරණය කරන යම් තොරතුරක් තවත් සුළු මොහොතකින් අසත්‍යයක් බවට හැරේ. දශක තුනකට පසු සාධාරණත්වය ඉල්ලා සිටින මාකෝස් පවුල එහි එක් පැත්තක් පමණකි. ජීවිතාරක්ෂාව පතා රටින් පැන ගිය මාකෝස් පවුලේ ඊළග පරම්පරාව නුදුරු දිනයක නැවතත් පිලිපීනයේ පාලකයා විය හැකි බව දැනටමත් සනාථ වෙමින් තිබේ. පිලිපීන වැසියෝ ගොදුරු වූ අසත්‍යය කොපමණ භයානක ද යන්න තේරුම් ගැනීමට මෙය එක සාක්ෂියකි.

ගැටළු පැන නැගෙන විට ඒවා නිරාකරණය කරගන්නා ක‍්‍රමයක් තිබේ. සම්ප‍්‍රදායයන් ඇත. අත්දැකීම් බහුල වියතුන් ගෙන්  උපදෙස් ගත හැකිය. බුද්ධ දේශනාවේ සදහන් කරන පරිදි රත්රන් පිරිසිදු ද කියා බලන්නට රන්කරුවා කපා, කොටා, පුලූස්සා බලන්නාක් මෙන් සත්‍ය අනාවරණය කරගත යුතුව තිබේ. අප සියළු දෙනාටම එම අභ්‍යාසය නැත. සත්‍ය යැයි පෙන්වන දේ තුළ අසත්‍ය තිබේ. මිත්‍යාව ඇත. සත්‍ය යැයි නොයෙක් මත ඇති කරන අතර මතය ඇතිකරන උවමනාව පිටුපස අනාවරණය නොවන භයානක අරමුණු තිබේ. නිතිපතා සිදුවන සිද්ධි විශ්ලේෂණය කර තේරුම් කරගැනීමට තරම් පරිපූර්ණ පරිනත බවක් ජන සමාජය තුළ නැත.  ද කිං මේකර් චිත‍්‍රපටය උගන්වන පාඩම එයයි.